අහසෙ ඉඳන් කතා ලියන්න බෑ

    0
    9

    1990 දශකයෙන් පසු මෙරට සිංහල නවකතාවේ වෙනස්කම් කිහිපයක් දැකගත හැකිය. 80 – 90 වකවානුවේ සමාජීය මෙන්ම දේශපාලනිකව සිදුවූ පෙරළිකාර තත්ත්වයන් ඊට බලපා තිබිණි. පරාක්‍රම ඒකනායක අයත් වන්නේද එකී වෙනස්කම් විසින් නිර්මාණය කළ පෙළගැස්මටය. ඔහු සිය නවකතාවට තෝරාගන්නා වස්තු විෂයයට අනුව යන භාෂා විලාසයක් මෙන්ම ආකෘතියක් ද ගොඩනගා ගත්තේ වෙනස්ම ආකාරයකටය. මේ ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.

    නවකතාකරුවෙක් හැටියට ඔබේ නවකතාකරණයට බලපාන දෘෂ්ටිය ‍කුමක්ද?

    ඒකට මූලිකවම බලපාන්නෙ මම ජීවත්වන සමාජය තුළ ගොඩනැ‍ඟෙන කතා සාරයයි. ඒ වගේම ‍භෞතික සමාජය වගේම තාක්ෂණය මත පදනම් වූ ඇන්ඩ්‍රොයිඩ් ජීවිත කොටුවෙමින් යන්නෙ මොන වගේ ඛේදවාචකයක් වටාද කියන සන්දර්භයන් සහ ඒ වටා ගෙවෙන ජීවිත මොන වගේද, ඒවායේ හේතු ඵල මොනවාද කියන දෘෂ්ටිමය සිතීම් ඔස්සේ තමයි මම මගේ කතා ගොඩනඟන්නේ. ඊට අමතරව තවත් දෙයක් තිබෙනවා. අපි ජීවත්වෙන වටපිටාව ඇතුළෙදි බොහෝ විට බාරගන්න අකැමැති සත්‍ය කතාන්තරයක් ඇතුළෙ කතා රසයත් එක්ක කියන්නට මගේ ලිවීම මාව පොලඹවනවා.

    ඔබේ කතා, නිමිති අප ජීවත්වන පරිසරයෙන්ම හොයාගන්නවා කියන එකද ඒකෙ අදහස?

    ඔව්! මේ සමාජය තුළ රස්තියාදු ගහද්දි ඕන තරම් කතා තියෙනවා. ඒ කතා දිහා හුදු සිදුවීමක් පමණයි කියන කෝණයෙන් ඔබ්බට ගිහින් කියවන්න පුළුවන් අයට නවකතාවක් ලියන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. මම එහෙම කියන්නෙ මගේම අත්දැකීමෙන්. ඒ මොකද? සමාජයෙන් වියුක්ත වෙලා, අහසෙ ඉඳන් කතා ලියන්න අමාරුයිනෙ. නවකතා කියවන්නෙ ඇට, මස්, ලේ නහරවලින් නිර්මිත මිනිස්සුනෙ. ඒ අයගෙ මනසට, හෘදයට, රුධිරයට දැනෙන්න දැනෙන්න වුවමනායි. කතාවෙ ඉන්න චරිත හා සිදුවීම් යන මේ හැම දෙයක්ම පාඨකයාට දැනෙන්න ඕනෑ.

    අපි ආදරෙන් කියවන හැම නවකතාවකම, පරිවර්තනයක වුණත් තියෙනවා අපිට දැනෙන හරි, අපිට මගහැරුණ හරි අපේම කොටසක්. එනිසා තමයි අපි ඒ කතා සමඟ එක්වන්නේ. මම ලියන්න උත්සාහ කරන්නෙ අන්න ඒ මඟහැරුණ අපේම ජීවිතයේ තැන් ගැන.

    අපි මෙහෙම බලමු. ඔබ ලියූ ටිකිරිලියා තරු මැද්දෙ ගියා නවකතාවෙ ‘ටිකිරිලියා’. ඊට පස්සෙ හතරදෙනෙක් කුමාරවරු නවකතාවෙ ‘ඩිංගිරිමිණි’. ඒ චරිත නිර්මාණය කරන්න බලපෑවෙත් ඒ හේතුමද?

    ඔව්! ටිකිරිලියා තරු මැද්දෙ ගියා නවකතාවෙ එන්නෙ විද්‍යුත් තරුවක් වෙන්න කොළඹට එන ගමේ කෙ‍ල්ලෙකුට මුහුණ දෙන්න වෙන සිදුවීම්. ජනප්‍රිය භාවයන් ඇතුළෙ රියැලිටි ජයග්‍රහණය වෙනුවෙන් පුරුෂ අවශ්‍යතාවන් ඇතුළෙදි කොහොමද තරුවක් වෙන්න මාර්ගය පාදා ගන්නෙ සහ එහි අවසන් ඉරණම කොතැනටද යන්නෙ කියන එක. අපි පුංචි කාලෙ අහපු ජනකතා, ජනකවි ආශ්‍රිත ලිවීමක් තමයි ඒ. ටිකිරිලියා කියන්නෙම කබරගොයාගෙන් බේරෙන්න ගිහින් දියබරියා කාපු කෙල්ලක්. ඉතින් ඒ කතාවෙ තියෙන්නෙත් අපේ සමාජයෙ ජීවත්වෙන ඒ වගේ අයගෙන් බේරිලා තරුවක් වෙන්න හදපු තරුණියක් ගැනයි.

    ඩිංගිරිමිණිත් අපේ සමාජයෙ ඉන්න කෙල්ලක්. හතරදෙනෙක් කුමාරවරු කතාවෙ එන ඩිංගිරිමිණි කියන්නෙත් තමන්ගෙ සිහින සැබෑ කරගන්න නගරයට එන තරුණියකට පිරිමි අවශ්‍යතාවන් එක්ක අරමුණට යද්දි ව්‍යාජයට ගොදුරුවෙන්නෙ කොහොමද කියන එකයි. ඒ කතාව මම ලියන්නෙ ලංකාවෙ එක් කාල පරාසයක් තුළ රටට බලපෑ සිදුවීම් පසුබිමක තියාගෙනයි.

    ස්ත්‍රී පක්ෂය තම තමන්ගේ ඉලක්ක සහ සිහින වෙනුවෙන් තම දැනුම සහ දැනුම භාවිතාව පිළිබඳව බොහෝ දේ දැනගත යුතුව තිබෙනවා කියලයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ.

    අනූව දශකයෙන් පස්සෙ දෘශ්‍යමය මායාවක බැඳුණු සමාජයක් ඇතිවෙනවා. ඔබේ නවකතා සහ මේ තත්ත්වය අතර සම්බන්ධයක් තියෙනවද?

    අපේ රටට ‘විෂුවල් මීඩියා’ ආවාට පස්සෙ පරිකල්පනය වෙනුවට දෘශ්‍යමය නැත්ත – දකින දෙය විශ්වාස කරන මනසක් බවට අපි අපේ පරිකල්පන මනස් පරිවර්තනය කර ගන්නවා. ඒ කියෙන්නෙ තමන්ගෙ කියලා අනුන්ගෙ දෙයක් එළියට දානවා. මේක නවකතාවට, තිර රචනයට වගේම ගීතයටත් එනවා. පසුගිය කාලෙ මුහුණු පොතට දාලා තිබුණා. දෙමළ, හින්දි චිත්‍රපට බලලා හරි නවකතා ලියලා ගොඩයන්න කියලා. එහෙම බලනකොට පොතක් මුද්‍රණය වෙයි. හැබැයි පරිකල්පනය දියුණු නිර්මාණකරුවෙක් බිහිවෙන්නෙ නැතිවෙයි.

    ඒ හින්දා අපි දෘශ්‍ය සමාජයක ජීවත්වුණත් පරිකල්පනය අතිශය වැදගත්. අපි අමතක කරන්න හොඳ නෑ බටහිර ලේඛකයෝ පරිකල්පනය නිසාම අලුත් නිර්මාණ බිහිකරන බව. ඒ නිසා මේ දෘශ්‍ය සමාජයේ ජීවත් වෙමින් වුණත් අලුත් පරිකල්පනයන් තුළින් අලුත් ලිවීම් කියවීම් බවට හරවන්න ඕනෑ.

    නූතන යොවුන් සාහිත්‍යයේ ප්‍රවණතාව ගැන ඔබේ කියැවීම කොතැනද තියෙන්නේ?

    අපි තවම පරණ ආකෘති කර තබාගෙන යන බවක් පේනවා. මුනිදාස කුමාරතුංගයන් කිව්වට අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියලා අලුත් ප්‍රස්තුත, අලුත් ආකෘති ඔස්සේ ලියන කතාකරුවන් අගැයීමකට හෝ විචාරයකට හෝ ලක් කෙරෙන්නෙ අල්ප වශයෙන්.

    බොහෝ සාහිත්‍ය කෘති කියවද්දි දැනෙන්නෙ අපි තවම එකම වෘත්තයක් ඇතුළෙ ඉන්නවා කියලයි. නමුත් අපි ජීවත්වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් එක්ක ජීවිත ගෙවන අන්තර්ජාල යුගයක. එහෙම වෙද්දිත් පරණ කතන්දර අලුත් බවක් නැතුව ලියැවෙන එක ගැන නැවත කල්පනා කර බැලිය යුතුයි.

    ඒත් සමහර තරුණ සාහිත්‍යකරුවන් ඉන්නවා මේ නූතන යුගය වටහාගෙන තමන්ගෙ නිර්මාණ පාඨකයන්ට දෙන. නමුත් ඔවුන් පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවෙනවාද කියන එක ගැටලුවක්. 

    නවකතාවක චරිත අප හමුවට එන්නෙ සමාජීය හා දේශපාලන කියැවීමක් එක්ක නෙවෙයිද?

    තමන් ලියන්න ගන්න ප්‍රස්තුතය ගොඩනැඟීමේදී එයට පාදක වන චරිත හා සිදුවීම් වටා ගොඩනැ‍ඟෙන්නෙ ඒ කතාවට අදාළ සමාජීය හැසිරීම්, සබඳකම් ගොඩනැඟීම් සහ සමාජ දේශපාලන ගැළපීම් එක්කයි. එතකොට චරිත ගොඩනැඟීමේදී කතාවට අනුකූලව පාඨකයාගේ මනස තුළ චරිත ඔස්සේ පරිකල්පිත ලෝකය වඩාත් සමීප කළ හැකි බවයි මගේ විශ්වාසය. ඒක නූතනය ද, අතීතය ද, අනාගතය ද කියන සීමාවන් ඔස්සේ ගොඩනඟන්න පුළුවන්.

    අපි ගන්නා ප්‍රස්තුතය අතීත යුගයේ එකක් නම්, ඒ යුගයේ වඩාත් සමාජයට බලපෑම් කළ සමාජීය සහ දේශපාලන කාරණා කතාවේ එන චරිතවලට බලපෑ අන්දම නිරීක්ෂණය කිරීම සහ ලිවීමට යොදාගත් විට එය කතාවේ සාර්ථකත්වයට බලපානවා. අපි වඩාත් හෘදයාංගමව බාරගන්නා නවකතාවල, කෙටිකතාවල ඒ ගුණාංග තියෙනවා. නමුත් අවසානාවට අද ලියැවෙන බොහොමයක් නවකතා කියවලා ඉවර කරලා පැත්තකින් තියන්න පුළුවන් ඒවා මිසක් කියවලා හිතන්න පුළුවන් ඒවා නෙවෙයි. කනගාටුවට හේතුව තමයි අද ජනප්‍රිය වෙන්නෙත් ඒවාම වීම.

    නවකතාකරුවෙක් විදිහට ඔබේ අනාගත නැමියාව කොයි දෙසටද යොමු වෙන්නෙ?

    මම හැමවිටම උත්සාහ කරන්නෙ මම ජීවත්වන කාලයට සමාන්තරව කියැවෙන සහ ගොඩනඟන කතාවක් ලියන්නයි. මොකද? දශකයෙන් දශකයට මේ සමාජයට අලුත් පරපුරක් එකතු වෙනවා. ඔවුන්ට සමහර කාලයන් මඟ හැරෙනවා. ඒ කාලය ආශ්‍රිතව මම කතා ලියනවා. මම විශ්වාස කරනවා හැමවිටම මිනිසකුගේ අතීතය විශාල වෙද්දි අනාගතය කුඩා වෙනවා කියලා. මොකද අපි උපතේදි විවෘත කරගත්ත දොර වහලා යන්න විපත තෙක් යන ගමනක්නෙ මේ.

    ඉතින් ජීවත්වුණා කියලා ලෝකයට මතක හිටින දෙයක් තියලා යනවා නම් තමන් හදවතින්ම කරපු දෙයක් වෙන්න ඕන. ඒ නිසා මම ජීවත්වෙන සමාජය තුළ තියෙන කතන්දර මම මගේ පරිකල්පනයෙන් නිර්මාණශීලීව ලියන්නයි උත්සාහ කරන්නෙ. නවකතා විදිහට ඒක එහෙම වෙනවා.

    බන්ධුමිත්‍ර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here