ආණ්ඩුවට පරිසරය පේන්නේ රුපියල් සත විදිහටයි.

0
40
මේ සම්මන්ත්‍රණයේදී මම ඔබත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාව කොටස් හතරකින් යුක්තයි.

 

සොබාදහම ඔබට, අපට කොතරම් සේවාවක් සපයන දෙයක් ද. සොබාදහමට අද මේ පාලකයන් සිදුකරමින් තිබෙන අනතුරේ දිග පළල, මෙවැනි විනාශයක් සොබාදහමට සිදුකරන්න හේතුවෙලා තියෙන්නේ මොනවාද සහ මේ මහා විනාශය පරාජය කරන්නේ කොහොමද කියන කරුණු සාකච්ඡා කරන්න අදහස් කරනවා.
දැනුම නැති කම්කරුවා අනාරක්ෂිතයි, දැනුම ඇති කම්කරුවා බලවේගයක් බවට පත්වෙලා ආරක්ෂිත වෙනවා කියලා වී.අයි.ලෙනින් සහෝදරයා කියලා තියෙනවා. පරිසරය ආරක්ෂාකර ගන්න නම්, දැනුමත්, හැගීමත් ඇතිකර ගත යුතුයි. පරිසරය කොච්චර වැදගත්ද කියලා පාසලේදී උගන්වලා තියෙනවා.  අම්මලා, තාත්තලත් යම් යම් ප්‍රමාණවලින් කියාදීලා තියෙනවා.

 

අපි තුන්වේලක් කන මිනිස්සු. ඔය තුන්වේලටම කෑම දෙන්නේ සොබාදහම. ඒ වගේම වැඩුණු මිනිසෙකුට දවසකට ජලය ලීටර් දෙකහමාරක් විතර අවශ්‍යයි කියලා තියෙනවා. තුන්වේල කෑමටයි වතුර පරිභෝජනයටයි අමතරව නිතරම අපිට අවශ්‍යකරන දෙයක් ඔක්සිජන්. වැඩුණු මිනිහෙකුට දවසකට කොච්චර විතර ඔක්සිජන් ඕනෑද? ඔක්සිජන් ලීටර් 550ක් අවශ්‍යයි කියලා කියනවා.

 

මේ සියල්ල දෙන්නේ පරිසරයෙන්. මිලක් අයකරන්නේ නෑ. කෙනෙක් හිතන්න පුළුවන් ජීවත්වෙන්න සල්ලි ඕනෑ කියලා. ඒ වගේම මාකට් එකෙන් ගන්න ඕනෑ කියලා. නමුත් ඇත්තම සුපර් මාකට් එක සොබාදහමයි. අවශ්‍ය මූලික සියල්ල සොබාදහම සැලසුම් කරලා දීලා තියෙනවා. විද්‍යාවෙන් කරන්නේ මේ දීල තියෙන දේවල් උකහා ගැනීම. පරිසරය වනසා ගත්ත ලෝකයේ සමහර රටවල් මිනිසුන්ට හුස්ම ගන්න අපහසු වුනාම විශේෂයෙන් නගරවල හුස්ම ගන්න කුටි හදලා තියෙනවා.

 

අද වෙනකොට ඔක්සිජන් ලීටරයක මිල රුපියල් 80/ක් කියලා ගණන් බලලා තියෙනවා. මේ වෙනුවෙන් රුපියල් 44000/-ක් වැයවෙන සම්පතක් නොමිලේ ලබාදෙනවා. ඔක්සිජන් ලබාදෙන පරිසරය අනතුරකට ලක්වෙනවා නම්, එය ආරක්ෂාකර ගැනීමට හඬක් නඟන්නේ නැද්ද? ඔබ රැකියාවක් කරන ආයතනවල රැකියාවේ සුරක්ෂිතභාවය සඳහා වෘත්තිය සමිති පිහිටුවාගෙන තිබෙනවා. යම් අනතුරක් එන විට ඊට විරුද්ධව ඔබ සටන් කරනවා. ගස්වලට අරගල කරන්න එන්න බැහැ. සිංහරාජයට, නකල්ස්වලට, නිල්ගලට පාරට එන්න බැහැ. නමුත් ඔවුන්ගෙන් සේවය ලබන මිනිසුන් සොබාදහම ආරක්ෂාකර ගන්න කටයුතු කරන්නේ නැත්නම් අපි කවර වර්ගයේ මිනිසුන් ද? අපි ජීවත්වෙන ගහකොළ ඇළදොළ මේ මහ පොළොව රකින්න ඔබටත් මටත් වගකීමක් තියෙනවා.

 

අද වෙනකොට ලෝකය මායාකාරී සංවර්ධනයක ගමන් කරමින් තියෙන්නේ. හඳුන්වාදී තිබෙන මේ සංවර්ධන ක්‍රමය ඔස්සේ යනකොට බරපතළ ප්‍රශ්න ඇති වෙනවා. රටවල්වල නායකයෝ භයවෙනවා. ලෝකයේ දේශගුණ විපර්යාස, ඕසෝන් ස්ථරය සිදුරුවීම, ග්ලැසියර් දියවීම ගැන වටමේස සාකච්ඡා පවත්වනවා. ලෝකයේ පරිසර සමුළු පවත්වලා උත්තර හොයන වැඩසටහන්වලට අපේ රටේ නායකයොත් යනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ රැස්වීමකට ගිහිල්ලා ලංකාවේ වනාන්තර 2022 වෙනකොට 32% දක්වා වැඩිකරනවා කීවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව වනගහනය ලොකු ඉලක්කමක් වුණාට අපිට ලැබෙන දත්ත අනුව 20%කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ.

 

වනගහනය 1%කින් වැඩිකරන්න නම් හෙක්ටයාර් 65000ක් රට තුළ ඇති කළ යුතුයි. නමුත් අද මේ 32% දක්වා වැඩිකරමින් යන ගමනක් ද තියෙන්නේ. ඉතිරිවෙලා තියෙන 20%ත් වේගයෙන් පහළ දමන ක්‍රමයක් යන්නේ. පරිසරවේදීන්ගේ ගණන් බැලීම් අනුව ලංකාවේ හෙක්ටයාර් 8000ක් වසරකට මුඩු ඉඩම් බවට පත්වෙනවා. අක්කරවලින් ගත්තොත් 30000ක්. එහෙනම් මෙන්න මේ මොහොතේ පරිසරය ආරක්ෂා කරගන්න ඔබටත් අපටත් වගකීමක් තියෙනවා. රාජපක්ෂ මහත්වරුන්ගේ වර්තමාන ආණ්ඩුව බලය ලබාගන්න සොබාවික පරිසරයේ ගස්කොළන් පාවිච්චි කළා. පරිසර ප්‍රශ්න පාවිච්චි කළා. මර්මස්ථානයක් හැටියට පාවිච්චි කළේ විල්පත්තුව.

 

විල්පත්තු වනය වනසන කොට ආණ්ඩුවේ දැන් ඉන්න ප්‍රධානීන් සහ අනුගාමිකයින් විල්පත්තුව ආරක්ෂා කරගන්න කතා කළා. මේ විනාශය කරන අයට දඬුවම් දෙනවා කීවා. දැන් ඔවුන් බලයට ඇවිල්ලා වගේ වගක් නෑ. රාජපක්ෂවරු බලයට එන්න සෞභාග්‍යයේ දැක්ම කියලා ලස්සන වැකි දාලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැදුවා. පහුගිය කාලේ තිබුණු ආණ්ඩු බලයට එන්න මේවගේම කළා. වැකිය ලස්සනයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය ලස්සනයි. බලයට ආවට පස්සේ ඒ ලස්සන දේ ක්‍රියාවට නගන්නේ නෑ. සුබ අනාගතය කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මතක් වෙනවා. නමුත් අනාගතය සුබ වුණේ නෑ. යහපාලනය කියලත් අපි ඇහුවා. දැන් තියෙන්නේ සෞභාග්‍යයේ දැක්ම.

 

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළවෙනි පිටුවේ රාජපක්ෂවරු “ලොවපුරා සිදුවන පරිසර විනාශයේ ප්‍රතිවිපාක ලෙස නියඟෙන් හා ගංවතුරෙන් එකවිට බැටකන ජාතියක් ලෙස අප රට පත්වී ඇත. මේ සුන්දර දිවයින යළි හරිත වර්ණයෙන් බබලන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනයේ පරමාදර්ශයක් බවට පත්කිරීමේ වගකීම අපට පවරා දෙන්න.” කියලා වගන්ති ඇතුළත් කළා. නියඟයෙන් හා ගංවතුරෙන් එකවර බැටකන ජාතියක් කියන තත්වයෙන් මිදෙන්න, තිරසාර සංවර්ධන සංකල්පය යටතේ රට හදන්න දෙන්න කීවා. හැට නවලක්ෂයක් දුන්නා. දැන් මේ පේන්නේ හරිත වර්ණයද? තිරසාර සංවර්ධනයද ක්‍රියාත්මක වෙන්නේ? වැකි ලස්සනයි. ක්‍රියාව ඉතා අවලස්සනයි. එහෙනම් මේ ධනේශ්වර සමාජය ලෝකයේ ප්‍රබලම සමාජ ක්‍රමය වී තිබෙනවා. ඇතුළෙන් කුණුවෙලා. පිටින් ඉදිමිලා. මේකප් කරලා තියෙන්නේ. හයිවේ පේනවා. කුළුණු පේනවා. මල් හදල තියෙන්නේ. ණය ගොඩගැහිලා. සදාචාරය, සංස්කෘතිය වැහැරිලා. කුඩු, හොරකම ව්‍යාප්ත වෙලා. ලස්සන වැකි දාලා අවලස්සන වැඩ කරන පාලකයන් ඉන්න කුණු වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ.
රාජපක්ෂවරු බලයට ගේන්න මේ රටේ යම් වියතුන් කොටසක් වැඩ කළා. වියත් මඟ කියලා සංවිධානයකුත් හැදුවා.  වියත කියන්නේ පොඩි දුරක්. වියත් මගට පෙනුනෙත් එපමණක් දුරක් පමණයි. දැන් වියතුන් හැලිලා. වියත් මඟ හදපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක “ගහක් රකින්න ගහක් වගේ නායකයෙක් ඕනෑ” ප්‍රකාශනයක තිබුණා. ඒ නායකයෙක් තමයි මේ හදලා තියෙන්නේ. දැන් ගස් රැකෙනවාද? නටඹුන් රැකෙනවාද? ඔවුන් ජනතාවට කියන දේ නොවෙයි සිදුකරමින් තියෙන්නේ. පාලකයෝ පරිසරය දකින විදිහයි, සාහිත්‍යවේදීන් සහ අපි දකින විදිහයි වෙනස්.

 

රත්න ශ්‍රී විජේසිංහ පරිසරය දැක්ක විදිහ කවියක තියෙනවා. අපේ ජීවිතවල සොඳුරුම දවසක් තමයි විවාහ මංගල දවස. එදාට මනමාලි ලස්සනට සරසනවා. මඟුල් ගෙදර රස කැමවලින් අඩුවක් නෑ. මේ වනාන්තරයක් එබඳු තැනක් කියලා රත්න ශ්‍රී දකිනවා.

 

හිසට පොකුරු මල් ගහගෙන
අතට පොකුරු මල් අරගෙන
වැහිකාලෙට වනන්තරේ
මනමාලිය වෙයි

 

ගෙඩි ඉදිලා සුවඳ හමන
කුරුලු රෑන් සිංදු කියන
මඟුල් ගෙදර ඇවිත් යන්න
සිත සුළං එයි

 

ආකාසෙන් බිමට දමන
වැහි පොද පොද අතට රැගෙන
අතට අරන් බිමට දමන
මහ ගස් පුදුමයි

 

ආකාසෙන් බිමට වැටෙන
වැහි පොද පොද
පොළවම ගිල ගෙන
පහළ දෙනියේ වතුර උනන
උල්පත මතුවෙයි

 

පාලකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පරිසරය ගැන ලියන දේ නෙවෙයි වැදගත්, ක්‍රියාත්මක කරන දේයි වැදගත්. රත්න ශ්‍රී කියන විදිහට අහසෙන් වතුර නිරුවත් පොළොවකට වැටෙන්න දෙන්නේ නෑ. ගස් වැල්, තුරු ලතා, නමැති ඇඳුම් අඳිනවා. නමුත් අපේ පාලකයෝ ගස් වැල් අයින් කරලා නිරුවත් කරලා තියෙන්නේ.  සිංහරාජයට, නකල්ස්වලට, යාලට වැටන වැස්ස බාර ගන්නේ කවුද? වැහි පොද පොද අතට රැගෙන, අතට අරන් බිමට දමන, ක්‍රියාවලිය සිද්ධ වෙනකොට වැහි බිංදු කුඩා කුඩා බිඳිතිවලට කඩලා බිමට දානකොට මේ වනාන්තරවලදි බාරගන්නේ කොළ තට්ටු. එයා වතුර මහ පොළොව තුළ රැස්කර ගන්නවා. ලංකාවේ වැඩියෙන්ම වතුර ගබඩාකර ආරක්ෂාකර ගන්නේ වැව්වල නොවෙයි. වැඩිම වතුර ගබඩා කරගෙන ආරක්ෂා කරගන්නේ මහ කැලය, මහපොළොව. එක එල්ලේ පසට වැටෙන්නේ නැතිව කොළවලට වැටිලා පහළට රූටාගෙන එනවා. ඊට පස්සේ මහපොළොව තෙත් කරගෙන ඒ වතුර ටික පසේ රඳවා ගන්නවා. මහ කඳුවල ගස් මුල්වලින් මහපොළොව වෙලාගෙන ඉන්නේ. වතුර ගබඩා කරගන්න පටන් ගන්නවා. ඒ වතුර වසර පුරා පහළ දෙනිවලට පොළොව අභ්‍යන්තරයෙන් ගලාගෙන යනවා. පහළ දෙනියේ උල්පත මතුවෙයි, කියලා කීවේ මේ ක්‍රියාවලියට.

 

අපේ රට සංවර්ධනය කරනවා කියලා කරන දේවල්වලින් දැන් කොහොමද සිද්ධ වෙන්නේ. වැහිකාලෙට ගංඟවල වතුර ගලන්නේ චොකලට් පාටට. මධ්‍යම කඳුකරයේ තියෙන සාරවත් පස් තට්ටුව වැව් පතුල්වල සහ මුහුදු පතුළට ගෙන යනවා. ඒකට කියන්නේ සංවර්ධනය. ඒකට කියන්නේ සුබ අනාගතය. මහ පොළොව මරා දමන මේ ක්‍රියාවලියට කියන්නේ ආශ්චර්යය. සොබාදහම ගැන පාලකයන් දකින්නේත් අපි දකින්නේත් දෙවිදිහකට. පාලකයන් දකින විදිහ ගැන මගේ අත්දැකීමක් කියන්නම්. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය කාලේ එවකට හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාරව නිල කටයුත්තකට හමුවෙන්න සිදුවුණා. “ආ..ආ..ආ.. මහියංගනයේ එකා වරෙන්, වරෙන්.. කියලා, උඹට වැව පේන්නේ කොහොමද?”  කියල ප්‍රශ්නයක් ඇහුවා.

 

එකපාර උත්තරයක් නොදී මම පොඩි සංවාදයක පැටලුනා. මට බේරීමක් නැති තැන, මගේ උත්තරය කීව්වා.  “මට ඉතා ළඟම තියෙන මගේ හදවතේ වැව සොරබොර. අවුරුදු 2200ක් වයස මේ වැවේ වෑ කන්ද උඩට ගියාම පේන ගස්වැල් පුදුම මනරම් බවක් මවනවා. ඈත ඉහත්තෑව, වෑ තලේ, සොරොව්වෙන් යන වතුර, පහළින් තියෙන කෙත, කෙතේ අස්වැන්නෙන් අපේ මිනිසුන්ව පෝෂණය කරන ආකාරය දැනෙනවා.” මම කියාගෙන යන කොට “ෂාහ්…ෂාහ්… නියමයිනේ.” කිව්වා. මම ඇහුවා ඔබතුමාට පේන්නේ කොහොමද කියලා. “මටත් ඔහොම තමයි.” කියල කිව්වා. “ඒ කියන්නේ මේ බව නොපෙනෙන කෙනෙකුත් ඉන්නවාද?” කියලා මම ඇහුවා. “අපේ ලොක්කට එහෙම වැව පේන්නේ නෑ.”
කියලා උත්තර දුන්නා. ඊට පස්සේ මම ඇහුවා ලොක්කට පෙන්නේ කොහොමද කියලා. “වැව ඉහත්තෑවේ හෝටල් ටිකක් දැම්ම නම් කොහොමද?” කියල තමයි ලොක්කට පේන්නේ, කියල උත්තර දුන්නා. මේකෙන් ඩොලර් පවුම් කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියලා ගණන් බලන බව මට කීවා.

 

මේ දක්වා ආණ්ඩු කරපු මොන පක්ෂයෙන් ආවත් අපේ රටේ පාලකයන්ගේ චින්තනය තිබුණේ එතන. ඔවුන්ට සොබාදහමේ කිසිම වටිනාකමක් නෑ. පරිසරය දකින්නේ රුපියල් සත හොයන මාර්ගයක් විදිහට පමණයි. ඒ නිසා ඔබ අපි එකතු වෙලා පරිසරය ජීවිතයේ කොටසක් කියලා සලකන්න ඕනෑ. රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසාර සංවර්ධනයක්” කියලා තිබුණනේ. ඒ කියන්නේ මොකක්ද? අනාගතයේ උපදින දරුවන්ට, ඒ වගේම ජීවයේ සියලුම දෙනාට රැකලා තියන්න ඕනෑ කියලා සංවර්ධනය ක්‍රියාදාමය සැලසුම් කරලා අනාගත පැවැත්මටත් ඉතිරි කරන එකටයි තිරසාර සංවර්ධනය කියන්නේ. මේ දැන් කරගෙන යන්නේත් තිරසාර සංවර්ධනය ද? අපි 2021 හිටියට 2300 විතර බුක්ති විඳින්න ඕනෑ ඉතිරි කළ යුතු දේවලුත් බුක්ති විඳිනවා. අපේ අම්මලා බත් උයන කොට හාල් මිටක් පැත්තකින් තිව්වා. ඒ තමයි අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම. අද එහෙම දෙයක් මේ සංවර්ධනයේ නෑ.

 

මේ අවුරුද්ද අවසන් වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ටි්‍රලියන 18කට කිට්ටු වෙනවා. භාණ්ඩාගාරයේ පතුළ බිඳලා තියෙන්නේ. තිරසාර නෑ. රට පත්වී තිබෙන අනතුර සුළුපටු නොවෙයි කියලා අපි හැමදෙනාම තේරුම් ගන්න ඕනෑ. පරිසර ප්‍රශ්න නිසා අපි හැමදෙනාම විවිධාකාරයට බැට කනවා. සමහර නගරවලට යනකොට නහය වහගෙන යන්නේ. සොබාවික කඳු නාය යනවා. යටවෙන මිනිස්සු හොයා ගන්න බැරිව මිහිදන් වෙනවා. සාමසර කන්ද, මීරියබැද්ද කන්ද, නාය ගිහින් මිහිදන් වුණා. සොබාවික කඳු විතරද නාය යන්නේ. නෑ. පාලකයෝ හදපු මීතොටමුල්ල කුණු කන්ද වගේ ඒවත් නාය යනවා.  සමහර නගර වැස්සෙන් යට වෙනවා. ඊට අමතරව ගම්වලටත් බවුසර්වලින් වතුර බෙදන්න සිද්ධ වෙනවා. එක පැත්තක ගං වතුර ආධාර, අනික් පැත්තේ නියං ආධාර. එහෙව් රටක අපි මේ ඉන්නේ. ඇතුළෙන් කුණු වෙච්ච පිටින් මේකප් කරපු රටක්.

 

ඉස්සර අලි කැලේ හිටියා. අපි ගම්වල, නගරවල හිටියා. අලි – මිනිස් ගැටුමක් තිබුණේ නෑ. දැන් අලි ගම්වලත්, නගරවලත් ඉන්නවා. ඛේදජනක රටක් බවට පත්කරලා. ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ට විතරද? අලින්ට ප්‍රශ්න නැත්ද? රැකෙන්න ඕනෑ මානවහිමිකම් විතරද? අනිකුත් ජීවීන්ගේ හිමිකම් රැකෙන්න ඕනෑ නැද්ද? ජීවීන්ගේ හිමිකම් නොරැකුණු මොහොතක මානවයාද ඉතිරි වන්නේ නැත. අලි- මිනිස් ප්‍රශ්නයේදී මිනිස්සුන්ට හුරුකරලා තියෙන්නේ අලියා වැරදියි කියලා. අලියාගෙන් අහලා බැලුවොත් කොහොමද?  “අලි වැට” කියලා අලුත් කිවිඳියක් කවි පොතක් නිකුත් කළා. සවිත්‍රි දිසානායක ලිව්වේ.  අලියත් එක්ක කතා කරන කවියක් මෙහෙම තියෙනවා.
මී ළඟ කෘෂිකර්ම කමිටුවට
එන්න කියමු අපි අලියෙකුට
යුතුකමක් විදිහට
අහමු “කොතනින්ද ඕන අලිවැට”

 

ගැටලු නම් ඔය තරමට
අපි ගහගන්නම් මිනිස් වැට
හැබැයි එන්න බෑ හතර මායිමට
අලි කියනු ඇත පිළිතුරක් විදිහට

 

බෙදනවාමයි වැව දෙකට
කැලේ නම් අපි තනි අයිතියට
ගම ඕන නෑ අපිට
දඬුවම මරණයයි අලි වෙඩිවලට

 

කන්න නැතිව අපේ පොඩි උන්ට
ගම් වැදුනා නම් රෑ එළිවෙන්ට
මහතුනේ කරුණාවෙන්
රිදුනාමයි පෑගුවේ හන්දි කුඩුවෙන්ට

 

වැට ගහනවා නම් අපෙන් බේරෙන්න
එපා අත තියන්න රක්ෂිතයට
අලි කෑ ගසා කමිටුව දෙවනත් වෙන්ට
එකඟ වෙන්න පුළුවන්ද මිනිසුන්ට

 

අලියගෙ පැත්තෙන් හිතලා ලියපු කවියක්. අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේම මිනිසුන්ගේ පැවැත්ම තියෙන්නේ මිනිස්සු මතම නොවෙයි. ඇළ දොළ, තරු ලතා, ඇතුළු ජීවීන්ට අයිතියක් තියෙනවා. මේ පාලකයන්ට මේව තේරෙන්නේ නෑ. එහෙම නම් අපි තේරුම් ගන්න පුළුවන් පාලකයන් පත්කර ගන්න ඕනෑ. වසර 72ක්ම බැලුවා. සාර්ථක වී නෑ. දැන් තීන්දුවක් ගන්න ඕනෑ වෙලාව ඇවිල්ලා. ආණ්ඩුව පරිසරය වනසන්නත් නීති හදනවා. තියෙන නීති මකනවා, වැනසීම කරගෙන යන්න. ඒකට කියන්නේ සංවර්ධනය නෙවෙයි, සංහාරය.

 

රජරටින් පටන්ගත්ත වකුගඩු රෝගය රට පුරා වේගයෙන් පැතිරෙනවා. රෝගීන්ට මාසික ආධාරයක් දෙනවා මිස හේතු හොයලා නිල වශයෙන් කියෙන්නේ නෑ. කීවොත් මෙයාලගේ ධන සම්පත් අඩුවෙනවා. ලාභ රේට්ටුව එනවා නම් මිනිසුන් මැරුණාට කමක් නෑ කියලා ඉන්නේ. ධනේශ්වර ක්‍රමය කියන්නේ ධනය ඇති උන්ට වාසියක් නැති උන්ට අවාසියක් දෙන ක්‍රමයක්. මහාධන කුවේරයන් බිහිවෙන්නේ එහෙමයි. මිනිස්සු වහ බිව්වොත් මියැදෙනවා. මහ පොළොවට වහ ගැහුවොත් ඒවා ජලයට, පසට, ආහාරවලට එකතු වෙනවා. වසරකට ටොන් මිලියන ගණනක් මහ පොළොවට වස එකතු කරනවා. උන්ට වස විසෙන් තොර ආහාර, පිරිපහදු කළ වතුර ලැබෙනවා. සාමාන්‍ය ජනතාවට වස විසත් දෙනවා. අලි මිනිස් ගැටුමක් තියෙනවා. පාලකයන්ට වගේ වගක් නෑ.

 

අපේ රට නිදහස අරගෙන අවුරුදු 72යි. ලිඛිත ඉතිහාසය  අවුරුදි 2500යි. ලිඛිත නොවූ ඉතිහාසයකුත් තියෙනවා. ඒ කාලේ අපේ මිනිස්සු කෑවෙ කොහොමද දන්නේ නෑ නේද? ධාතුසේන රජතුමාගේ කාලයේ කලා වැව හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ. චීනෙන් ද? ලෝක බැංකුවෙන් ද? මින්නේරිය, ගිරිතලේ, හුරුලුවැව ආදිය හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ? කාශ්‍යප සීගරිය හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ? “අහසින් වැටෙන එක දිය බ්ඳකුදු මානවයාගේ ප්‍රයෝජනයට ගෙන මිසක මුහුදට ගලාගෙන යාමට ඉඩ නොතබමි” කියලා පරාක්‍රමබාහු රජතුමාගෙ නායකත්වයෙන් පරාක්‍රමබාහු සමූද්‍රය හදන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද දන්නෑ ණය ගත්තේ. වැව් තිස් හතළිස් දහසක් ණය නැතිව හදපු වැව්වලින් තාමත් අපේ ආහාර ටික සම්පාදනය කරනවා. මේ පාලකයන්ට ප්‍රාදේශීය සභාවක වැසිකිළියක් හදන්න පිටරටක ණයක් නැතිව බෑ. රට ගෙනිච්ච තැන! පරිසරයක් රකින්නේ කොහොමද?

 

ඒ වැව්වලින් අපේ ගම්බිම් කෙත්වතු පෝෂණය වුණා. අනුරාධපුරයට, පොළොන්නරුවට ගියාම පේන්නේ ගල්වලට පණ දුන් හැටි. සීගිරියට ගියාම මනසේ තරම, කායික ශක්තියේ තරම දැකගන්න පුළුවන්. අද පිටට පේන්න ඇඳලා සුවඳ ගහගෙන යන අය ගැන හරියටම දැනගන්න රෝහල්වල ක්ලිනික් පෝලිම බලන්න ඕනෑ. පාලකයන්ගේ කතා තුළින් ඇත්ත වහලා තියෙන්නේ. රටේ ජනතාව රෝහල්වල පෝලිම් ගැහෙන්නේ ඇයි ? විද්‍යාව පලවා හැරලා මිථ්‍යාව කිරුළු පැළඳීම නිසා. විද්‍යාව හැරියාම ප්‍රඥාව නැතිවෙනවා. ප්‍රඥාව නැති කළාට පස්සේ මිනිස්සු අඳුරේ අතපත ගානවා. ජනප්‍රිය දේවල් පස්සේ යනවා. පැණි පෝලිමේ, නිකවැරටියේ, මීවැල්ලාවේ, මේ ඕනෑම තැනකට පෝලිමේ යනවා. විද්‍යාව පැත්තකට දාපු සමාජයක් අකර්මන්‍ය වෙනවා. එහෙනම් මේ සමාජයට ප්‍රඥාව ඕනෑ. ප්‍රඥාව එන්ඩ නම් විද්‍යාව, සත්‍යය, ඕනෑ. ඒ බව මේ සමාජයට පැහැදිලි කර දීම ඔබෙත් මගෙත් කාර්යභාරයක්.

 

මහනුවර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ සංඥා නිකුත් කරමින් තියෙනවා. ජනතාව බයෙන් ඉන්නේ. මේ මාතෘ භූමියට මධ්‍යම කඳුකරය කියලා හදවතක් තියෙනවා. මධ්‍යම කඳුකරයට අත තියලා විනාශ කරන්න පටන් ගත්තේ විශේෂයෙන්ම බි්‍රතාන්‍ය ආක්‍රමණිකයන්. තේ, කෝපි මෙහේ හිටෙව්වා. අපේ රටේ වැව්වල මහ ඔළුව හැටියට සැලකුවේ මධ්‍යම කඳුකරය. වැව් පද්ධතියේම ඉහත්තැව මධ්‍යම කඳුකරය. එතෙන්ට අත තිව්වේ නෑ. වර්තමාන පාලකයෝ ධනයට තිබෙන ලෝභකම නිසා මධ්‍යම කඳුකරය එළිකර මහා සංවර්ධන ව්‍යාපාර කියලා මහවැලි ව්‍යාපාරය ගෙනාවා. පංච මහා ජලාශ ගේන බව කිව්වා. ඒකාලයේත් හිටපු රටට ආදරය කරන උගතුන්, වියතුන් යම් ප්‍රමාණයක් අනතුර පෙන්වා දුන්නා. ඒ අතරින් කෙනෙක් තමයි මහාචාර්ය විතානගේ. මධ්‍යම කඳුකරයට අත තියන්න එපා කියලා අනතුරු ඇඟවීම් කළා. භූ පැලුම්, දුර්වල පාෂාණ, නිසා මහා ජල කඳක් රැස්කරන්න එපා කියලා තියෙනවා. කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. විදෙස් ආධාර, විදෙස් තාක්ෂණය විදෙස් කොන්ත්‍රාත්කරුවෝ ඇවිල්ලා ඉදිකිරීම් කළා. අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු වික්ටෝරියා අවට අනතුරක් නොවේවා කියලා.

 

ප්‍රාර්ථනාවලට කඳු නවත්වන්න පුළුවන් නම් නේද! 2004 ආව සුනාමිය ගැන ලෝකයේ විද්වතුන් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලීවා. සුමාත්‍රා දූපත අසල අලුත් භූතලයක් නිර්මාණය වීමෙන් ඇති  වුණු තල්ලුව නිසා සුනාමිය ඇති වූ බව කීවා. අනාගත භූ කම්පන ඇතිවන කලාපය සිතියම් ගත කළා. ලංකාව ඒ කලාපයේ තියෙන්නේ. නුවර ඇති වූ සිදුවීම් ගැන අපි පාලකයන්ට දැනුම් දුන්නා. නොසලකා හරින්නේ නැතිව වහාම පුළුල් පරීක්ෂණයකට යන්න කියල කීවා. පාලකයන්ට වගේ වගක් නෑ.

 

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය කරන්න එපා කියලා අපි දැවැන්ත සටනක් කළා. නැවැත්තුවේ නෑ. දැන් වෙනකොට ගෙවල් දොළොස් දහස් හත්සිය ගණනක් පුපුරලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්ම නිසා කෝටි ගණනක් වන්දි ගෙව්වා. උල්පත් ඇළ දොළ හිඳිලා බවුසර්වලින් වතුර බෙදනවා. වසන්තයේ නගර බණ්ඩාරවෙල ගෙවල් පුපුරලා ගියේ යටින් උමගක් කැනපු නිසා. පුංචි හරි කම්පනයක් ආවොත් මොනවා වෙයිද? රටේ හදවතට මෙහෙම කරන්න අයිතියක් පාලකයන්ට තියෙනවාද? ඒ බව නොදුටුවා වගේ ජනතාවට අයිතියක් තියෙනවා ද? අපේ රටේ පෙනහල්ල වගේ සිංහරාජය ලෝක උරුමයක්. ලෝක උරුමය සිදුරු කරගෙන පරිසර වාර්තා නැතිව පාරවල් කපනවා නම් මේ රට මොකක්ද? තත්වය බරපතළයි. වර්තමාන ආණ්ඩුවට තාම එච්චර කාලයක් නෑ. මේ පොඩි කාලය තුළ ලොකු වැඩ ගොඩක් කරලා තියෙන්නේ.

 

ඒ කොහොමද කියනවා නම් මීගමුවේ කඩොලාන විනාශකර පිට්ටනියක් හැදීම සන්ධිස්ථානයක්. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පරිසර නිලධාරීනිය මේ විනාශයට විරුද්ධ වුණා. ඉතිහාසයේ සාහිත්‍යය කන්නද කියලා ඇහුවා වගේ හුස්ම ගන්න ඔක්සිජන් ඕනැද කියලා පාලකයෝ ඇහුවා. විල්පත්තු වනෝද්‍යානය රකිනවා කියලා බලය අරගෙන ප්‍රේරණ කලාපයේ අක්කර 1500ක් කෝමාරිකා වගාවට දුන්නා. එතකොට පරිසර ඇමති එස්.එම්. චන්ද්‍රසේන මේ ඉඩම් යෙදවීම නීත්‍යානුකූල බව කිව්වා.

 

වියලි කලාපයේ තියෙන විශේෂ ජල ගැලුම් නිම්නයක් පොළොන්නරුව. වස්ගමුවයි, සෝමාවතියයි ඒකාබද්ධ කරන අලි කොරිඩෝව තියෙන්නෙත් මේ කලාපයේ. මේක ආරක්ෂාකර ගන්න ඕනෑ වනසංරක්ෂණ, වනජීවී අමාත්‍යාංශයෙන්. ඒ රාජ්‍ය ඇමතිවරයා ගිහිල්ලා කිලෝ මීටර් 13ක පාරක් ඕනෑ බවට නිලධාරීන්ට නියෝග කරනවා. මේ ඔක්කෝම කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ පිටින්දාලා. සිංහරාජයේදීත් ජල ගැලුම් නිම්නයේදීත් අහිංසක මිනිසුන්ව පළිහක් හැටියට ඉස්සරහට දාලා පාර ඕනෑ බව කියනවා. ධන කුවේරයන්ට, බහුජාතික සමාගම්වලට පාලකයන්ගේ කල්ලිවලට රට කැබලි කරලා වෙන්දේසි කරන්න මේවා යොදා ගන්නවා. ආරක්ෂා කරන්න ආපු එවුන් වනසන රටක ඔබේත් මතු පරම්පරාවේත් ආරක්ෂාව කොතැනද තියෙන්නේ.

 

පුත්තලම ආනවිලුන්දාවේ රැම්සා තෙත් බිම් ඩොලර් කළා. මහජන උද්ඝෝෂණ නිසා අල්ලන්න ගියා. ඩෝසරයේ ඩ්‍රැයිවර් හැර අනික් අය පැනලා ගියා. ඊට පස්සේ විරෝධය නිසා රියදුරා නොවෙයි අයිතිකාරයා අල්ල ගන්න සිද්ධ වුණා. රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා අල්ල ගන්න සිද්ධ වුණා. ඒවගේම ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති අල්ලන්න සිද්ධ වුණා. උන්ට නීති නෑ. සාමාන්‍ය මිනිහෙක් කැලෙන් කෙවිටක්, උදැල්ලට මිටක්, වහලට ලීයක් කැපුවොත් නීති ක්‍රියාත්මක වෙනවා. හිරේ දානවා. අක්කර දහස් ගණනක් ඩෝසර් කරන අයට නීති නෑ. නීති ගරුක විනය ගරුක රටක් ලු හදන්නේ! පොල්බැද්ද ආදිවාසී ගම්මානයේ ගල්වලයාය කියලා රක්ෂිතයක් තියෙනවා. රඹකැන් ඔය ජලාශයේ රක්ෂිතයක් තියෙනවා. පාරම්පරිකව හේන් කොටපු ඉඩම්. ඒ මිනිස්සුන්ව පලවා හැරියා, ඔප්පු නැති නිසා. අන්තිමේට වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා අක්කර 5426ක් ලොට් 15කට කඩලා කොම්පැනිවලට දුන්නා.

 

මේවාට නීති නෑ. 1980 අංක: 47 දරන  ජාතික පාරිසරික පනතේ 23 වගන්තියේ ’අ’ සහ ‘ආ’ යන්න අනුව හෙක්ටයාර් එකකට වඩා හෙළි පෙහෙළි කරන්නේ නම් පාරිසරික තක්සේරු වාර්තාවක් අවශ්‍ය බව සඳහන් වෙනවා. අර අක්කර ගණන් ඩෝසර් කරන ඒවාට පාරිසරික වාර්තා නෑ. කන්න නැතිව අඹ ගෙඩි 5-6ක් හොරකම් කරාම ඒ දරුවාට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉස්කෝලේ ගාස්තුව ගෙවන්න පොල් ගෙඩි කීපයක් හොරකම් කළාම දඩ ගහනවා. එහෙව් රටක මහගස් බිම හෙලන අයට නීතියක් නෑ. ජනතාව තීන්දු ගන්න ඕනෑ අවස්ථාව එළඹිලා. මම ජීවත්වෙන ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ 2006 දෙසැම්බර මාසයේ 06 වැනිදා විශේෂ කැබිනට් පත්‍රිකාවකින් අක්කර 65000ක් බි්‍රතාන්‍යයේ ‘භූකටේ්‍රඞ්’ සමාගමට දෙන්න අනුමත කළා. මහා සංඝරත්නය පෙරටු කරන් දැවැන්ත විරෝධයක් පෑවා. බුද්ධදාස රජතුමාගේ ඖෂධ වනය නමින් විරුදාවලිය ලත් නිල්ගල, රතුගල වනාන්තරයත් මේ අනුව විනාශ වෙනවා.

 

ඒ විරෝධය නිසා ඊළඟ ඉඩමකට ගියා. සේනානායක සමුද්‍රයේ ඉහත්තෑවට. ඒකට විරෝධය පානකොට දෙහිගම ඇකිරියන් කුඹුර ප්‍රදේශයේ තියෙන මාදුරු ඔය රක්ෂිතයකට ගියා. දැන් ඒක දෙන්න හදනවා. මහා මැතිවරණයෙන් පස්සේ ඒ ඉඩමට ඩෝසර් ගෙනාවා. අපි ඔක්කෝම ගිහිල්ලා ඩෝසර් ඉස්සරහා බුදියගත්තා. දැන් තුන්වැනි වතාවටත් ඒ ඩෝසර් හැරෙව්වා. 2006 ඉඳන් වසර 14ක් අක්කර 65000 බේරගන්න සටනක නිරත වෙනවා. පාලකයෝ හදන්නෙත් රට බේරගන්නලු. උන්ගෙන් පරිසරය බේරගන්න අපට සටන් කරන්න වෙනවා. පරිසරය ආරක්ෂා කරන පාලකයෙක් කවදාද හදාගන්නේ.  ජනතාව මේවා තේරුම්ගත යුතුයි.

 

අපි කවුරුත් ස්වභාව සෞන්දර්යය බලනවා වගේම සීතල විඳින්න හෝර්ටන්තැන්නට යන්න පාරවල් දෙකක් තියෙනවා. පට්ටිපොළ පැත්තෙනුත්, බොරලන්ද ඔහිය පැත්තෙනුත් යන්න පුළුවන්. වර්තමාන ආණ්ඩුව බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාරක් හදන්න දැන් පිඹුරුපත් හදනවා, නාය යන ප්‍රදේශයක.  හෝර්ටන්තැන්නට යන්න නොවෙයි. පාලකයන්ට සල්ලි හොයන්න හෝටල් දාගන්න. සොඳුරු හන්තානට මොකක්ද වෙන්න තියෙන්නේ. වනසමින් තියෙනවා. මහවැලියේ විශේෂ පෝෂිත ප්‍රදේශයක් මේක. ඒවගේම මොරගහන්ද විශේෂිත ජල පෝෂිත ප්‍රදේශයක් නකල්ස් කඳුවැටිය. හෙක්ටර්යාර් 21000ක් තියෙනවා. මේ ආණ්ඩුව නකල්ස් කඳුවැටියේ පන්නිල කොටසට ඩෝසර් දැම්මා. උද්ඝෝෂණ නිසා යම්තම් වැළකිලා තියෙන්නේ. හම්බන්තොට ඉඩම් විකුණනවා. කොළඹ ගම්පහත් විකුණනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 406ක් නිවාස සංකීර්ණයක් හදන්න වෙන්කරලා තියෙනවා.

 

ගස්වලට පක්ෂයක් නෑ. ගංගාවලට, ඇළ දොළවලට පක්ෂයක් නෑ. මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නොවෙයි. අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. දේශප්‍රේමය කියන එකට පරිසර ප්‍රේමය ඇතුළත් කර ගන්නේ නැද්ද? ජාතික ආරක්ෂාව කියන එකට පරිසරය අයිති නැත්ද? පහුගිය කාලෙ අපි ජාතික ප්‍රශ්නය හැටියට කතා කළේ බෙදුම්වාදය මූලික කරගත්ත ප්‍රශ්නය. නමුත් ජාතික ප්‍රශ්නයට සොබාදහම විනාශ කිරීමේ ප්‍රශ්නයත් ඇතුළත් විය යුතුයි. සියලු ජාතින් එකතු වූ ජාතික අරගලයක් පැනනැගිලා තියෙනවා. රට හැම පැත්තෙන්ම අනතුරට පත්වුණු මොහොතක අපි ඉන්නේ . සොබාදහමට මෙහෙම කරන්නේ ඇයි ? මහින්දට, මෛත්‍රීට. මේක තේරෙන්නේ නැත්ද? අපිට තේරෙන්නේ නැති වෙන ප්‍රශ්න ටිකක් එයාලට තියෙනවා. ධනේෂ්වර ක්‍රමය කියලා අපි හඳුන්වන ක්‍රමයක් මේක. ධනය මූලික කරගත් සමාජ ක්‍රමයට අපි විරුද්ධයි. අපි පක්ෂ, මිනිස්සු මූලික කරගත් සමාජවාදී සමාජයකට.

 

මෙතුවක් කල් තිබුණු පාලනයන් යූ.එන්.පී. වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්, පොදුජන පෙරමුණේ වෙන්න පුළුවන් ඒ ඔක්කෝම ධනේශ්වර ක්‍රමයේ පාලකයන්. ධනේශ්වර ක්‍රමය කියන්නේ සොබාදහම සුළුතරයක් වූ පිරිසකගේ සුඛවිහරණය උදෙසා පාවිච්චි කර ගන්නා ක්‍රමයට. සොබාදහම සහ පරිසරය සුළුතර ධනේශ්වර පිරිසකගේ සුඛවිහරණයට පාවිච්චි කිරීම නිසා, බහුතරයක් වෙච්ච මිනිස්සු අසරණ වෙනවා. අනාගත පැවැත්ව අනතුරට ලක්වෙනවා. පාලකයන්ට මේ බව පේන්නේ නෑ. එයාලට පේන්නේ ධනයේ අවශ්‍යතාවය විතරයි. සුළුතරයකගේ පැවැත්ම සඳහා බහුතරයකගේ පැවැත්ම කැපකරන්න දෙන්න බෑ. සොබාදහම සහ පරිසරය සියලුම මානව සහ ජීවීන්ගේ අවශ්‍යතාවය සඳහා කැපකරන පාරිසරික මිතුරු ක්‍රමයකට රට ගෙනයාම තමයි අපේ පැතුම. සමාජවාදය කියන්නේ ඒකට. ඒ බව අපි තේරුම්ගත යුතුයි.
එහෙම නොවුණොත් කඩාවදින අනතුරේ දිග පළල කියාගන්න බැහැ. වර්තමාන පාලකයෝ බෞද්ධයන් පෙරටු කරගෙන බලය ගත්තා. බුදුන් වහන්සේ කියන්නේ ගහක් යට ඉපදිලා, ගහක් යට බුදුවෙලා, ගහක් යට පළවෙනි ධර්ම දේශනය කරලා, ගහක් යට පිරිනිවන් පාලා අගනා දර්ශනයක් ලෝකයට ඉතිරි කරපු ශාස්තෘන් වහන්සේ.  බුදුන් වහන්සේ “වනාන්තරය වූ කලී අසීමිත කරුණාවෙන් සහ ගුණයෙන් යුක්තවු වස්තුවකි. තුරුලතා වූ කලි තම පැවැත්ම උදෙසා කිසිදු ඉල්ලීමක් නොකර තමා නිපදවන දෑ කිසිදු ප්‍රතිලාභයකින් තොරව සියලු සතුන් වෙත බෙදාහරින්නා වූ ද, තමාට හතුරු කරන්නාට පවා සෙවන සදන්නා වූ ද, වස්තුවකි.” කියල දේශනා කළා. අන්න ඒ වස්තුවට තමයි පාලකයෝ ෂොට් එක දුන්නේ.

 

මේ නිසා ඔබට අපිට වගකීමක් තියෙනවා. සොබාදහම ආරක්ෂා කරගන්න. අනාගත පැවැත්ම වෙනුවෙන් ජාතික ආරක්ෂාවට මේක ඇතුළත් කර ගන්න. සොබාදහම, පරිසරය රකින්න ආ යුතුව තියෙනවා. දැන් මරු කැඳවමින් තිබෙන්නේ මානව පැවැත්මට, ජීවීන්ගේ පැවැත්මට කියලා තේරුම් ගන්න ඕනෑ. ඒ නිසා පරිසරය ආරක්ෂා කර ගන්න කාලය හොඳටම එළඹිලා. ඩෝසරයට එරෙහිව කියන සම්මන්ත්‍රණ වටය අපි දිස්ත්‍රික්ක පුරාම අරගෙන යනවා. ඇත්ත තත්වය සංවේදී මිනිසුන්ට බෙදා දෙනවා. හැඟීමක් තියෙන අය එක තැනකට එකතු කරනවා. අපි දෙසුම් තිය තියා බලා ඉන්න විතරක් සූදානම් නෑ. අපි ආණ්ඩුවට කියන්නේ ඔබටත් කරදරයක් නොවී අපටත් කරදරයක් නොවී කාලය මිඩංගු නොකර ඔය ඩෝසර් ආපස්සට හරවනු. ආපස්සට හරවා ගන්නේ නැත්නම් මේ දේශනවලින් විතරක් නතර කරන්නේ නෑ.

 

ගෝඨාභය මහත්තයා ඊයේ පෙරේදා ගෝඨාභය ලා දෙන්නෙක් ඉන්නවා කියලා කියලා තිබුණා. දෙන්නෙක් නෙවෙයි කී දෙනෙක් හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. කවදා හිටියත් මැරෙණ මිනිස්සු අපි. මහපොළොව රැකලා, ගහ කොළ සතා සිපාවා රැකලා අනාගත පරපුරට මෙවැනි ඛේදවාචක අත් නොවන රටක් නිර්මාණය කරන එක අපේ වගකීමක්. ඒකට නායකත්වය ගන්න, පෙරමුණේ වැඩකරන්න අපි සූදානම්. මේ පාලකයෝ ඩෝසර් කරන්නේ පරිසරය විතරක් නොවෙයි කියලා තේරුම් ගන්න ඕනෑ. පිදුරුතලාගල කන්දට වැඩිය උස ටි්‍රලියන 18ක ණය කන්දක් තියෙනවා. තේරෙන භාෂාවෙන් කෝටිවලින් කියනවා නම්, කෝටි ලක්ෂ 18ක ණය කන්දක්. ඇත්තම ප්‍රාග්ධනය හොයාගෙන පිටරටවලට යන්න ඕනෑ නෑ. මෙහ මහපොළොවේ තියෙනවා. තුරුලතා අතර තියෙනවා. භූමියේ තව සම්පත් රැසක් තියෙනවා. මෙයාලට ඕනෑ ක්ෂණිකව ධනය සොයා ගන්න.
ඒ පාරේ ගිහිල්ලා දැන් ලෝකෙන් ණය දෙන්නේ නෑ. ඒ වෙනුවට අපේ සම්පත් එකින් එක විකුණන්න බලකරනවා. දැන් ගොඩක් ඒවා විකුණලා ඉවරයි. අන්තිම වස්තුව වූ කැලේට මහපොළොවට ඩෝසරේ දාලා තියෙන්නේ. අධ්‍යාපනය එක පැත්තකින් ඩෝසර් කරනවා. එක පැත්කින් මහ බැංකුව ඩෝසර් කරලා රනිල් ලා ගියා. ඇත්තම ගත්තොත් දැන් මේ පාලකයෝ පාර්ලිමේන්තුවත් ඩෝසර් කරලා තිබෙන්නේ. පාර්ලිමේන්තුව නාමික එකක්. එතන බල රහිත කරලා. ඒ නිසා ඇත්ත සටන තියෙන්නේ පාර්ලිමේන්තුවට වඩා මහපොළොවේ. මේ පාලකයෝ කල්ලි ගැහිලා කල්ලිවලින් රට පාලනය කරන්නේ. එක කල්ලියක් ජනාධිපති මන්දිරයේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ පී.බී. ජයසුන්දර, දිලීප්  ජයවීර, ප්‍රමුඛ පිරිසක් එතන ඉන්නවා. අලි සබ්්‍ර මහත්තයලත් ඉන්නවා.

 

තව කල්ලියක් මහින්ද මහත්තයා ප්‍රමුඛව අරලියගහ මන්දිරයේ තියෙනවා. තව එකක් නෙළුම් මාවතේ තියනවා. තුන් පැත්තක ඉඳලා තුන් පැත්තකට අදින කොට රටක් ඉතිරි වෙන්නේ නෑ. අරමුණු තුනකට රට  ගෙනියන්නේ. කල්ලි විසින් රට පාලනය කරන කොට එහෙම තමයි. කොයි කල්ලිය රට පාලනය කළත් රටත් ජනතාවත් සොබාදහමත් ඩෝසර් කරන්න ආවොත් ඔය ආණ්ඩුවේ කල්ලි ඩෝසර් කරන්න වෙන බවට අපි අනතුරු අඟවනවා. මේ රටේ ජනතාව අතීතයේදී එහෙම කරලා තියෙනවා. ජනතාව ඒ තැනට ගේන්න අපිට සිද්ධ වෙනවා. ලෝකයේ එහෙම කරලා තියෙනවා. කාල්මාක්ස් සහෝදරයා     “මිනිසාට මානුෂික විය හැක්කේ තමන් ජීවත්වෙන පරිසරයට කාරුණික වීමෙන් පමණයි” යනුවෙන් කියලා තියෙනවා. එහෙම නම් මිනිසුන්ට මානුෂික වීම උදෙසාම පරිසරයට කාරුණික වෙමු. මනුෂ්‍යත්වය, සාධාරණය, යුක්තිය පිරිපුන් සමාජයක් හරහා මිසක මේ සොබාදහම රකින්න බැහැ. පුංචි පුංචි කණ්ඩායම්වලට බෙදිලා හුදකලා වෙලා මේක බේරගන්න බැහැ. මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නය දේශපාලනය කියලා තේරුම් ගන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ මේ ක්‍රමය තුළ කියලා තේරුම් ගන්න ඕනෑ. සුළුතරයක් වූ පන්තියේ අවශ්‍යතා පිනවන්න සොබාදහම බුක්තියට ගන්න කොට බහුතරයක් වෙච්ච ජනතාව සහ අනාගතය වැළලෙන බව තේරුම් ගන්න ඕනෑ. මේ තේරුම් ගැනීමෙන් අපි ඔක්කොම ඒකාබද්ධ වෙලා වෙන වෙන ප්‍රශ්න පැත්තක තියලා සොබාදහම රැක ගන්න එක මිටකට ආ යුතුව තියෙනවා.

 

අන්න ඒ පෙරමුණ එච්චර ඈත යන්නේ නෑ. තවත් අලුත් බලවේග එකතු කරලා දැවැන්ත බලවේගයක් බවට පත්කරලා ඩෝසර් කරන මේ ආණ්ඩුව විතරක් නොවෙයි මේ සමාජ ක්‍රමයත් ඩෝසර් කරන්න ඕනෑ. සොබාදහමට පරිසරයට සැබෑ ආදරය දක්වලා මානව සංහතියේ පැවැත්ම, ජිවීන්ගේ පැවැත්ම තිරසරව තහවුරු කරන්න කැපවෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම පෙරට ආ යුතුයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ජීවයේ අයිතිය සංවිධානයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න .

The post ආණ්ඩුවට පරිසරය පේන්නේ රුපියල් සත විදිහටයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here