ඈ, අරුන්දතී රෝයි මේ, ඇගේ මායා ප්‍රබන්ධය

    0
    15
    Author(s): 
    කාංචනා අමිලානි

    “මම ජීවත් වෙන්නෙ තනියෙන් කියලා හැමෝම හිතුවට ඒක එහෙම නෑ. මගේ නවකතාවල ඉන්න චරිත මගෙත් එක්ක ජීවත් වෙනවා. ගෙදර ඉස්සරහා දොර වහපු ගමන් ඒ අයට පණ එනවා.”

    අරුන්දතී රෝයි මෙහෙම කියන්නේ ගාඩියන් පුවත්පතේ මාධ්‍යවේදියෙක් සමඟ කළ සාකච්ඡාවකදී. මේ සම්මුඛ සාකච්ඡාවට පාදක වුණේ ඇගේ රහසිගත දෙවැන්න, The Ministry Of Utmost Happiness නවකතාව. ඈ පළමු නවකතාව පළ කරලා වසර විස්සක් ගත කළා දෙවැන්නට එන්න. ඒ වසර විස්ස හරියට ජිග්සෝ ප්‍රහේලිකාවක් වගෙයි. මේ වසර 20 පුරාවට ප්‍රබන්ධ නොවන දේ රාශියක් ඇගේ අතින් ලියැවුණා. වාර්තා චිත්‍රපට සැකසුණා. ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවලට විරුද්ධව විවිධ උද්ඝෝෂණවලට සහභාගි වුණා. කාශ්මීරයේ නිදහස් සටනටත් ක්‍රියාකාරීව සහභාගි වුණා. මේ අතරේ, ටයිම් සඟරාව විසින් වඩාත් බලපෑම්සහගත පුද්ගලයන් දස දෙනාගේ ලැයිස්තුවටත් ඈව ඇතුළත් කළා. ගෙවුණු වසර විස්ස පුරා ඇගේ සාහිත්‍ය ජීවිතය නම් ජිග්සෝ පසලය විසඳාගන්න ඕනෑ නම් මේ සියලු ක්‍රියාකාරකම් හරහා පතුළක් නොපෙනෙන අගාධයකට බැසීම අනිවාර්යයි.

    “මට ප්‍රබන්ධය තරම් උසස් දෙයක් තවත් නෑ. මම කතන්දර කියන්නියක්. ලෝකයේ සිදුවෙමින් පවතින විප්‍රකාර තේරුම් ගැනීමට හොඳම මාර්ගය ඒ ඇසුරින් කතන්දර කීමයි. ඒක තමයි මගේ විදිහ. පළවැනි නවකතාවෙන් පසුව මගේ ජීවිතය සෑහෙන්න වෙනස් වුණා. හැබැයි දෙවැන්නට යනකොට පළවෙනි නවකතාවෙ දිගුවක් ලියන්න මට ඕනෑ වුණේ නෑ. මට වුවමණා වුණේ ඒ මොහොතේ මම සැරිසරමින් උන්නු ජීවිතය ආශ්‍රයෙන් යමක් ලියන්න. පැ‍රැණි දිල්ලියේ පල්ලි සහ වෙනත් විකාර තැන්වල ඒ වෙනකොටත් මම වුවමණාවෙන්ම රස්තියාදු ගහමින් උන්නේ. මේක මම මගේ ජීවිතේ වැඩි හරියක් කරපු රස්තියාදුවක්. ඉතාම සතු‍ටු දනවන තැන්වල වගේම අතිශය ශෝකී තැන්වල මම ජීවිතෙන් බාගයක් විතර පාවෙමින් උන්නා. ඒ ගමන්වල දි වෙන්න ඇති The Ministry Of Utmost Happiness නවකතාවෙ සංක්‍රාන්ති ලිංගික කාන්තාවගේ චරිතය ඇවිත් මගේ ඇගේ හැප්පුණේ. මොවුන්ව ඉන්දියානුවන් හඳුන්වන්නේ ‘හිජ්‍රා’ නමින්. ඒ වචනයේම යම්කිසි අපහාසාත්මක තානයක් තියෙනවා. නමුත් මගේ ප්‍රබන්ධය ඇතුළේ මොවුන්ගේ ජීවිතය වර්ණවත්ව කියන්න මම උත්සාහ කළා. ඒ වගේමයි ශෝකය සහ පීඩාව. ‘අන්ජුම්’ මගේ නවකතාව ඇතුළේ ජීවත් වෙන තවත් වැදගත් ප්‍රධාන චරිතයක්. ගුජරාට්වල සිද්ධ වුණ අමානුෂික සමූලඝාතනයකට අන්ජුම්වත් මැදි වෙනවා. මේ සිදුවීම්වලට පසුවයි අන්ජුම් සොහොනක ජීවත් වෙන්න පටන් ගන්නේ. අන්තිමට ඈ සොහොන් බිමේ තාවකාලික ගෙයක් හදාගන්නවා. මේ තාවකාලික ගෙදර අමුත්තන්ට කාමරත් හැදෙනවා. අත්හැර යන කුඩා බිළි‍ඳෙකුට පවා පිළිසරණ වෙන්නෙ අන්ජුම් සොහොනක හැදූ අමුතු ගෙදරයි. සාමාන්‍ය ඇතුළේ අපට නොපෙනෙන්න තියෙන අසාමාන්‍ය ප්‍රබන්ධයක් ඇතුළට ආවම වඩාත් ජීවමාන ගතියකින් පේන්න ගන්නවා. ඒක හරියට ඇත්ත ඇතුළේම නොපෙනෙන්න තියෙන බොරුව වගෙයි.”

    “කුලය නිසා මිනිස්සු බෙදීමට ලක් වන විදිහ හරිම අකාරුණිකයි, ඒ තරමටම ම්ලේච්ඡයි. පහළම කුලය පවා තවත් අනු කුලවලට බෙදලා සලකන තරමට මේ ක්‍රමය අමානුෂිකයි. මිනිසුන් බෙදීමට ලක් කරන මූලිකම දේශපාලනය මෙන්න මේකයි. වෙන් කිරීමේ ජාලගත සිතියම සැලසුම් කරන්නේ මේ වගේ සියුම් මානසික බන්ධන පාවිච්චි කරලා. නිදහස කියලා නවීන ලෝකය උපකල්පනය කරන්නෙම එක්තරා වහල්භාවයක්. ඒත් ඒක විශ්වාස කරන්න ඒ අය ලෑස්ති නෑ.

    මෙන්න මේ කුලය, ස්ත්‍රී, පුරුෂ, හිජ්‍රා ආදී විදිහට බෙදීමෙන් ඇති කරන අනර්ථය මගේ නවකතාව ඇතුළේ යම් අර්ථයකින් යෙදුවා. මහා සමූලඝාතනයක් අතරේ අන්ජුම් බේරෙන්නෙ හිජ්‍රාවක් නිසා. මෙය යම්තාක් දුරකට විසුළුසහගතයි. අනර්ථය පිණිස පහත් කර, වෙන් කරපු කොට්ඨාසයක් ඒ අපහාසාත්මක වෙන් කිරීම ඇතුළෙන්ම වාසනාවන්ත වෙනවා.”

    ඇගේ ලිවීමේ මායා කර්මය මකුළු දැලක් වගෙයි. කොහොම බේරෙන්න හැදුවත් යම්කිසි තැනකදි ඇලීමට ලක් වෙනවා. මකුළු උගුලේ පැටලෙනවා. මැලියම් ද්‍රාවණයක ගිලෙන්න නොපෙනෙන කෙනෙක් බල කරනවා.

    “මම ලියන්න ගත්තම ඒක ඇතුළේ ජීවත් වෙන්නත් පටන් ගන්නවා. ඊට පස්සෙ චරිත මගෙත් එක්ක කතා කරන්න ගන්නවා. ඒ අය මට උපදෙස් දෙන්න පවා උඩඟු වෙනවා. ඒක වෙනම ලෝකයක්. The Ministry Of Utmost Happiness ලියන්න ගන්නකොට මට ඕනෑ වුණේ පොතක් ලියන්න විතරයි. මේ වුවමනාව ඇතුළේ දෝලනය වෙමින් ඉන්නකොට ප්‍රබන්ධය ඇවිත් මාව ‍තෝරගත්තා. ඒක මගේ වුවමනාවට වෙච්ච දෙයක් නෙවෙයි. කාශ්මීරයේ සිදුවෙමින් පවතින දේ එක එල්ලේ කියන්න මාර්ගයක් ඒ මොහොතේ තිබ්බෙ නෑ. ඒ වගේම මේ අකටයුතුකම් කාශ්මීරයට විතරක් සීමා වුණේ නෑ. රට පුරාම නොයෙක් හුදෙකලා සිද්ධි තිබුණා. අනික කාශ්මීරයේ එක සිදුවීමක් හුදෙකලා කරන්නත් පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒ හැම සිද්ධියකටම තට්ටු ගණනාවක් තිබුණා. මේ තට්ටුමය සිද්ධිදාමය කියන්න ප්‍රබන්ධය ආවේ දේවදූතයෙක් වගේ.”

    The Ministry Of Utmost Happiness ලියන්න මූලබීජය ආවේ කොහෙන්ද කියලා මට එකපාරටම කියන්න බැහැ. අවුරුදු ගාණක් පුරා සිද්ධ වුණ අතොරක් නැති දේවල එකතුවක් මගේ ඔළුවෙ පල් වෙවී තිබ්බා. ඒක නිකං කොම්පෝස්ට් එකතුවක් වගෙයි. පැළයක් හිටවන්න තීරණය කරපු ගමන් ඒ පොහොර ටික එළියට ආවෙ කැමැත්තෙන්මයි. හැබැයි මේ නවකතාව සම්බන්ධයෙන් වැදගත්ම ගිනි පුපුර පත්තු වුණ දවසක් තියෙනවා. එක්තරා රාත්‍රියක මම ජන්තර් මන්තර් ඉස්සරහා උද්ඝෝෂකයෝ පිරිසක් එක්ක උන්නා. හදිසියේම පිරිස අතර කසුකුසුවක් පටන් ගත්තා. ඉන් පස්සේ ඒ කසුකුසුව ලොකු කෑගැසීමක් බවට පත් වුණා. කවුරුන් හෝ බිළි‍ඳෙක්ව මහපාරේ අතෑරදමලා ගිහින්. මේ බිළිඳාට මොනවා කරන්නද කියලා එතන උන්නු කිසිම කෙනෙකුට අදහසක් තිබුණේ නෑ. ඒ වගේම ඒ වගේ තැනකට කවුරු නම් කුඩා දරුවෙක්ව ගෙනැත් දාලා ගියාද කියලා අනුමාන කරගන්නවත් බැරි වුණා. මේ සිදුවීම මගේ යටි හිතේ ලොකුවට තැන්පත් වෙලා තිබ්බා.”

    “මට ඕනෑ වුණේ නගරයක සිතියමක් හකුලලා පෙන්නනවා වගේ කතාවක් කියන්න. එතනදි අතෑරලා දමලා ගිය කුඩා ළමයකුවවත් මඟහැර ගන්න ඕනෑ වුණෙ නෑ. ඇත්තම කිව්වොත් පැ‍රැණි දිල්ලියේ මම කුඩා නිවසක් කුලියට අරගෙන තිබුණා. වතාවෙන් වතාව ඒ නිවසට ගිහින් ටික වෙලාවක් ගත කරලා නැවත එන පුරුද්දක් මට තිබුණා. හැබැයි ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නෑ මම ඊළඟ නවකතාව ලියන්න ගෙදර වැඩ කරමින් ඉන්නවා කියලත්. මගේ ලිවීමේ චාරිකාව නිකං සුප් එකක් වගෙයි. හැමදේම ඒ සුප් එක ඇතුළට දාගෙන වුවමණා දේවල් විතරල් එළියට ඇදලා ගන්න මම පුහුණු වෙලයි උන්නේ.”

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here