කට නිසා දඟගෙට ගිය රන්ජන්

    0
    13
    Author(s): 
    නෙල්කා මැදගෙදර

    ඉදිරිපත් වූ වීඩියෝ පටය සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අවධානයට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් යොමු කළේ ඔවුන්ගේ අදහස් දැන ගැනීමටය. එම වීඩියෝ පටය නැරඹූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස වූයේ අදාළ ප්‍රකාශය කිරීමෙන් රන්ජන් රාමනායක මහතා බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් කර ඇති බවය. ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් දිගටම කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහෙත් මාගල්කන්දේ සුදත්ත හිමි සිය පැමිණිල්ල පවත්වාගෙන නොයාමට තීරණය කළේය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහි චෝදනා පත්‍රය ගොනුකරන ලෙසය. 

    කට නිසා නසින්නේ මාළුවන් පමණක් නොවන බව තවදුරටත් තහවුරු කරමින් කට වරද්දා ගත් දේශපාලනඥයන්ගේ ගොඩට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද ඊයේ (12) එක්විය. කටට ආ පළියට වචන භාවිත නොකළ යුතු බවට රන්ජන් රාමනායක මහතාට පමණක් නොව සියලු දෙනාටම ශ්‍රේෂ්ඨාධිකරණය පාඩමක් කියා දුන්නේය.

    අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස්. බී. දිසානායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් මීට පෙර නියම කරන ලදි.

    ඒ වප් මඟුල් උත්සවයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙනි. ඒ සම්බන්ධව සිවිල් වැසියන් දෙදෙනකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එස්. බී. දිසානායක මහතාට බරපතළ සිර දඬුවම් නියම කළේය.

    අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් නියම වූ නවතම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන්නේ රන්ජන් රාමනායක මහතාය.

    අරලියගහ මන්දිරයේදී 2017 වසරේ අගෝස්තු මස 21 දින පැවැති රැස්වීමකින් අනතුරුව පිටත මාධ්‍යවේදීන් රැස්වී සිටි ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. ‘විනිසුරුවරුන් සහ නීතිඥයන් බහුතරයක් දූෂිතයන් බවට’ ඔහු එහිදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශය රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය කෙරිණි.

    මෙම ප්‍රකාශය මඟින් රන්ජන් රාමනායක මහතා අධිකරණයේ බලයට සහ ස්වාධිපත්‍යයට හානි කරමින් එහි ගෞරවය කෙලෙසීමට උත්සාහ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි දෙකක් ගොනු වන්නේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කර ඔහුට දඬුවම් නියම කරන ලෙස මෙම පැමිණිලි මඟින් ඉල්ලා තිබුණි. මෙම පැමිණිලි ගොනුකර තිබුණේ මාගල්කන්දේ සුදත්ත හිමි සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ රණවක සුනිල් පෙරේරා විසිනි.

    මෙම පැමිණිලි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට අධිකරණයට ලබා දෙන ලෙස රූපවාහිනි නාලිකා කිහිපයකට නියම කෙරිණි.

    ඒ අනුව ඉදිරිපත් වූ වීඩියෝ පට සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අවධානයට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් යොමු කළේ ඔවුන්ගේ අදහස් දැන ගැනීමටය. එම වීඩියෝ පටය නැරඹූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස වූයේ අදාළ ප්‍රකාශය කිරීමෙන් රන්ජන් රාමනායක මහතා බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් කර ඇති බවය. ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් දිගටම කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහෙත් මාගල්කන්දේ සුදත්ත හිමියන් සිය පැමිණිල්ල පවත්වාගෙන නොයෑමට තීරණය කෙළේය.

    පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහි චෝදනා පත්‍රය ගොනු කරන ලෙසය.

    ඒ අනුව නීතිපතිවරයා චෝදනා පත්‍රය සකස් කළේය. එම චෝදනා පත්‍රය විවෘත අධිකරණය හමුවෙහි කියවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

    නඩු විභාගයේදී සාක්ෂි දීම සඳහා මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් සහ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් ඇතුළු සාක්කිකරුවන් කිහිපදෙනකු නීතිපතිවරයා විසින් කැඳවනු ලැබිණි. හිරු ටී.වී. හි ප්‍රවෘත්ති සංස්කාරක ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි, රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය කැමරාගත කළ මාධ්‍යවේදී එරන්ද ගුණවර්ධන සහ අධිකරණ පරිශ්‍රයේදී රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශ වීඩියෝගත කළ මාධ්‍යවේදී අජිත් වික්‍රමසිංහ, සිරස මාධ්‍ය ජාලයෙහි ගයාන් සම්පත් ඇතුළු කිහිපදෙනකු විසින් නීතිපතිවරයාගේ මෙහෙයවීමෙන් සාක්ෂි දෙන ලදි. විත්තිකාර රන්ජන් රාමනායක මහතාගේ පාර්ශ්වයෙන් රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන්, චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසක් ද සාක්ෂි දුන්හ. හිරු මාධ්‍ය ජාලය සතුව තිබූ අදාළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය කළ සහ නොකළ වීඩියෝ පට අධිකරණයට ලබා දුන් අතර, සිරස මාධ්‍ය ජාලය සතුව එම වීඩියෝ පට නොමැති බව ප්‍රකාශ කෙරිණි. 

    සාක්කි විභාගයේදී විත්තිකාර රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ තමන් චේතනාන්විතව විනිසුරුවරුන්ට හෝ අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශයක් නොකළ බවය. එවැනි අරමුණකින් එම ප්‍රකාශය නොකළ බව ඔහු සඳහන් කළේය.

    කෙසේ වුවද නඩු විභාගය පුරාම අවස්ථා රැසකදී රන්ජන් රාමනායක මහතා කළ බව කියන ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය විවෘත අධිකරණය හමුවෙහි ප්‍රකාශ කරන ලදි.

    නඩු විභාගයේදී සාක්කි විමසීමෙන් අනතුරුව විත්තියේ සහ පැමිණිල්ලේ වාචික දේශන සිදු කරන ලදි. නීතිපතිවරයා වෙනුවෙන් මුල් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා විශ්‍රාමයාමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා නීතිපතිවරයා නියෝජනය කළේය. ඒ අනුව පැමිණිල්ලේ වාචික දේශන අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විසින් සිදු කරන ලදි.

    අනතුරුව නඩු විභාගයේදී ඇති වූ ගැටලු නිරාකරණය කරන ලදි. ඒ සඳහා ඊයේ 12 ද නඩුව කැඳවා තිබිණි.

    පෙරවරු 9.45ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වූ සිසිරද ආබෲ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරු අධිකරණ ශාලාවට පැමිණ අසුන්ගත්හ. එහෙත් විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.

    විත්තිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා කොරෝනා ආසාදිතයකුට නිරාවරණය වීම නිසා නිරෝධායනයට ලක්ව සිටින බව අධිකරණයෙහි පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කළේය.

    කෙසේ වුවද නඩුවේ ඉදිරි කටයුතු දිගටම කරගෙන යෑමට අදහස් කළ විනිසුරු මඬුල්ල විත්තිකරු අධිකරණ ශාලාවේ නොසිටීම සම්බන්ධයෙන් නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළේය. විත්තිකරු අධිකරණ සංකීර්ණයේ පහළ මාලයෙහි රැඳී සිටින බව නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් පසු අධිකරණයේ නියමය මත විත්තිකාර මන්ත්‍රිවරයා අධිකරණ ශාලාවට කැඳවන ලදි.

    විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ ශාලාවට පැමිණීමෙන් පසුව නඩුවේ කරුණු පැහැදිලි කිරීම් කිහිපයක් අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විසින් සිදු කරන ලදි.

    එම කරුණු පැහැදිලි කර ගැනීම් අවසන් කිරීමෙන් පසුව තවදුරටත් කරුණු පැහැදිලි කිරීම් නොමැති බැවින් නඩුව සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කළ හැකි බවට විනිසුරු මඬුල්ල සඳහන් කළේය. ඒ අනුව තීන්දුව ප්‍රකාශ කිරීම පෙරවරු 10.15ට සිදු කරන බව විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කළේය.

    ඒ අනුව පෙරවරු 10.25ට පමණ අධිකරණ ශාලාවෙහි විනිසුරු මඬුල්ල අසුන්ගැනීමෙන් අනතුරුව ‍සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ කළේය.

    මෙම නඩුව පවරන අවස්ථාව වන විට විත්තිකාර රන්ජන් රාමනායක මහතා කැබිනට් නොවන ඇමැතිවරයකු ලෙස කටයුතු කළ බව තීන්දුවෙහි සඳහන් වේ. 2006 වසරේදී පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ ඔහු දිගින් දිගටම පාර්ලිමේන්තුවට පත් වූ බවද සඳහන් වේ. චිත්‍රපට නළුවකු වන විත්තිකරු දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව චිත්‍රපට කිහිපයක් සකස් කළ බව සාක්කි විභාගයේදී සඳහන් කර ඇත.

    2017 වසරේ අගෝස්තු මස 21 දින අරලියගහ මන්දිරයෙහි පැවැති රැස්වීමකින් පසුව එළියට පැමිණි විත්තිකාර රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් අමතා විනිසුරුවරුන් සහ නීතිඥයින් බහුතරයක් දූෂිත බව ප්‍රකාශ කිරීමේදී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බව ප්‍රකාශ කළ විත්තිකරුගේ නීතිඥවරයා ඒ බව ඔප්පු කිරීමට උත්සහ කළ ද එම වෑයම අසාර්ථක බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.

    2017 අගෝස්තු මස 21 දින ප්‍රකාශයෙන් පසුව මෙම නඩුවට අධිකරණයට පැමිණි අවස්ථා කිහිපයකදීම අධිකරණ ශාලාවෙන් පිටත අධිකරණ පරිශ්‍රයේදී රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයන් කිහිපයක් කරමින් පෙර කරන ලද ප්‍රකාශය තහවුරු කර තිබේ.

    ඔහු කළ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම පටිගත කර විකාශය කළ බව සාක්කිකරුවන් සාක්ෂි ලබා දුන් බව නඩු තීන්දුවෙහි සඳහන් වේ. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය වැනි විනිසුරුවරුන් පිළිබඳව විත්තිකරු කළ ප්‍රකාශයන් හිරු නාලිකාව විසින් කපා දමා කොටසක් පමණක් විකාශය කර ඇති බවට විත්තිකාර පාර්ශ්වය විසින් චෝදනා කර තිබුණි.

    එය සහ 21 දින කරන ලද ප්‍රකාශය චේතනාන්විතව සිදු නොකිරීම විත්තිකාර පාර්ශ්වය සිය ප්‍රධාන නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කළේය. එහෙත් එම කරුණු සාක්කි මඟින්ම ප්‍රතික්ෂේප වී ඇති බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.

    ‍අගෝස්තු මස 21 දිනට පසුව 2017 දෙසැම්බර් මස 14 දින අධිකරණ පරිශ්‍රයේදී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවය. එසේම 2018 මාර්තු මස 23 දින ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ප්‍රකාශ කළේ මෙම විනිසුරුවරුන් ගැනම බවය. එසේම ජුනි මස 04, ජුනි මස 18, සැප්තැම්බර් 05 දින එවැනිම ප්‍රකාශ කිහිපයක් කර ඇත. අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස කිරීමට විත්තිකරු තුළ තිබූ චේතනාව එම ප්‍රකාශය මඟින්ම තහවුරු කර ඇතැයි නඩු තීන්දුවෙහි සඳහන් වේ. ඒ අනුව විත්තිකරුගේ නිර්දෝෂිභාවය තහවුරු කිරීමට ඔහුගේ නීතිඥවරු ගත් උත්සාහය අසාර්ථක බව ද එම නීතිඥවරයා අසමත් බව ද නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කළේය.

    ඒ අනුව නීතිපතිවරයා ගොනු කළ චෝදනා පත්‍රයෙහි ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට අවසානයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට ඒකමතිකව තීරණය කළ විනිසුරු මඬුල්ල ඒ වෙනුවෙන් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

    වරදකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය වෙත යොමු කිරීමට අදාළ වරෙන්තු සකස් කර බන්ධනාගාර බලධාරීන්ට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණය නියම කළේය.

    නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ නිල මැදිරියෙහි රඳවා සිටි රන්ජන් රාමනායක මහතා පස්වරු 1.30ට පමණ පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන යන ලදි.

    එලෙස බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී රැස්ව සිටි පිරිස හා මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ තමන් කළ ප්‍රකාශය කිසිසේත් ඉල්ලා අස් කර නොගන්නා බවය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවිටෙකත් කිසිවකුගෙන් සමාව නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.

    ඡායාරූප – ගයාන් පුෂ්පික

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here