කවි කෙත පොහොණි කළ කේසර සොඳුරු හෙටක් මැවු මහගම සේකර

    0
    7

    ඈත කඳුකර හිමව් අරණේ 
    සීත චන්දන ළපලු හෙවණේ 
    සුළං රැල්ලේ පාව එන්නේ 
    ඔහුගේ නාමය වේ

    මහගමසේකරයන්ගේ නාමය සැමදා සුළං රැළි අතරින් මතු වන්නේය.

    කවියකු, ගේය පද රචකයකු, ගුරුවරයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු පමණක් නොව ගුවන් විදුලි වැඩ සටහන් නිෂ්පාදකවරයකු හා කථිකාචාර්යවරයකු වශයෙන් බුහුමනට ලක් වූ මහගම සේකරයන් මෙරට බොහෝ රසකාමී හදවත් තුළ සදා නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ විද්වතෙකි.

    ගැමියකු තුළ පවත්නා සරල සුන්දර ගැමි අව්‍යාජත්වය සේකරයන්ගේ නිර්මාණවල හරය විය. සිය පියාගෙන් උරුම වූ චිත්‍ර ශිල්පය සේකරයන් තවත් ඉහළට රැගෙන ගියේය. ගැමි කවිත්වය ඔහුගේ කවි කෙත පෝෂණය කළේය. පුරාතන පද්‍ය සාහිත්‍යයත් නූතන නිදහස් සාහිත්‍යයත් එක්තැන් කළ විශිෂ්ට කවීන් අතරේ සේකරයන් ප්‍රමුඛයෙකි.

    මධුවන්ති ගුවන් විදුලි සංගීත වැඩසටහන් මාලාව සේකරයන්ගේ කවි සිතුවිලි සුන්දර පද මාලාවන් ඔස්සේ අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් පෝෂණය විය. සේකරයන් අතින් ලියවුණු “සන්නාලියනේ සන්නාලියනේ’ යන ගීතය මිනිස් දිවියේ උපත , විවාහය, මරණය යන අවස්ථා ත්‍රිත්වය නියෝජනය කළේය. පාළු අඳුරු නිල් අහස මමයි වැනි ගීතයකින් මුළු විශ්වය පුරා පැතිර පවතින පාළු ශෝකී ස්වභාවය කුළු ගැන්වෙන්නේ අපේ හදවතේ ගැඹුරුම ස්ථානය ස්පර්ශවන අයුරිනි.

    සිංහල ගීත වංශ කතාවේ අග්‍රගණ්‍යයේ ගී සේකරයන්ගේ අතින් නිර්මාණය වී ශ්‍රාවක පිරිස් අමන්දානන්දයට පත් කළේය. ඒ ගුවන් විදුලි මධුවන්ති වැඩසටහන තුළිනි. සේකර අමරදේව සුසංයෝගය අපේ රටේ ගී කෙත පෝෂණය කළේය.

    ගමට සේකරයන් තුළ පැවැතියේ අසීමිත ආදරයකි. දශක ගණනාවකට පෙර සේකර අතින් ලියැවුණු ‘ගම අමතකයි’ යන පද්‍ය පංතිය මීට කදිම උදාහරණයකි.

    සිදාදියට එන්නට මට 
    බුද්ධිය උඹ තමයි එදා 
    පාර කියා දුන්නේ 
    ඉතිරිව ඇති සුළු වස්තුව 
    රැකගෙන ආපසු එන්නට 
    ඈත ඉඳන් අත වනලා 
    අම්මේ මට ගමට එන්න 
    පාර කියාපන්නේ

    වර්තමාන සමාජයේ වෙනස සේකරයන් දුටුවේ ඒ අයුරිනි. මවුබිමෙන් යොදුන් දහස් ගණනක් දුරු රටක ගිය සේකරයන් නිව්යෝක් නගරයේ සිට සිය පාළුව තනිකඩ මකාගන්නට සැඳැල්ලේ කවුළුව තුළින් හිස් අහස දෙස නෙතු යොමු කළේය. අහසේ මෝදු වෙමින් පැවැති සඳ දුටු සේකරගේ පාළුව කාන්සිය පහව ගියේය. ‍්‍දිළිහි දිළිහි ආකාසේ රන් පිඟාන සේ

    සඳ මා දන්නා හඳුනන 
    අපේ ගමේ වෙල් එළියට පායන සඳ 
    පෝයදාට බෝ මළුවට පායන සඳ

    කවිය ඈත එපිට දුරු රටකදී පවා සිහිපත් වූයේ තමන් ඉපිද හැදුනු වැඩුණු සුන්දර රදාවාන ගම්මානයයි. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා. එහෙත් අද වක්කඩ ළඟ තිත්ත පැටවු උඩ පනින අයුරු සිතින් මවා ගනු මිසක වක්කඩ ළඟ අද තිත්ත පැටවු බෙහෙතකට සොයා ගන්න බැරි තරමට වඳ වී ගොස් ඇත. ඒ කෘමිනාශක වර්ගවල අහිතකර බලපෑම නිසාය.

    මේ මොහොතේ සේකරයන්ගේ සොහොන් කෙතේ ලියා ඇති පදවැල සිහිපත් වේ.

    මා මළ පසු සොහොන් කොතේ 
    දුක් ගීයක් ලියනු මැනවි 
    නන්නාඳුනනා ඔබගේ

    අත් අකුරින් ලියනු මැනවි.

    මෙවැනි විශිෂ්ට දුර්ලභ ගණයේ කලාකරුවන් බිහි නොවන අවදියක සේකරයන් අපේ සාහිත්‍ය වංශ කතාවට නොසි‍ඳෙන රස උල්පතකි. එය සැමදා අපේ සාහිත්‍ය වංශ කතාව පෝෂණය කරනු ඇත. අවසන් වශයෙන් අමරදේවයන් ගායනා කරන ‘මළහිරු බැස යන සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්’ යන සේකරයන්ගේ විශිෂ්ට ගේය පද රචනාව සිහිපත් කරමිනුයේ ඔහුට සැමදා ආදරය කරන ප්‍රබුද්ධයන් වෙනුවෙනි.

    මහින්ද ආරියවංශ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here