කුරුණෑගල මහ රෝහලේ පී.සී.ආර් රසායනාගාරය අගමැති අතින් විවෘත වෙයි

0
37

කුරුණෑගල මහ රෝහලට අඩුපාඩුවක්ව පැවති පී.සී.ආර් රසායනාගාරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් ලක්ෂ 125කට ආසන්න මුදලක් මෙම රසායනාගාරය ස්ථාපිත කිරීම සඳහා වැයකර තිබෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ පනස් හතරක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා නගර සභාවේ විමධ්‍යගත අරමුදලින් පිරිනමා තිබේ.

රිදීගම රිදී විහාරයේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි, ඇත්කද විහාරයේ විහාරාධිපති ශ්‍රී සුමංගල හිමි අැතුළු කුරුණෑගල විහාරස්ථානවල මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව සහ වයඹ වෛද්‍ය පීඨය මුදල් හා උපකරණ පරිත්‍යාග කරමින් මෙම රසායනාගාරය ඉදිකර ඇත. ඊට අදාළ සියලු සම්බන්ධීකරණයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ඇතුළු කුරුණෑගල දිසාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එකමුතුව ඉටුකර තිබේ.

ඒ අනුව පෙරේදා (10) සිට මෙම රසායනාගාරයෙන් දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 700ක් පමණ සිදුකිරීමට නියමිත අතර මෙම අවස්ථාවට සමගාමීව කුරුණෑගල හැන්ග්අවුට් අවන්හලේ පැවැති උත්සව අවස්ථාවට ද අගමැතිවරයා සහභාගී විය. කුඹුක්ගැටේ ඵෙතිහාසික කසාගල රාජමහා විහාරවල විහාරාධිපති, ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මැල්සිරිපුර විමලරතන නාහිමි මෙහිදී පැමිණ සිටි පිරිස පංච සීලයෙහි පිහිටවූහ.

කොළඹ රජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය ගල්ලැහැපිටියේ ප්‍රේමරතන නාහිමි මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ.

පාදෙණිය පුරාණ රාජමහා විහාරාධිකාරී කුඹුක්ගැටේ බුද්ධි විසුද්ධි හිමි ඇතුළු මහා සංඝරත්නය, ඇමැතිවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රාදේවි වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය, වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහත්ම මහත්මීන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here