ඡායා

    0
    10

    “ටක්” හඩින් ඉදිරි දොරෙහි අගුළ වැටන හඩට අවදි වූ සුලාරි මොහොතක් නිනව් නැතිව මෙන් පසු වූයේ අධික නිදිමත නිසාය. දානය මතක් වූ සැණින් ඇය ඇදෙන් නැගී සිටියාය.

    ඉස්තෝප්පුවේ විදුලි පහන් දල්වා ඇති බැවින් ළා එළියක් සාලයට වැටී තිබේ. ඇය වහා කාමරයෙන් පිටතට ගියාය.

    ඉදිරි දොර හැර ඇත. හොඳින් හැඳ පැලඳගෙන සිටින ගිහාන් ඉස්තෝප්පුවේ පුටුවක හිඳගෙන පාවහන් පලඳියි. හැරී ඔරලෝසුව දෙස බැලූ සුලාරි දුටුවේ වේලාව උදෑසන හයට කිට්ටු බවය. ගිහාන් පෙරදා රැයේ කීවේ හයට පිටත් විය යුතු බවයි.

    නමුත් බටු මෝජු සාදා, දෙදෙනාගේම ඇදුම් මැද, ගේ අතු ගා, නාන කාමරය ද සෝදා සුලාරි නිදාගත්තේ දෙකත් පසුවීය. පහට තැබූ එලාමය ඇසෙන්නට නැතිව ඇත්තේ එබැවිනි.

    “අනේ මට ඇහැරුණේ නෑ ගිහාන්, මම විනාඩි පහෙන් ලෑස්ති වෙන්නම්,”

    ඇය හැරුණාය. සියල්ල සූදානම් කර ඇති බැවින් වහා ඇඳ පැලඳ පිටත් විය හැකිය. හිස ඔසවා ඇය දෙස බලන ගිහාන්ගේ දෑස් ගිනි පුලිඟු වැනිය.

    “ඕන නෑ, උඩ දාගෙන බුදියගත්තේ යන්න ඕන නැති හින්දනේ. තමුසේ නිදාගන්නවා. මම ගිහින් එන්නම්, පරක්කු වෙලා ගියෑකිද ඕයි පිට මිනිස්සු වගේ ලැජ්ජා නැතුව”

    “අනේ ගිහාන් ඊයෙ රෑ වුණ හින්දනේ”

    “අනේ මේ, වෙනදට රෑ වෙලා නිදාගෙන ඇහැරෙන්නේ නෑනේ, කී පාරක් මං කතා කළාද?”

    තමන්ට එතරම් තදින් නින්ද ගියේදැයි සුලාරිට විශ්වාස කළ නොහැකිය.

    ‘අනේ ගිහාන් මං කොච්චර ආසාවෙන් ද මෝජුවත් හැදුවේ නංගිලාගේ ගෙදර යන්න. අනේ පොඩ්ඩක් ඉන්නකො”

    සුලාරි වහා ගොස් කෑම මේසය මත පෝසිලේන් භාජනයක බහා තිබූ මෝජුව ගෙන ආවාය. බටු කිලෝ පහකින් සෑදූ බැවින් එය සෑහෙන බරය. ඒ ටිකට ගිහාන් වාහනයට නඟින්නට ද හැරී අවසන්ය.

    “අනේ ගිහාන්”

    ඔහු ඇයව තල්ලු කළා ද, නැතහොත් ඉබේ අත වැදුණාදැයි ඇයට වැටහුණේ නැත. බරැති භාජනය ඇගේ අතින් ගිලිහී සලාං හඩින් ටයිල් පොළොව මත වැටී කුඩු වී ගියේය. වීදුරු කටු ද, බටු කැබලි ද, රන් පැහැති දියරයේ වැටී තිබුණේ එක ගොඩේය.

    “අනේ”

    “අයින් වෙනවා ඉතිං, දැං උස්සගෙන යන්න දේකුත් නෑනේ” ගිහාන් එය කීවේ රියට නැඟ රියදුරු අසුනේ ඉදගැනීමට පෙරය. ඔහු සැර දමා රථය පණ නංවාගෙන විවර කර තිබූ ගේට්ටුවෙන් ගොස් බොහෝ වෙලා යන තුරු ද සුලාරි එතැනම වැටී අඬමින් සිටියාය.

    විවාහ වී වසර දෙකක් ගත වුව ද ගිහාන්ගේ ඉක්මන් කෝපය ඇයට සිතාගත නොහැකි මට්ටමට උත්සන්න වීමට මුල පිරෙන්නේ ඉතා සුළු කාරණයකිනි. අවසානයේ එය අවසන් වන්නේ මිනිසකුට කළ හැකිදැයි පුදුම එළවන සුළු, සැහැසි කුරිරුකම් ඔහු අතින් සිදුවීමෙනි.

    සුලාරි පා අද්දවාගෙන ගොස් ගේට්ටුව වසා ආවේ අසල්වැසියන්ට පෙනෙනු ඇතැයි සිතාය.

    ඇය හඬමින්ම කුස්සියට ගොස් බුරුසුවක් හා ඩස්ට් පෑනය ද, තෙත රෙද්දක් ද, ගෙනැවිත් බිම පිරිසිදු කරන්නට පටන් ගත්තාය. මාසයේ ග්‍රොසරි වියදමෙන් සෑහෙන කොටසක් වැය කර ගත් ද්‍රව්‍ය යොදා මෝජුව තැනීමට ද ඇයට පැය ගණනාවක් ගත විය. ගිහාන්ගේ නැගණියගේ නැන්දණියගේ අභාවයෙන් තුන් මසක් පිරීමේ දානයට මෝජුවක් සදා දීමට සුලාරි පොරොන්දු වූයේ සති ගණනකට කලිනි. දැන් එය දුහුවිලි ද, කෙස් ද මිශ්‍රව දුක සේ බිම වැතිර තිබේ.

    ඇය කාමරයට ගියේ බිම මොප් කර අත ද, දෙතුන් වරක් සෝදා ගැනීමෙන් අනතුරුවය.

    ඔහු ඇදේ හිඳගෙන සිටිනු ඇය දුටුවේ කාමරයට ඇතුළු වන විටමය. ඇගේ තැවුණු, රිදුණු සිතට වුවමනා මේ ඔසුව පමණි. සුලාරි වහා දුවගොස් ඔහුගේ දෑත මැදට වැද හඬ නගා අඩන්නට පටන් ගත්තාය.

    “අනේ සකූ” ඇයට කතා කරගත හැකි වූයේ විනාඩි ගණනාවක් එක දිගට හැඬීමෙන් අනතුරුවය. ඇය ඉතා ප්‍රිය කරන ඔහුගේ ළා කොළ පැහැ කමිසයේ පදාසයක්ම තෙත්ව ඇත්තේ ඇගේ කඳුළිනි. ඔහු ද එදා මෙන්ම හැගුම්බර නෙතින් ඇය දෙස බලා හිඳියි.

    “අනේ සකූ, මෝජුව නම් කමක් නෑ, ඒ භාජනේ අම්මා මට අන්තිමට අරන් දුන්නේ. අම්මා සීට්ටු දාලා ඕවා ඔක්කොම ගත්තේ සකූ, එකපාර ගන්න සල්ලි නැති හින්දා”

    ඔහු කිසිවක් කීවේ නැත. පෙර ද ඔහු එවැනි විටක දී කළේ කිසිත් නොකියා ඇයව තවත් තදින් තමන්ගේ ළැමට තදකරගෙන සිටීම පමණි. තමන්ගේ දුකක දී එලෙස සිටියේ ඔහු හා අම්මා පමණි. දැන් අම්මා ද නැත.

    ඇගේ ළයේ ඇවිළෙන ගිනි තමන්ගේ හදට ගන්නාක් මෙන් ඔහුට ළංවී සිටින විට අගේ සිත දවන මහා දුකක් වුවද නිවී යන්නේ සුළු වේලාවකිනි.

    නැතහොත් ඔහු “අඬන්න එපා, ඔයා දන්නවනේ අඬනවා බලන්න මං කැමති නෑ කියලා” යැයි කියයි. ඒ ආයාචනයෙන් පසුව වැඩි වේලාවක් හැඬූ දිනයක් සුලාරිගේ මතකයේ නැත.

    ඔහුට ළංවී සිටින විට පෙර මෙන්ම සුලාරි කමිසයේ බොත්තම් කිහිපයක් මුදා ඔහුගේ සුවඳවත් ළයෙහි මුහුණ හොවා ගත්තාය. ඔහුගේ දිගු ඇගිලි ඇගේ හිස කෙස් අතර යමින් ඇගේ හිස පිරිමදියි.

    “මට තේරෙන්නෑ සකූ මොනවා කරන්නද මොන විදිහට ඉන්න ද කියලා, මම මොනව කළත් ගිහාන්ට වැ‍රැදියි. ඉව්වොත් කෑම රස නෑ, රෙදි හේදුවොත් කුණු ගිහින් නෑ, අතුගෑවොත් වෙලා යනවා කියනවා. දිගට ඇන්දොත් නාකි ගෑනියෙක් වගේ කියනවා. කොටට ඇන්දොත් නාකි ගෑනු තිරිහං වෙන්න යනවා කියනවා. මට ජීවිතෙත් එක්ක එපා වෙනවා සකූ. ඔයා දන්නවනේ මට හොඳටම ඉවසන්නත් පුළුවන්. දරාගෙන ඉන්නත් පුළුවන්. ඒත් දැන් මට මාවම එපා වෙලා තියෙන්නේ.”

    මේ ඇගේ සිතේ කැකෑරෙමින් දින සති මාස ගණනක් පැසුණු දේය. මේවා අසන්නට කෙනෙක් දැන් ඇයට නැත. අම්මා ජීවත්ව සිටියේ නම් ඇගේ සිත රිද්දීමට අකමැති තමන් මේතරම් සවිස්තරව ඇයට ගිහාන්ගේ හැසිරීම් ගැන කියනු ඇත්දැයි සුලාරි සිතා බැලුවාය. අම්මා ජීවිතයේ අතොරක් නැති දුක් ගැහැට විඳ ඇත. සුලාරිට ඇති එකම සැනසීම තමන් ඉගෙන ගනු ද, රැකියාවක් කරනු ද, විවාහ වනු ද බලා අම්මා දෑස පියා ගැනීම පමණි. විවාහය ද අම්මාගේ කැමැත්තටම වූ බැවින් එහිදී හෝ ඇගේ සිත රිදවූවා යැයි කියා තැවෙන්නට හේතුවක් සුලාරිට නැත.

    සිහින් හඩින් මිමිනෙන ගීයක් ඇගේ සවණ සනසයි.

    “සමනලයා මල හා ළමයාසේ

    බාල ළමා වයසේ

    පෙර තිදෙනා සිටියේ එක යායේ

    ජීවිතයේ අරුමේ’

    ඒ ඔවුන් දෙදෙනාගේම ප්‍රියතම ගීයකි. ඒ ගීතයේ සමනලයා පියඹූ පසුව මලේ දුක අසන්නට පොඩි ළමයා ළඟ සිටි බැවින් මලට අවසානයේ සැනසීමක් ලැබිණි. නමුත් ඇගේ ජීවිතයේ සමනලයා පියඹා ආවේ පොඩි ළමයා එළවා දමමිනි. ළඟින්ම සිටිමින් ඇගේ ජීවිතයේ සතුට ද, සැනසීම ද දිනපතා උරා බීවා මිස ඔහු පියාඹා ගියේ නැත.

    “තව එකක් කියන්න” ඇගේ සවනේ ද, මනසේ ද ඔහුගේ ගී හඬ රැව් දෙන්නේ ඔහුගේ උරයට බරවී ඒ ගී අසා සිටි ඈත කාලයේ දී මෙනි.

    “මගෙ කට රිදෙනවා කෙල්ලේ” ඔහු නෝක්කාඩුවෙන් කියුවේ ගී ගණනාවක් කීමෙන් අනතුරුවය.

    “හරි හරි ඉතින්, මට සින්දු කියන්න පුළුවන් වුණා නම් කාගෙවත් ආඩම්බරකම් බලන්නේ නෑනේ” ඇය යටැසින් ඔහු දෙස බලා කියයි. ඔහු සිනාසෙන්නේ ඇගේ උර වටා දැමූ අත තදකර ඇගේ හිසට හිස තබමිනි.

    සුලාරි ඔහුගේ තුරුල්ලෙන් මිදී ජනේලය වෙත ගියේ හාත්පස අඳුර පැතිරෙන්නට ගත් විටය. දැන් ඇගේ සිත ද සන්සුන් වී තිබේ. ආකාශයේ කළුව පැතිරෙන පෙදෙසේ ඇති තරු දෙස බලමින් ඇය මොහොතක් ගත කළාය.

    “මේ දවස්වල පෑවිල්ලනේ, හොදට තරු බලන්න පුළුවන්. මහ බල්ලා, වෘශ්චික, කැස්ටරි, පොලකස් එහෙම හොදටම පේනවා”

    ඇගේ තරු රටාවලට ඇති ඇල්මට මුල් වූයේ ද පාසල් තාරකා විද්‍යා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහුය. විද්‍යාව පොතේ පිටුපස ඔහු ඇද දුන් තරු රටා පෙම් පත් බවට පත් වූයේ ද අඳුරු අහස සිසාරා තරු රටා බැලූ සිව් නෙතක් ඒ නෙත්වලම එබී තරු කැළුම් සෙවූයේ ද තවත් සෑහෙන කලකට පසුවය.

    “සුලාරි”

    ඇය ගැස්සී ජනේලයෙන් මෑත් වූවාය. ගිහාන් පැමිණෙනු ඇයට ඇසුණේවත් නැත. ඇය වහා ඇද දෙස බැලුවාය.

    “ඔල්මාදෙද ඕයි, දොරවල් හායි ගාලා ඇරලා දාලා මේ මහ රෑ. තමුසේ තාම නයිටිය පිටින් ද? මේ කොට්ටකෙට මොන මඟුලට ද ෂර්ට් එකක් අන්දලා තියෙන්නේ?”

    පවිත්‍රා අභයවර්ධන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here