ජනපදයේ මී මැස්සෝ

    0
    4

    මනුෂ්‍ය සංහතියේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ආහාරවලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගන්නේ ශාකවලින් ලැබෙන පලදාවෙනි. ශාකවල පල දැරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතු පරාගණයේදී විශාලතම කාර්ය භාරයක් සිදු කරනු ලබන්නේ මී මැස්සාගෙනි. සොබා දහමේ පැවැත්ම තීරණය කරන මී මැස්සාගෙන් මිනිසාට ලැබි ඇති පල ප්‍රයෝජනය එපමණක් නොවේ. අද වන විට මී මැසි පාලනය ඉතා හොඳ ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගත හැකි ජීවනෝපාය මාර්ගයක් ද වෙයි.

    මී මැස්සා යනු ආත්‍රපෝඩා වංශයට අයත්, ඉන්සෙක්ටා වර්ගයේ හයිමොනොප්ටෙරා ගෝත්‍රයට අයත් එපිඩේ කුලයේ සත්වයෙකි. අප රටේ සිටින්නේ ඒපිස්සෙරානා ඉන්ඩිකා නමැති විශේෂයයි. මී මැසි පාලනයේ යෙදෙන්නන් මී මැස්සාගේ මෙම ජීවන හැඩගැස්ම මනාව විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතුය.

    ලෝකයේ සමාජවාදි පාලන තන්ත්‍රයකට හොඳම උදාහරණය මී මැසි ජනපදයයි. තම සමූහයාගේ ජීවන පැවැත්ම සඳහා ආහාර රැස් කිරීමටත්, ජීවිතාරක්ෂාවටත් එක රැජනක් වටා එක නායකත්වයකට, එක අණසකට යටත්ව සියලු දෙනා එක හා සමානව ශ්‍රමය මුදා හරින එසේම ජීවිත අභියෝගයකදී තම සේනාව ඉන් ගලවා ගනු වස් දූරදර්ශීව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන නායකත්වයක් වටා පෙළ ගැසී සිටින මී මැසි ජනපදය ලෝකයේ පුදුම සහගත සත්ව කොට්ඨාසයකි. තම කොළණියට තර්ජනයක්, ජීවිතාවදානමක් මතු වුණු අවස්ථාවක ඔවුන් අතර තිබෙන සන්නිවේදනය පුදුම සහගතය.

    මි මැසි ජනපදයේ වීරවරිය වන රැජන සෙස්සන්ට වඩා ශරීර දේහයෙන් විශාලය. සතුරු ආක්‍රමණයකදී හෝ වයිරසයක් වැනි අනපේක්ෂිත අවස්ථාවකදී මී මැසි පෙට්ටියට මැදිව සිටින ඇයට ඉන් පිටතට පැමිණ සියල්ලන් සමඟ පලා යෑමට එකම බාධකය ඇය ශරීරයෙන් විශාල විම නිසා පෙට්ටියේ කුඩා විවරයෙන් මිදී යෑමට නොහැකි වීමයි. එහිදි ඇය අනුගමනය කරන්නේ බුද්ධිය මෙහෙය වන විසඳුමකටය . ඇය ආහාර වර්ජනය කර ශරීරය කෘෂ වීමට ඉඩ හැර නිසි කල පැමිණි විගස පලා යන්නීය. ඒත් සමඟම තම නායකත්වය අනුගමනය කරමින් මුළු ජනපදය ම ඇය සමඟ ඉවත්ව යති. ගමන් මැහි පොදි යනුවෙනු හඳුන්වන්නේ එම පලා යෑමක් හෝ නව වාසස්ථානයක් සොයා යන අවස්ථාවයි.

    මී පැණි යනු අසමසම නිපැයුමකි. ලෝකයේ ඉස්තරම්ම මී පැණි සඳහා වු වෙළෙඳපොළ තුළ ශ්‍රි ලංකාවේ නාමය ද ඉහළින් ම ඇත. ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල පාන්වල මී පැණි තවරා ආහාරයට ගන්නේ ජීව ශක්තිය වැඩි කිරීම සඳහා එහි ඇති පුදුම උපදවන සුළු ගුණය නිසාය. එහෙත් ලංකාවේ අපි පිරිසුදු මී පැණි කියා රැවටෙන්නේ පොල් පැණිවලටය. නියම පිරිසුදු මී පැණි හඳුනා ගැනීම ද වටී. කඩදාසියක් මතට මී පැණි බිඳක් දමා කොපමණ වේලාවක් තැබූව ද මී පැණි එම කඩදාසියට උරා නොගන්නේ නම් ඒ ඉස්තරම්ම මි පැණිය. එමෙන්ම මී පැණි බිඳුවක් ජල බඳුනකට දැමු විට යටට කිඳා බසින්නේ නම් එය ද නියම මී පැණිවල ලක්ෂණයකි. මී පැණිවලට ඊටම ආවේණික සුවඳක්, ඝනත්වයක්, විනිවිද පෙනෙන සුලු ස්වභාවයක් පවතී.

    මී මැසි පාලනය යනු සුක්ෂමව සිදු කළ යුතු කර්මාන්තයකි. එහිදි වඩාත් වැදගත් වන්නේ මී මැස්සාට සුරක්ෂිත වාසස්ථානයක් තනා දීමයි. මනුෂ්‍ය සමාජය මෙන්ම සත්තු ද ඔවුන්ගේ වාස්ස්ථානයේ සුරක්ෂිත බව ගැන සැලකිලිමත් වෙති. මේ අතරින් මි මැස්සා සුවිශේෂි සතෙකි. කෘත්‍රිමව සකස් කර දෙන වාසස්ථානයකට ඌ පිවිසෙන්නේ එහි ආරක්ෂිත බව ගැන සෑහීමට පත් වුවහොත් පමණි. මේ කාරණයේදී මී මැස්සා කෘත්‍රිමව සකස් කර දෙන නිවාස අත්හැර යෑමට අද පවතින වාණිජ මී මැසි පෙට්ටි වෙළෙඳ මාෆියාව ප්‍රධාන හේතුවක් වී තිබේ. මේ කාරණය යමෙකුට ලඝු කොට සැලකිය හැකි මුත් වර්තමානයේ ලෝකයේ ජීවය අලුත් කරන මීමැස්සාට තිබෙන විශාල තර්ජනයක් බවට පත්ව තිබේ. වාතාශ්‍රය, ජලය, ආහාර උෂ්ණත්වය, ආර්ද්‍රතාව හොඳින් සලසා දීමෙන් පමණක් මී මැසි ජනපදයක් කෘත්‍රිම සාදා ගත හැකි අතර ඔවුන්ට හොඳින් සැලකූ තරමටම හොඳම මි පැණි උන් අපට ලබා දෙයි.

    මී මැසි පෙට්ටි නිෂ්පාදනය යනු අවිධිමත්ව සිදු විය යුතු කර්මාන්තයක් නොවේ. ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටියක සතුන්ට රිසි සේ සිටීමට අවශ්‍ය දිග පළල සහ උසින් යුත් වපසරියක් තිබිය යුතුයි. එය ස්ථාපිත කිරීමේදී දැඩි හිරු එළිය සෘජුව පතිත වන නැඟෙනහිර හෝ බටහිරට කිසිසේත්ම මුහුණ ලා නොතිබිය යුතුය. එමෙන්ම පෙට්ටි තැනීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන ලී වර්ගය එම සතා ප්‍රිය කරන මාදිලියක් විය යුතුයි. විශේෂයෙන් කොට්ට, රබර් වැනි ලි වර්ග වලින් සෑදු පෙට්ටි උන් ප්‍රතික්ෂේප කරයි. යම් ක්‍රමයකින් මී මැසි රැජනක බලහත්කාරයෙන් අල්ලා මෙම පෙට්ටියකට දැමුව ද ආහාර වර්ජනය කර පෙර සඳහන් කළ පරිදි ශරීරය කෘෂ කර ආරක්ෂක දොරටුවෙන් පලා යයි. මිල්ල, මී අඹ, ගිනිසීරියා , මාදං, මොර වැනි ලී වලින් තැනු පෙට්ටිවලට මී මැස්සෝ ප්‍රිය කරති. එමෙන්ම පොල් මල්වලට ඉතා ප්‍රිය කරන බැවින් පොල් පලදාව වැඩි කර ගැනීමට පොල් ඉඩම්වල මී මැසි පෙට්ටි සවි කිරීමෙන් ඵලදාව වැඩි කර ගත හැකිය.

    මී මැස්සා මුහුණ දී ඇති තවත් බරපතළම තර්ජනයක් වන්නේ උගේ ප්‍රධානතම සතුරා වන ඉටි සළඹයාගෙන් සිදු වන ආක්‍රමණයයි. මේ තත්ත්වය ඇති වන්නේ ප්‍රමිතියෙන් තොරව සකස් කර ගන්නා මි මැසි පෙට්ටි නිසාය. පෙට්ටි තැනීමේදී යට තට්ටුව යොදන ලී ඉතා හොඳින් පූට්ටු නොකළ හොත් එම හිඩැස් තුළ ඉටි සලබයා බිත්තර දමනු ලබයි. ඉන් පසු එම බිත්තරවලින් එන පණුවා මී ඉටි ආහාරයට ගැනීමට පටන් ගැනීමත් සමඟ එම ජනපදයේ පරිහානිය සිදු වෙයි.

    ජෛව ලෝකයේ අසිරිමත් ජීවන පැවැත්මක් තිබෙන මී මැස්සා ලෝකයේ පැවැත්ම සකසා දෙන මුත් මේ සතාට ජිව ලෝකයේ අනෙකුත් සතුන්ගෙන් තිබෙන තර්ජන එමට ය. හුනා කටුස්සා, දිමියා, කූඹියා, කෝඳුරුවා පවා උගේ ප්‍රබල සතුරන්ය.

    එහෙත් මේ වන විට නන් දෙසින් අසන්නට හා දකින්නට ලැබෙන්නේ ගස්වල ඵලදාව හෙවත් අස්වැන්න අඩු වීමට පටන් ගෙන ඇති අතර ශාක මඟින් මිනිසාට ලැබෙන ආහාර ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙමින් යන බවයි. මේ සඳහා බීජවල සාඵල්‍යතාව, දෙමුහුන් බීජ ව්‍යාප්ත කිරීම වැනි ඇති විවිධ හේතු ඉදිරිපත් වන නමුත් ශාකවලට ආහාර නිෂ්පාදනය සඳහා මැදිහත් වන මී මැසි සම්පත වර්තමානයේ මුහුණ දී ඇති අභියෝගය තවමත් කතිකාවකට ලක්ව නොමැති බව අපේ හැඟිමයි.

    වර්තමානයේ මී මැසි පාලනයේ යෙදෙන්නන් මුහුණ පා තිබෙන විශලා ගැටලුවක් බවට පත්ව ඇත්තේ හැට් බෲට් වයිරසය යි. මෙම වයිරසය කාලගුණ විපර්යාස හේතුවෙන් සහ ආහාර හිඟය නිසා මී මැස්සන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දරුණු වයිරසයකි. වයිරස සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති මුත් පාලනය කිරීමේ හැකියාව පවති. සාමාන්‍යයෙන් මිනිසුන්ට වැලඳෙන වයිරස් රෝගවලදි සිදු කරන්නේ වයිරසයට ඔරොත්තු දිය හැකි පරිදි ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම නම් ජීවයක් පවතින මීමැස්සාට ද වෛද්‍ය විද්‍යාවේ එම ප්‍රතිකර්මය වලංගුය. හැට් බෲට් වයිරසය මැඬලීමට රෝගි ජනපද පිළිස්සීම සාර්ථක පිළියමක් නොවන අතර ප්‍රාණයක් සහිත විශාල සත්ව ගහණයක් පණ පිටින් පිළිස්සීම ශිෂ්ට සමාජය අනුමත නොකරන්නකි. මේ පිළියමට නොයා මිනිසුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ අත්හදා බලා ඇතැම් පිරිස් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් බවට ලැබුණු තොරතුරු ඔස්සේ පර්යේෂණ වැඩි දියුණු කිරීම කළ යුතුව ඇත.

    කෘෂි රසායන යෙදීම ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ විශේෂයෙන් වගා බිමිවලට මී මැස්සන්ගේ ආකර්ෂණය හීන වී තිබේ. ලංකාවේ වන වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකාවේ ශාක පද්ධතියට එක් කළ ආගන්තුක ශාක බොහොමයක් මි මැස්සාගේ පැවැත්මට තර්ජනයක් එල්ල කර ඇත. මීට හොඳම උදාහරණය ඇකේෂියා ශාකයයි. මේ වන විට ලංකාවේ වනාන්තරවල පැවති දේශීය ශාක වෙනුවට ව්‍යාප්ත වී අත්තේ අපේ රටට ආගන්තුකයකු වන ඇකේෂියායි. මෙම ගසේ මල් අධික සුවඳකින් යුත් අතරම විෂ සහගගත ශ්‍රාවයක් නිකුත් වන බව මතයයි. මේ නිසාම මෙම සුවඳට ඇදෙන මී මැස්සන් එම මලේ රොන් ගැනීමෙන් පසු මත් වී ඇද වැටී මිය යන බව මේ වන විට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම පිටරටවලින් ආනයනය කරන ඇතැම් මල් වර්ගවලින් (උදා. බැංකොක් මල්) රොන් ගන්නා බිඟුන්ට ද මරණය නියත බව සොයා ගෙන ඇත.

    මී මැස්සා යනු පරිසරයට ඉතාමත් සංවේදි සතෙකි. මේ නිසාම මී මැසි ජනපදයක් පවත්වාගෙන යෑම දරුවකු රැකබලා ගැනීම හා සමානය. රෝග පළිබෝධ හා සතුන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුයි.

    සකුන්තලා ජයසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here