දකුණු ආසියා ක්‍රීඩා උලෙළ ගැන පාකිස්තානයේ විශේෂ හමුවක්

0
9
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ප්‍රධාන ඉසවු ලාහෝර් සියල්කෝට් ෆයිසලාබාද් නගරවල

මේ වසරේ පැවැත්වීමට නියමිත 14 වන දකුණු ආසියා ක්‍රීඩා උලෙළ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ නගර කිහිපයක් කේන්ද්‍ර කර පැවැත්වීමට පාකිස්තාන රජය තීරණය කරයි.

ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ඉසවු ලාහෝර්, සියල්කෝට් සහ ෆයිසලාබාද්හි පැවත්වීමට අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහළ පෙළේ රැස්වීමකදී තීරණය වූ බව එරට මාධ්‍ය ඊයේ අනාවරණය කළේය. දකුණු ආසියා ක්‍රීඩා උලෙළ සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ සැලසුම් සකස් කිරීම උදෙසා මේ විශේෂ රැස්වීම පවත්වා ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසන්නේ දිගු නිහැඩියාවකින් පසුව පාකිස්තානය දකුණු ආසියා ක්‍රීඩා උලෙළ පිළිබඳ කතා කළ ද මේ වසරේ එය පැවැත්වීමේ ඉඩකඩ ඉතා සීමිත බවය. කොරෝනා අර්බුදයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීම හා ඉන්දු – පාකිස්තාන සබඳතා ගොඩනැංවීම ක්‍රීඩා උලෙළ පාකිස්තානයේ පැවැත්වීමට වැදගත් සාධක වනු ඇතැයි සිල්වා මහතා සඳහන් කළේය.

“පාකිස්තානයේ ක්‍රීඩා උලෙළ පැවැත්වීම පිළිබඳ අපට කිසිවක් කියා නෑ. කලාපයේ අනෙකුත් රටවල් නිල වශයෙන් දැනුම්වත් කිරීමක් පිළිබඳ දන්නේ නෑ” ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්වරයා ‘දිනමිණ’ ට පැවසීය.

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී දකුණු ආසියා ක්‍රීඩා උලෙළ වසර 1989 සහ 2004 දී සාර්ථකව පැවැති අතර, එය ක්‍රීඩා 15කට සීමා වී තිබිණි. එහෙත් මේ වන විට දකුණු ආසියා ක්‍රීඩා උලෙළ ක්‍රීඩා 27ක් දක්වා වර්ධනය වී ඇත. ඉන් ක්‍රීඩා 25ක් දකුණු ආසියානු ඔලිම්පික් කමිටුව විසින් තීරණය කළ යුතු අතර, ක්‍රීඩා 2ක් සත්කාරක පාකිස්තාන ඔලිම්පික් කමිටුවේ කැමැත්ත පරිදි තීරණය කරනු ලැබේ.

දකුණු ආසියානු ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කර ක්‍රීඩා උලෙළේ දින තීරණය කිරීම සඳහා පාකිස්තාන ඔලිම්පික් කමිටුවට භාර දී ඇති අතර, දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ පැවැත්වීම සඳහා දැරීමට සිදු වන සමස්ත වියදමෙන් සියයට 45ක් මාධ්‍ය අයිතිවාසිකම් ප්‍රදානය කිරීමෙන් සහ අනුග්‍රාහකත්වයෙන් සපයා ගැනීමට අපේක්ෂා කෙරේ. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ආරම්භ කිරීම හා සංවිධාන කටයුතු සඳහා ඉදිරි සති කිහිපය තුළ මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙස එරට අගමැති ඉම්රාන් ඛාන් මහතා දැනුම් දුන් බව මාධ්‍ය වාර්තා කර සිටී. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ඉස්ලාමාබාද් සහ පෙෂාවර්හි ක්‍රීඩා යටිතල පහසුකම් නංවාලීමට රජය විසින් රුපියල් බිලියන 3.6 ක් පමණ වෙන් කරන බවටත් අගමැතිවරයා පාකිස්තාන ඔලිම්පික් කමිටුවට පොරොන්දු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here