දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටම එක් විය යුතුයි

    0
    38

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

    ලෝකය පුරා සියලු කටයුතු අඩාළ කළ කොරෝනා වයිරසය අධ්‍යාපනයට එල්ල කළ බලපෑමට අභියෝග කරමින් පාසල් නැවත ආරම්භ කිරීමේ කටයුත්ත නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටී. රටෙහි අනාගතය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන අධ්‍යාපනය වැනි සුවිශේෂ වටිනාකමකින් යුත් විෂයපථයක්, පවතින වාතාවරණය තුළ බිඳනොවැටී පවත්වාගෙන යෑම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සමග කරන ලද සංවාදයකි මේ.

     

    පුංචි අසනීපයක් හෝ තිබෙනවා නම්  දරුවා පාසල් යවන්න එපා

    ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි ජාලයක් අප සතුයි

    මේ අභියෝගය ඉදිරි කාලය වෙනුවෙන් ජය ගන්න ඕනෑ

     

    l කොවිඩ් හේතුවෙන් වැසුණු පාසල් විවෘත කිරීමට සිදු වී තිබෙන්නේ අභියෝග රැසක් මැද. මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සහ පසුගිය වසරේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ ඔබට යමක් සඳහන් කළ හැකි ද?

    පසුගිය මාර්තු මාසයෙන් පසු වසර පුරාම, අධ්‍යාපන අමාත්‍යාංශය පමණක් නොවෙයි සමස්ත රටම දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. පළමු ශ්‍රී ලාංකික කොවිඩ් ආසාදිතයා හමුවීමත් සමඟ ඔහුගේ දරුවන් පාසල් යෑම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ සහ ඉන් අනතුරුව ඇතිවූ තත්ත්වය හේතු කොටගෙන පාසල් වසා දැමීමට සිදු වුණා. අනතුරුව මුළු රටම වසා දැමීමත් සමග අධ්‍යාපනයත් මුළුමනින්ම පාහේ ඇනහිටීමට ලක් වුණා. මේ වන විටත් අනතුර පහව ගොස් නැති නමුත් අපිට තවදුරටත් පාසල් වසා තබන්නට හැකියාවක් නැහැ. අපට කිසිසේත්ම අධ්‍යාපනය පස්සට දැමන්නට බැහැ.

    කොරෝනා පළමු රැල්ල ඉතා සාර්ථකව පාලනය කිරීමෙන් අනතුරුව හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේත්, අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ අවධානය සහ මාර්ගෝපදේශයන් සහිතව පසුගිය වසර මැද නැවතත් පාසල් අරඹන්නට හැකිවුණා.

     

    l අප මුහුණ දී සිටින නව අභියෝගය ජයගන්නට පාසල් පද්ධතිය සූදානම් කරන්නේ කෙසේ ද?

    කොවිඩ් 19 වයිරසයේ හැසිරීම පිළිබඳව අප තවමත් හරි හැටි හඳුනාගෙන නැහැ. මේ තත්ත්වය යටතේ පාසල් පවත්වාගෙන යන්නට නම් අපට විශේෂ සූදානමක් තිබිය යුතුයි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ අනුව අනිවාර්යෙන්ම පාසලක ගිලන් කාමරයක් තිබිය යුතුයි. පාසල තුළට ඇතුළු වීමේදී දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සකස් කර තිබිය යුතුයි. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගත හැකි පරිදි ඉඩකඩ සකස් කර තිබිය යුතුයි. දරුවන් අනිවාර්යෙන්ම මුඛ ආවරණයක් පැලඳ ගෙන පැමිණිය යුතු අතර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි.

    රෝගී තත්ත්වයක දී දරුවන් පාසල් නොයැවීම කවදත් සිදු වූ දෙයක්. මේ කාලසීමාව තුළ යම් දරුවෙක් අසනීපයෙන් සිටිනවා නම් එම දරුවා පාසල් එවීමෙන් වැළැකී සිටින ලෙස මව්පියන් විශේෂයෙන් දැනුවත් කර තිබෙනවා. ඒ නිසා අසනීප දරුවකු පාසලට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අවමයි. එවිට පාසලට පැමිණෙන දරුවන්ගේ සුරක්ෂිත බව ආරක්ෂා වනවා.

    එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දශක ගණනාවක් පුරා එක්ව කටයුතු කරනවා. අප කුඩා අවධියේදී පාසල් දරුවන්ගේ පිරිසුදුකම සහ සෞඛ්‍ය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීමෙන් දැක්වූ දායකත්වය සහ සිදු වූ ක්‍රියාදාමය අපට මතකයි. එසේම ඩෙංගු, මැලේරියා වැනි කාලාන්තරයක් තිස්සේ වරින් වර අප මුහුණදෙන වසංගතවලදීත් පාසල් පද්ධතිය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන්නට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල සහයෝගයක් හිමිවනවා. මෙම ව්‍යසනය හමුවේ අධ්‍යාපනය නැවත බල ගන්වන්නටත් අධ්‍යාපන අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන සහයෝගය ඉතා විශාලයි

    දරුවා පාසලේ දී සහ නිවෙසේ දී සුරක්ෂිත වූ නමුත් යම්කිසි ගැටලුවක් ඇති වන්නේ පාසල සහ නිවස අතර ප්‍රවාහන මාධ්‍යය තුළ දී. ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

     

    l කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසු පාසල් විවෘත කිරීම පෙරට වඩා වැඩි අභියෝගයක් නේද?

    කොවිඩ් දෙවැනි රැල්ල සමඟ පැමිණි විශාලම අභියෝගය දෙවරක් කල් දමන ලද ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම. ඒ වන විට එම විභාග පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පැවතුණා. දෙවන රැල්ලේ ආරම්භයත් සමග මිනුවන්ගොඩ ගම්පහ ඇතුළු අධ්‍යාපන කලාප විශාල ප්‍රමාණයක් හුදෙකලා කරන්නට සිදු වුණා. නමුත් අප විසින් සූදානම් කර තිබූ කිසිවක් වෙනස් කළේ නැහැ. විභාගය පැවැත්වීමට සූදානම් වීමේ සිට විභාගය පවත්වන අවසන් දිනය වන තුරු විවිධාකාර අභියෝග රාශියකට මුහුණ දෙන්නට අපට සිදු වුණා. නමුත් ඒ සියල්ල, කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොවන පරිදි විසඳා ගනිමින් සාර්ථකව එම විභාග දෙක පවත්වා අවසන් කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකිවුණා.

    මේ කටයුතුවලින් අනතුරුව නොවැම්බර් 23 වනදා 6 – 13 ශ්‍රේණි පවතින පාසල් 5233ම ආරම්භ කරන්නට අප සියල්ල සූදානම් කළත් එයින් අරඹන්නට හැකිවුණේ පාසල් 5100 පමණයි. මධ්‍යම, සබරගමුව, නැඟෙනහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වල ඇතැම් පාසල් ආරම්භ කරන්නට හැකියාවක් නැති වුණේකොවිඩ් ආසාදිතයන්ට අනාවරණය වීම සහ තවත් විවිධ වූ ගැටළු ඇතිවීම හේතුවෙන්. අතලොස්සක් මව්පියන්ගේ යම් යම් වගකීම් විරහිත කටයුතු නිසාත් තත්වය අයහපත් වූ අවස්ථා තිබුණා.

    නමුත් කවර තත්වයක් යටතේ වුවත් ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි ජාලයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පවතිනවා. 9/99/312 ලෙස හඳුන්වන මේ ජාලය තුළ පළාත් නවය, කලාප අනූ නවය සහ කොට්ඨාස 312ක් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලට අධ්‍යක්ෂකවරුන් පත්කර තිබෙනවා. යම් කිසි ගැටලුකාරී අවස්ථාවක ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙන්න මේ ජාලයට හැකියාව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නිකුත් කරන ඕනෑම දැනුම්දීමක දී මේ ජාලය ක්ෂණයකින් ක්‍රියාත්මක වනවා. මේ කාර්යකෂම ජාලය සමඟ ඕනෑම අභියෝගයක් මධ්‍යයේ වුවත් පාසල් විවෘත කිරීම කළ හැකියි.

     

    l මේ වනවිට නව වසරේ පාසල් ආරම්භ කර අවසන් ඒ පිළිබඳව අදහසක් විය හැකි ද?

    ලංකාවේ පාසල් පවතින්නේ 10165 ක් පමණයි. එයින් 76.3% ම දරුවන් 500ට අඩු පාසල් තවත් 20%කට ආසන්න ප්‍රමාණයක් ළමුන් දහසකට අඩු පාසල් ඒ අනුව 91% ම ඇත්තේ සිසුන් 1000 ට අඩු පාසල්. බස්නාහිර සහ හුදෙකලා කළ ප්‍රදේශවලට අමතරව අනෙකුත් සියලු පාසල් ඊයේ විවෘත කළා. බස්නාහිර පළාත තුළත් පාසල් 1300 කට අධික ප්‍රමාණයක් පවතිනවා. පාසල් විවෘත කිරීම පිළිබඳව බස්නාහිර පළාත තුළිනුත් දැඩි ඉල්ලීමක් තිබෙනවා. ලිඛිත ඉල්ලීම් කිහිපයක් පවා ලැබී තිබෙනවා. දෙමව්පියන් ද, ඔවුන් වගකීම භාර ගන්නා බව පවසමින් ඉල්ලීම් කරනවා. අප මේ වන විට ඒ පිළිබඳ යම් යම් පියවර ගනිමින් සිටිනවා.

    මෙවර පාසල් විවෘත කිරීමේදී ගුරු භවතුන්ගේ වගකීම, මව්පියන්ගේ වගකීම සහ දරුවාගේ වගකීම ආදී සියල්ල පිළිබඳව වෙන් වෙන් වශයෙන් සටහන් සකස් කර ඒ පිළිබඳව සියලු දෙනා දැනුවත් කරමින් අදහස් විමසීම ද සිදුකළා. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ වෛද්‍ය නිලධාරීවරයකුගේ අනිවාර්ය සහභාගීත්වයෙන් පාසල් සෞඛ්‍ය කමිටු රැස්වීම් පැවැත්වූවා. එසේම මිලියන ගණනක් මුදල් වෙන්කර ගිලන් කාමර සහ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සූදානම් කර තිබෙනවා.

     

    l දරුවන් පාසලට ගෙන්වා ගැනීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරී තිබෙනවා. නමුත් ඒ වගකීම ගන්නට ඔවුන් යම්කිසි මැලිකමක් දක්වනවා නේද?

    ඔවුන්ට ඒ පිළිබඳව මැළි වීමට කිසිදු හේතුවක් නැහැ. මෙහි දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සියලු දැනුවත් කිරීම් කර තිබෙනවා. ගුරු දෙගුරු රැස්වීම් පවත්වා සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කර එහි වාර්තා කොට්ඨාස අධ්‍යක්ෂ මගින් පළාත් අධ්‍යක්ෂ වෙත ද අප වෙත ද එවිය යුතුයි. දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා අතර සාකච්ඡා වට කීපයක් පැවැත්වුණා. ඒ අනුව සිසු සැරිය බස් රථ ධාවනය කිරීම සහ ඒ සදහා අමතර බස් රථ යොදා ගැනීම පිළිබදවත් සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබදවත් විදුහල්පතිවරුන් ද දැනුවත් කර, අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබදව අවශ්‍ය තොරතුරු ලබා දී තිබෙනවා.

     

    l පවතින පාසල් ප්‍රවාහන ක්‍රියාවලිය සාර්ථක ද?

    එහි දැනට යම් යම් ගැටලු පවතිනවා. බොහෝ දරුවන් පාසල් රැගෙන යන්නේ පෞද්ගලික වෑන් රථවල. එබඳු වෑන් රථවල ළමයි විශාල සංඛ්‍යාවක් රැගෙන යන බව අප දැක තිබෙනවා. මේ හේතුව නිසාම ඇතැම් විට නාගරික පාසල්වලට දරුවන් ගේ පැමිණීම අඩු විය හැකියි. නමුත් ගම්බද ප්‍රදේශවල දරුවා නි‍ෙවසේ තබා ගැනීමට වඩා පාසල් යැවීමේ ප්‍රවණතාව ඉහළ යා හැකියි.

     

    l මාර්ගගත අධ්‍යාපනය මේ දිනවල වැඩි කතාබහට ලක් වන කාරණාවක්. එය ඉහළ නැංවීම පිළිබඳ ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවා ද?

    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ඊ තක්ෂලාව සම්පූර්ණයෙන්ම නොමිලේ දරුවන්ට භාවිතා කරන්නට පුළුවන්. ගුරුගෙදර රූපවාහිනී වැඩසටහනත් දරුවන් වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වනවා. ඉදිරියේ දී රූපවාහිනී නොමැති පාසල් හදුනාගෙන ඒවා සදහා රූපවාහිනී ලබාදීමට කටයුතු කරනවා. එසේම එස්එල්ටී ආයතන සමග එක්වී පාසල් 1401 සඳහා පියෝ ටීවී සබඳතාව ලබා දෙන්නට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඉදිරියේදී එය 3000 දක්වා වර්ධනය කරන්නටත් සූදානමක් තිබෙනවා.

    එසේම ගමට තාක්ෂණය යටතේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විදුලි සංදේශ කුළුණු ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් ඉදිරියේදී සිදුවන බව විදුලි සන්දේශන නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා සඳහන් කර තිබෙනවා. ඒ හරහා දුරකථන ජාල සඳහා සංඥා පහසුකම් අවම වීමේ ගැටලුවට විසඳුමක් ලැබෙයි.

     

    l දරුවන් පාසලට එවීමේ ක්‍රමවේදය පිළිබඳ මව්පියන්ට දිය යුතු පණිවිඩය කුමක් ද?

    කුමන තාක්ෂණික පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කළත් සතියට එක් දිනක් හෝ දරුවා පාසල් යැවීම සිදු කළ යුතු බව මම අවධාරණය කරනවා. විශේෂයෙන්ම සිසුන් 20ට අඩුවෙන් සිටින පාසල්වල සියලු සිසුන් සතිය පුරා පාසල් එවිය යුතුයි. එවැනි පාසල් ගැටලු රහිතව පැවැත්විය හැකි වෙතැයි විශ්වාස කරනවා. පන්තිය තුළ එක් දවසක දී රඳවා ගන්නා සිසුන් ප්‍රමාණය පන්ති කාමරයේ ගුරුවරයාට තීරණය කළ හැකි නමුත් සෑම සිසුවකුටම සතියට එක් දවසක් හෝ පාසල් පැමිණීමේ අවස්ථාව හිමි විය යුතුයි. පවතින වාතාවරණය අනුව ඉදිරි වසර තුළ පාසල් පවත්වාගෙන යා යුතු හැකි වන්නේ මේ ක්‍රමවේදය තුළ යි.

     

    l අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බස්නාහිර පාසල් විවෘත නොකිරීම ගැටලුවක් නේද?

    මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මාර්තු මස පළමුවනදා සිට ඉදිරියට දින 11ක් නියම වී තිබෙනවා. බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකිරීම මෙයට ගැටලූකාරී ලෙස බලපාන බැවින් බස්නාහිර පළාත තුළත් ජනවාරි 25 වනදා සිට ඉදිරියට සති කිහිපයක් හෝ සාමාන්‍ය පෙළ දරුවන්ට පාසල් පැමිණීමේ අවස්ථාව ලබා දෙන ලෙස කොවිඩ් නිවාරණ කාර්ය සාධන බළකාය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

    අනෙක් පන්ති පැවැත්වීම සඳහා ද විවිධ සැලසුම් මේ වනවිට සූදානම් කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රාථමික පන්ති උදෑසන 12 පමණ වන විට අවසන් වන නිසා ඉහළ පන්ති සවස් කාලයේ පැවැත්වීම, කණ්ඩායම් වශයෙන් බෙදා කාලවේලාවන් දෙකක පාසල් පැවැත්වීම වැනි ක්‍රමවේද පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. අදියර කිහිපයක් යටතේ පන්ති කිහිපයක් බැගින් පැවැත්වීමටත් අදහසක් තිබෙනවා. දරුවන් නිවසේ තබා ගැනීම විවිධාකාර සමාජ ගැටලු ඇතිවීමට පවා හේතුවක් වී තිබෙනවා. එබැවින් ඉතා ඉක්මනින් ඔවුන් පාසල් යෑවීමට කටයුතු සූදානම් කළ යුතුයි. මේ ක්‍රමවේදයට පකෂව සහ විපන්ෂව විවිධ පාර්ශ්ව විවිධ අදහස් දරනවා. එහෙත් කුමන මති මතාන්තර තිබෙන විවිධ සංගම්වල සිටින පිරිස් වුවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුළු රටම එක් විය යුතු බවයි මගේ අදහස.

    දිල්රූ ජයසේකර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here