පාරිසරික අසමතුලිතබවේ අතුරුඵලය දේශගුණික කැලඹිලි

    0
    12
    Author(s): 
    චතුමී පිටිපන

    නුදුරු අනාගතයේදී සමස්ත ලෝකවාසී ජනයාට මෙවැනි සුළි සුළං වැනි පාරිසරික කැලඹිලි තත්ත්වයන්ට අඛණ්ඩව මුහුණ දීමට සිදු වනු ඇත. එය ප්‍රධාන කොටම ජනගහන වර්ධනය, ගෝලීයකරණය, වෙරළබඩ කලාපයේ ජනාවාසකරණය, දුගීභාවය හා දේශගුණික රටාවන්ගේ සිදු වන වෙනස් වීම් නිසා ඇති වනු ඇත. 

    සාගර දියවැල් ඉහළින් ඇති වන උණුසුම්, තෙත් සහිත සංවහන ධාරාවන් නිසා නිවර්තන කලාපීය සුළි සුළං, සුළි කුණාටු හා ටයිපූන් තත්ත්වයන් ඇති විය හැකිය. එම ක්‍රියාවලිය කැලඹිලි සමූහයක් ලෙස ආරම්භ වී සාගර ජලය සෙල්සියස් අංශක 27ක් පමණ උණුසුම් වීමක් හෝ ඊට වැඩි උණුසුම් වීමකට ලක් වීමක් සිදු වේ. පෘථිවියේ භ්‍රමණය මෙන්ම, සුළඟෙහි භ්‍රමණය මඟින් ද උණුසුම් වායු ධාරා ඇති වීම වේගවත් වෙයි.

    සුළි සුළං, සුළි කුණාටු හා ටයිපූන් යන සියල්ල එකම සංසිද්ධි මාලාවක් ලෙස ද දැක්විය හැකිය. එහෙත් ඒවායේ පැන නැඟීම අනුව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. උතුරු අත්ලාන්තික් සාගරය හා ගිනිකොන දිශාවෙන් ඇති වන කැලඹිලි තත්ත්වයන් සුළි කුණාටු (Hurricanes)ලෙස හඳුන්වයි. දකුණු පැසිපික් සාගරය හා ඉන්දීය සාගරය ඔස්සේ ඇති වන කැලඹිලි මඟින් ඇති වන තත්ත්වයන් සුළි සුළං (Cyclones) ලෙස හඳුන්වනු ලබයි. වයඹ දිශාවෙන් පැසිපික් සාගරය ඔස්සේ පැමිණෙන කැලඹිලි නිසා ටයිපූන් ඇති වේ. මෙසේ ඇති වන සුළි සුළං තත්ත්ව වර්ෂයේ විවිධ කාලවලදී පැන නඟින අතර ඒවා නම් කිරීම ප්‍රාදේශීය මට්ටමින් ඇති නීතිරීති මාලාවන්ට අනුකූලව සිදු කරනු ලබයි. ජාතික සුළි සුළං කුණාටු කමිටුවක් පවතින අතර එමඟින් අත්ලාන්තික් සාගරයේ ඇති විය හැකි සුළි කුණාටු පූර්ව නාමකරණයකට ලක් කර තිබේ. ඒ මඟින් ගිනිකොන දිග පැසිපික් සාගරය ආශ්‍රිතව ඇති වන සුළි කුණාටු ද පූර්ව නිගමන නාමකරණයකට ලක් කර ඇති අතර එම නාමකරණ ලැයිස්තුව සෑම වර්ෂ 6කට වරක්ම චක්‍රීකරණයකට ලක් කරනු ලබයි.

    මානව බලපෑම

    සුළි සුළං තත්ත්වයකදී අධික වර්ෂාපතනය, චණ්ඩමාරුතය, විශාල කැලඹිලි, කුණාටු, ටොනාඩෝ හා නායයෑම් ඇති විය හැකිය. මේවායේ බලපෑම එම තත්ත්වය ඇති වන ස්ථානය, එහි තීව්‍රතාවය යනාදිය මත වෙනස් වේ.

    නුදුරු අනාගතයේදී සමස්ත ලෝකවාසී ජනයාට මෙවැනි සුළි සුළං වැනි පාරිසරික කැලඹිලි තත්ත්වයන්ට අඛණ්ඩව මුහුණදීමට සිදු වනු ඇත. එය ප්‍රධාන කොටම ජනගහන වර්ධනය, ගෝලීයකරණය, වෙරළබඩ කලාපයේ ජනාවාසකරණය, දුගීභාවය හා දේශගුණික රටාවන්ගේ සිදු වන වෙනස් වීම් නිසා ඇති වනු ඇත. ඒවායේ ප්‍රතිඵල ලෙස අධික තීව්‍රතා සහිත සුළි සුළං තත්ත්වයන් ඇති වෙයි.

    මෙවැනි සුළි සුළං නිසා සියලු ජනයා පීඩාවට පත්වීම සිදු විය හැකිය. විශේෂයෙන්ම බොහෝ නිවාසවල වහලවල් ගැලවී සැලකිය යුතු ජනතාවකට අවතැන් වීමට පවා සිදු විය හැකිය. මෙහිදී පැල්පත්වාසී ජනයා බෙහෙවින් පරිස්සම් විය යුතුය.

    සුළි සුළං වැනි අයහපත් දේශගුණික තත්ත්වයකදී සාගර ජලයෙන් ඇති වන අධික රළපහරවල් මඟින් වෙරළබඩ කලාපවල ජන ජීවිතයට ද තර්ජන එල්ල වේ. එමෙන්ම ධිවරයන්ගේ යාත්‍රාවලට හානි වීම හේතුවෙන් එම කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකි වේ.

    නිවර්තන සුළි සුළං ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ වර්ග කළ හැකිය. එය හානියේ ස්වභාවය අනුව වර්ග කෙරේ. පළමු වර්ගය – නිවාස හානි. දෙවන වර්ගය – සුළු නිවාස හානි. තුන්වන වර්ගය – ඇතැම් නිවාසයන්ගේ වහලවල් ඉවත්වීම හා ව්‍යූහමය විනාශ වීම්. හතරවන වර්ගය – සැලකිය යුතු ලෙස නිවාසවල වහලවල් ඉවත්වීම හා නිවාසවල ව්‍යුහමය විනාශවීම්. පස්වන වර්ගය – අධික සුළි සුළං තත්ත්ව වශයෙනි.

    ශ්‍රී ලංකාව තුළ හඳුනාගත හැකි වූ සුළි කුණාටු තත්ත්වයකට සමාන වූ ප්‍රථම සුළි සුළඟ 1978 දී ඇති වී ඇති අතර එය පැයට කිලෝමීටර් 175ක වේගයෙන් හැමූ සුළඟකි. ඒ ආකාරයටම 1992 දී නැවතත් ලංකාවට දරුණු සුළි සුළං තත්ත්වයක් ඇති විය. එය පැයට කිලෝමීටර 165ක වේගයෙන් හමා ගිය චණ්ඩ මාරුතයකි. මෙම අඩු පීඩන තත්ත්ව බොහොමයක් ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වුණු ඒවා වේ. බෙංගාල බොක්ක මත නිරන්තරයෙන් අඩු පීඩන තත්ත්වයන් ඇති වන්නේ එහි ඇති අවතල ස්වරූපය නිසා ඒ තුළට කාවදින අධික සුළං හේතුවෙනි. එමෙන්ම එම ස්ථානයේ මතුපිට වූ උණුසුම් ජල දහරාව ද එයට බලපානු ලබයි.

    2009 – 2018 දක්වා වර්ෂවල ගංවතුර, නියඟ, නායයෑම් නිසා වර්ෂයකට ලක්ෂ 20ක ජනතාවක් පීඩාවට පත්ව ඇත. එය වර්ෂයකට දළ දේශීය නිෂ්පාදනයේ 0.3% අලාභයකි. ජර්මන් වොච් සංවිධානයට අනුව 2017 වර්ෂයේදී ස්වාභාවික විපත් බහුලව සිදු වූ රටවල් අතර ශ්‍රී ලංකාව 3 වන තැනට නම් කර ඇත.

    අම්ෆාන් 2020

    මෙම සුපිරි සුළි සුළං කුණාටු තත්වයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය 2020 මැයි මස 13 දින ශ්‍රී ලංකාවේ කොළඹට නැඟෙනහිර දිශාවේ සැතපුම් ගණනක් ඈත සාගරයේ ඇති වූ අඩු පීඩන තත්වයක් නිසා ඇති වූවක් වේ. එය ඇති වී පැය 12 ක් ඇතුළත දරුණු සුළි සුළං තත්ත්වයකට පත් විය. එමඟින් ශ්‍රී ලංකාවට, ඉන්දියාවට, බංග්ලාදේශයට, භූතානයට හා නේපාලයට දරුණු ලෙස පීඩා විඳීමට සිදු විණි.

    ශ්‍රී ලංකාවේ නැඟෙනහිර දිශාවට මෙමඟින් බහුලවම බලපෑම් ඇති වී ඇති අතර අති විශාල ජනතාවක් තර්ජනයට මුහුණ දුන්හ. මෙම සුළි කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස ගංවතුර තත්ත්වයන් හා නායයෑම් වාර්තා විණි.

    ගංගා ආශ්‍රිත ජලගැලීම්

    කළු හා කැලණි ගංගා ගලා යන්නේ වර්ෂා වනාන්තර ඇසුරු කරගනිමින් නිසා ඒවා නිරන්තරයෙන්ම වැඩි ජල පෝෂක සහිතය. කඵ ගඟ පෝෂක ප්‍රදේශය මඟින් සමස්ත ලාංකේය ජනගහනයෙන් 5%ක් (මිලියන 2.2) ප්‍රමාණයක් පෝෂණය කරවයි. සෙල්සියස් අංශක 2ක උෂ්ණත්ව වැඩි වීමකදී මෙය ක්‍ෂණයකින් පිටාර ගැලිය හැකිය. එබැවින් ගෝලීය උණුසුම සමඟ සිදු වන දේශගුණික විපර්යාස ඉතාමත්ම දරුණු ප්‍රතිඵල ඇති කර වීමට හේතු වන බව පැහැදිලිය. මෙසේ ගංගා පිටාර ගැලීම තුළ බෝග වගාවන්ගේ අස්වැන්න අඩුවීම, ආහාර ආරක්ෂණයට තර්ජන ඇති වීම, ජන ජීවිතයට බාධා ඇති වීම යනාදිය බහුලවම හඳුනා ගත හැකිය.

    රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි රත්නපුර නගරය නිරන්තරයෙන්ම කඵ ගඟේ පිටාර යෑම් මඟින් පීඩාවට පත් වේ. එයට ප්‍රධානම හේතුව ලෙස දැකිය හැක්කේ එය මුහුදු මට්ටමේ සිට 21mක පමණ උසක් දරන පහත් බිමක් ලෙස පිහිටීමය. කඵ ගඟේ බොහෝ පෝෂක ප්‍රදේශවල අතීතයේ පැවති ඒහා සම්බන්ධ වූ බොහෝ අතුරු දිය පහරවල් හෙවත් ඔයවල් අද වන විට නාගරීකරණය නිසා මානව ජනාවාස ඉදිකිරීම හේතුවෙන් වැසී ගොස් තිබේ. මේ නිසා ස්වාභාවික භුගත ජල පද්ධතියට එකතු වන ජල ප්‍රමාණය ද දැන් මතු පිටින් ගලා යෑම හෝ එක්රැස් වීම සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස රත්නපුර නගරය යට වීමේ අවදානම නිතරම පවතී. එය තවදුරටත් මෙම ගඟ මුහුදට වැටෙන ස්ථානයේ සිට 70kmක් පමණ දුරක් වන තෙක් මුහුදු මට්ටමේ සිට උස 14mක් වීම ද හේතුවක් වේ.

    කැලණි ගංගාවේ පිටාර ගැලීම බහුලවම ආරම්භ වන්නේ හංවැල්ල ප්‍රදේශයෙන් ඔබ්බටය. එයට හේතුව එම ප්‍රදේශවල නාගරීකරණය උපරිමයට පත්ව ඇති නිසා ජල පෝෂක ප්‍රදේශයන්වල ජනාවාස ඉදිකිරීම මඟින් නිරන්තරයෙන්ම ගංගා පිටාර ගැලීමට ලක් වේ. මහවැලි ගඟේ පිටාර ගැලීම් නිසා වන ගංවතුර තත්ත්ව හඳුනා ගත හැකි වන්නේ පහත් බිම් ප්‍රදේශ ලෙස පවතින පොළොන්නරුව දිස්ත්‍රික්කය ආශ්‍රිත භුමි භාග තුළ පමණකි.

    සෞභාග්‍යයයේ දැක්ම තුළ ආපදා සිදු කළ හැකි කළමනාකරණය නිසි ලෙස දක්වා ඇත. එහිදී ආපදා කළමනාකරණය වඩා පහසු කරවීම සඳහා පැරණි අණ පනත් නැවත කෙටුම්පත් කරවීමටත්, නූතන තාක්ෂණික මෙවලම් ලබා දීම මඟින් කාලගුණික දෙපාර්තමේන්තුව යාවත්කාලීන කිරීමත් ඒ මඟින් ආපදා තත්ත්වයන් පෙර තියාම දැන ගැනීමට හා වහාම එයට පිළියම් යෙදීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට නියමිතය.

    ආපදා කළමනාකරණය

    ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ ආයතනය සතුව දැනට පවතින පහසුකම් දියුණු කිරීම මෙන්ම වැඩි නෛතික බලයක් ලබා දීමත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා ආපදා සහන සේවා ඒකාබද්ධව ආපදා කළමනාකරණ අධිකාරියක්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කරවීමත් මෙම සෞභාග්‍යයේ දැක්මේ තවත් පැතිකඩක් වනවා ඇත. නිතර නිතර ආපදාවලට ලක්වන පෙදෙස් එනම්, ගංවතුර තර්ජන එල්ල වන ප්‍රදේශ නාය යෑම්වලට ලක් විය හැකි ප්‍රදේශ යනාදිය හඳුනාගෙන ඒවායේ දත්ත ගබඩාවක් ඇති කරවීමටත් එමඟින් අතීත තොරතුරු නිවැරදිවම දැන අනාගතයේදී ඇති විය හැකි තත්ත්වයන්ට “පූර්ව ආපදා කළමනාකරණයක්” සිදු කිරීමට ඇති අවස්ථාව ද මෙමඟින් ලබාදීමට සැලසුම් කර ඇත. එය ද සෞභාග්‍යයේ දැක්ම තුළින් අනාගතයේදී ලබා ගන්නා වූ වරප්‍රසාදයන්වල කොටසකි.

    දැන් සිටම කළ යුතු වන්නේ අනවසර ඉදිකිරීම්වලින්, පහත්බිම් ගොඩකිරීම්වලින් ඈත් විමය. එසේම ජල පෝෂක ප්‍රදේශය තුළ ඇති මානව ජනාවාසවල ක්‍රමිකව නිවාස යෝජනා ක්‍රම ඇති කරමින් විස්ථාපනය කිරීම කළ යුතුය. එමෙන්ම හැකි පමණ ජලය බැස යන කානු පද්ධතීන් කොන්ක්‍රීට්වලින් නොසාදා එහි ඉවුරු තණ පිඬලි මඟින් ආස්තරණය කර (Sustainable Drainage System) වර්ෂා ජලය භූගත ජල පද්ධතීන්ට අවශෝෂණය කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සපයා දිය යුතුය. එසේම රජයක් ලෙස ඉදිරියේදී සිදු කරන්නා වූ සංවර්ධන ව්‍යාපෘතීන් නිවැරදිව හැදෑරීම් කර, ආරම්භ කිරීමට වග බලාගැනීමෙන් අපට යහපත් දේශයක් ගොඩනඟා ගත හැකි වනු ඇත. උමා ඔය ව්‍යාපෘතිය මඟින් එම ප්‍රදේශවල ජීවත්වන බොහෝ ජනතාවගේ දේපළ හානි හා ළිං ජලය හෙවත් උල්පත් ජලය සිදී යාමට ලක් විය. එම ව්‍යාපෘතියෙන් ඇති වූ දුර්වලතා නිසා විපතට පත්වූවන්ට මෙම සෞභාග්‍යයේ දැක්ම තුළ සහන සැලැසීමට නැතහොත් වන්දි ගෙවීමට සුදානමක් පවතී.

    මෙම සුළි සුළං කුණාටු යනාදිය ඇති වන්නේ ගෝලීය උණුසුම නිසා ඇතිවන දේශගුණික විපර්යාසයන් මඟිනි. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වර්ෂ 2050 වන විට අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.2% ක් පමණ විනාශයට පත්වන බවට ඇස්තමේන්තු කර ඇත. එසේ නම් අප කළ යුතුව ඇත්තේ ගෝලීය උණුසුම අවම කරගැනීම සඳහා දායක වන පාරිසරික හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලීන් අවම කරවීමත් හැකි නම් නැති කරවීමත්, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි නොවී නියතව තබා ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් ශාක වැස්මක් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ ඉටු කිරීමත්ය.

    එසේම නායයෑමේ තර්ජනයට ලක් වන ප්‍රදේශයක සිටින විට දැනුම් දීමක් කළ වහාම ජීවිත අවදානම ගැන සිතා එම ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් විය යුතුය. හැකි සෑම අයුරකින්ම, ලද සෑම අවස්ථාවකදීම පරිසරයට නව ශාකයක් එකතු කිරීම කළ යුතුය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here