බදු නිදහස ලැබූ සිනමාව

    0
    8

    කොවිඩ් – 19 අභියෝගය හමුවේ සිනමා කර්මාන්තය නගාසිටුවන්නේ කොහොමද කියන කාරණය වෙනුවෙන් රජයෙන් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඉල්ලීම් කළා. එයට ලැබුණු පිළිතුරු ලෙසයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වුණේ. අප කලාකරුවන්ගේ සුභසාධනය පිළිබඳ මෙහිදී කතා කරන්නේ නෑ. සුභසාධනය අවශ්‍ය වන්නේ අසරණ වූ පිරිසකට. එහෙත්, කලාකරුවන් කවදා හෝ අසරණ වෙන්න තියෙන මඟ ඇහිරෙනවා. 

    සිනමාවේ අභිවෘද්ධියට සහයෝගය දෙනවා
    – රොහාන් වැලිවිට 
    අග්‍රාමාත්‍ය ලේකම්, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති

    දේශීය සිනමා කර්මාන්තය නගාසිටුවීම සඳහා රජය දෙවසරක වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. කොවිඩ් -19 හමුවේ දේශීය සිනමාව නගාසිටුවීම වෙනුවෙන් කලාකරුවන් එක්ව කටයුතු කිරීම, දේශීය කලා නිර්මාණවල ගුණාත්මකභාවය රැකගැනීම, කලාකරුවන්ගේ හා රජයේ වගකීම යන කාරණා ගැන අගමැති මාධ්‍ය ලේකම් සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති රොහාන් වැලිවිට මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

    අප මේ දෙවසරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ පියවරින් පියවර. ඒ අතුරින් විනෝද බද්ධ වසර දෙදක කාලසීම­ාවකට අහෝසි කරන්නට. එය ලංකාවේ දැනට තිබෙන්නේ සියයට 5 සිට සියයට 25 දක්වායි. එක එක පළාත් සභාවල එක එක විදියටයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. එය වසර දෙකකින් පස්සේ (2023 වර්ෂයේ) සියයට 7 1/2 ක් දක්වා කරන්නයි අපේ බලාපොරොත්තුව. දැනට අපි විදුලි බිලට වට්ටමක් ඉල්ලා තියෙනවා. එය තවම ලැබුණේ නැහැ.

    කොවිඩ් – 19 අභියෝගය හමුවේ සිනමා කර්මාන්තය නගා සිටුවන්නේ කොහොමද කියන කාරණය වෙනුවෙන් රජයෙන් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඉල්ලීම් කළා. එයට ලැබුණු පිළිතුරු ලෙසයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වුණේ. අප කලාකරුවන්ගේ සුබසාධනය පිළිබඳ මෙහිදී කතා කරන්නේ නෑ. සුබසාධනය අවශ්‍ය වන්නේ අසරණ වූ පිරිසකට. නමුත්, කලාකරුවන් කවදා හෝ අසරණ වෙන්න තියෙන මග ඇහිරෙනවා. අප මේ කරන වැඩෙන් අසරණ වෙන්න තියෙන හේතු කාරණා ටික නැති වෙනවා. එතකොට ඔවුන් තෘප්තිමත් වෙලා හොඳ චිත්‍රපටි හදලා, කලා ශිල්පීන්ට පඩි නඩි ගෙවලා තමන්ගේ මාර්ගය හදා ගන්නවා. ඒකයි අප කරන්න ඕනෑ. චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ කොහොමද යන කාරණාව සම්බන්ධයෙන් තමයි අප වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. කොවිඩ් – 19 තත්ත්වය හමුවේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා කියන්නේ කලාකරුවන්ගේ සුභසාධනයත් ඉබේම සැලසෙනවා කියන එක. ලෝකය මුහුණ පෑ තත්ත්වය හමුවේ ජනතා සුභසාධනය සලසන්නත් රටේ ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යන්නත් කියන මේ හැම දෙයක්ම රජයට තනියම කරන්න බැහැ. ආදායමක් ඕනෑ. ඒ සඳහා රටේ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි. එහිදී සිනමා කර්මාන්තය වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් හඳුන්වා දුන්නහම හොඳ චිත්‍රපටි හදන්න කලාකරුවන් දැනගන්න ඕනෑ, ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ වගකීමක් තිබෙනවා පිටරට ඉන්දීය යුරෝපීය චිත්‍රපට නරඹන්නේ නැතිව අපේ රටේ චිත්‍රපටි නරඹලා දේශීය කලාකරුවන් නගා සිටුවන්න අතහිත දෙන එක.

    දැන් සිනමා ශාලා වහලා තියෙනවා කියන්නේ ණය පහසුකම් මත පවත්වාගෙන යන එවැනි ආයතන කොයි තරම් පාඩුවක් ලබනවද කියන එක හිතන්න ඕනෑ. ඔවුන් දරු පවුල් රකින්නේ ඒ ආදායම් මඟින්. කොවිඩ් – 19 තත්ත්වය මේ සිනමා ශාලා වසා දමන්නට හේතු වුණා. ආදායම් ඇන හිටියා. ඒවා වැසුණාම සිනමා නිර්මාණ නිෂ්පාදන කටයුතු ඇන හිටියා. කරපු නිර්මාණ ප්‍රදර්ශනය වුණේ නෑ. එතකොට කලාකරුවන් චිත්‍රපට හදන්නේ අතේ තියෙන සල්ලිවලින් නෙමෙයි. ණය අරගෙන. ඒවා ගෙවන්න බැරිව ඔවුන් අසරණ වුණා. මේවා නිෂ්පාදනය කරන්නේ මේ රටේ කෝටිපතියො නෙමෙයි. සාමාන්‍ය ආදායම් ලබන කලාකරුවන්. ඔවුන්ගේ ණය වාරික ගෙවා ගන්න බෑ. නළු නිළියන්ට, කලා නිර්මාණයකට දායක වන සියලුම කණ්ඩායම් මේ නිසා අසරණ වුණා. රජය මේ දෙවසරේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මේ ගැටලුකාරී තත්ත්වය සමනය කරන්නයි.

    මේ අතරේ බිහි වන සියලු කලා කෘති ගුණාත්මක බවින් යුතු ඒවා විය යුතුයි. විදේශ චිත්‍රපට රූපවාහිනියේ පෙන්වද්දී, අන්තර්ජාලයේ සහ සීඩී තැටි මඟින් තව තවත් ඒවා ප්‍රේක්ෂකයන් අතරට යනවා. එතකොට අපේ ප්‍රේක්ෂකයන් අපේ සිනමාහලකට ප්‍රවිශ්ඨ වෙන්නේ අපේම ගුණාත්මක සහ වෙනස් ආකාරයේ යමක් නරඹන්නයි. අප ඔවුන්ට දිය යුතු වන්නේ ඔවුන් ඉල්ලන අපේ සිනමා නිර්මාණ. අපේ සිනමාහල්වල පෙන්විය හැකි ආකාරයේ ඉතා හොද, ගුණාත්මක වානිජ මට්ටමේ නිර්මාණ බිහි විය යුතුයි. අප කමිටුවක් හරහා චිත්‍රපට 25 තෝරලා ප්‍රදර්ශනය කරන්න කටයුතු යොදා තිබෙනව. ඒ කමිටුව අද හෝ හෙට පත් කිරීමට නියමිතයි.

    චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශීල්පීන්ගේ සංධානය හා සිනමාහල් හිමියන්ගේ සංගමය කියන පිරිස මඟින් කලා ක්ෂේත්‍රයම නියෝජනය වෙනවා. සිනමාවේ සියලුම කොටස් කරුවන් මේ අතරේ ඉන්නවා.

    පක්ෂ පාට ජාති භේදයක් නොමැතිව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එකතුවෙලා රට ගොඩනගනවා වගේ මේ රටේ කලාකරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය අරභයා ගෙන ඇති ක්‍රියාමාර්ගය සඳහා සහයෝගය දක්වන ලෙස මා ඉල්ලීමක් කරනවා.

    අපේ රටේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා අපේ රටේ දේවල් නරඹන්න, අගය කරන්න කියලා. ෆැන්ටසි ගණයට අයත් ඉන්දීය චිත්‍රපට සහ අනෙකුත් විදේශ චිත්‍රපටවල අභව්‍ය කතන්දර නැරඹීම වෙනුවෙන් ගත කරන කාලය අපේ රටේ රියැලිටි ගණයේ චිත්‍රපට නරඹන්නට යොදවන ලෙස අප ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ජැක්සන් ඇන්තනී සහ ප්‍රසන්න විතානගේ වැනි මහත්වරුන්ගේ ගුණාත්මක හරවත් නිර්මාණ රසවිඳින්නට පෙලඹෙන්න ඕනෑ. ඒවා නැරඹීමෙන්ට පුද්ගල මනසේ අධ්‍යාත්මික හා චර්යා රටාවේ පවා ධනාත්මක වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. විදේශ චිත්‍රපට නැරඹීමෙන් එවැන්නක් ලබා ගන්න බෑ. හොර මැරකම්, මිනීමැරුම්, වංචා සහ ස්ත්‍රී දූෂණ පමණයි ඒ චිත්‍රපටවල අන්තර්ගතය වෙලා තියෙන්නේ. නමුත් සිංහල චිත්‍රපට හරවත්. කුස්සියේ තිබෙන පිහියේ ඉඳලා ඕනෑම දෙයක් අපට පිටරටින් ගෙන්වන්න පුළුවන්. නමුත්, සිංහල චිත්‍රපට ගෙන්වන්න බැහැ. ඒ කියන්නේ සිංහල චිත්‍රපටය කියන්නේ අපේ රටේ සිංහල සංස්කෘතිය. එය රැක ගැනීම රජයේ වගකීමක්. තේ වතුහිමියන්, ධීවර කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය රැක ගන්නවා නම් අපේ රටේ සංස්කෘතිය හා සමාන සිනමා කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් අප සියලු දෙනාම මැදහත්භාවයෙන් කටයුතු කළ යුතුයි. ඉතිං මේ සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේ අපේ රටේ පවතින කොවිඩ් – 19 මර්දන වැඩපිළිවෙළේ නීති රීතිවලට අනුගත වෙමින්. බොහොම සෞඛ්‍යාරක්ෂිතව ඒ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් මේ වෙනුවෙන් අගමැතිතුමා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට රාජ්‍ය පරිපාලන, විදුලිබල සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ අග්‍රාමාත්‍ය ලේකම්තුමාට අවශ්‍ය බලය පවරා තිබෙනවා මේ කටයුතු ටික කරගෙන යන්න. ඒ අනුව පියවරෙන් පියවර අපේ රටේ සිනමා කර්මාන්තය යළි ගොඩ නැඟෙනු ඇති කියන සුබවාදී ආකල්පය අපට ඇති කරගත හැකියි.


    ලැබුණු බදු සහන

    කොවිඩ් – 19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන සලසන්නැයි සිනමා කර්මාන්තයේ නියැළෙන්නෝ ඉල්ලීමක් කළහ. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවට අදාළව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට 2020.01.11 දින අදාළ අමාත්‍යංශවල අනුමැතිය ලැබී ඇත.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් එක්ව මේ සඳහාඅනුමැතිය දී ඇත.

    ඒ අනුව 2021 –2022 දෙවසරක කාලයට මුළු දිවයිනටම බලපාන පරිදි සිනමා කර්මාන්තය විනෝද බද්දෙන් නිදහස් වේ. 2023 වසරේ සිටසිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද සියයට 7.5 ක් දක්වා අඩු කිරීමට ද එහිදී අනුමැතිය දී තිබේ.

    මේ දක්වා සියයට 5 සිට සියයට 25 දක්වා විවිධ ප්‍රතිශත යටතේ රට පුරා පළාත් පාලන ආයතන විසින් විනෝද බද්ද අය කරනු ලැබීය. මෙම නව අනුමැතියය සමඟ මුළු රටටම එක් විනෝද බද්දක් හඳුන්වාදීම ද සිදු වේ.

    දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදය නියෝජනය කරමින් කලාකරුවෝ රැසක් පසුගිය 08 වැනිදා අග්‍රාමාත්‍යතුමා හමුවී කොවිඩ් 19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි පෙන්වා දුන්හ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර විනෝද බද්ද ඉවත් කර දෙන ලෙස වූ ඉල්ලීමද විය. ඒ අනුව අග්‍රාමාත්‍යතුමාගේ තීරණයට අදාළව මෙම අනුමැතිය දීම සිදුවිය.


    මගේ ප්‍රශංසාව
    – සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්

    වර්ථමානය වන විට ඇති වී තිබෙන වසංගත තත්ත්වය සහ තවත් විවිධ හේතූන් නිසා දේශීය සිනමාව තිබෙන්න තදබල බිඳ වැටීමක. මේ තත්ත්වයෙන් සිනමාව ගොඩ ගන්නට හැකි යම්කිසි වැඩ පිළිවෙළක් සකස් වෙනවා නම් ඒ පිළිබඳව මට දැනෙන්නේ විශාල සතුටක්. එම වැඩපිළිවෙළ මම අගය කරනවා සහ එයට මගේ ප්‍රශංසාව පිරිනමනවා. එසේම එය ඉතා සාර්ථක වෙන්නටත් දේශීය සිනමාව නැවත ප්‍රකෘතිමත් වෙන්නටත් මම ආශිර්වාදය කරනවා.


    හොඳ ප්‍රවණතාවක්
    – චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු

    දේශීය සිනමාව නඟා සිටුවීමට සිනමා ශාලාවලට පනවා තිබූ විනෝද බද්ධ ඉවත් කිරීම හෝ අඩු කිරීම ඉතාම හොඳ වැඩපිළිවෙළක්. නමුත් එහි ප්‍රතිලාභ සිනමා කර්මාන්තය වෙත ගලා යන්නට නම් ජනතාව සිනමා ශාලා වෙත පැමිණිය යුතුයි. ඔවුන් සිනමාපට නැරඹිය යුතුයි. මේ වනවිට ඇති වී තිබෙන්නේ නොමිලේ ප්‍රදර්ශනය කළත් චිත්‍රපට නැරඹීමට කිසිවකු සිනමා ශාලා වෙත නොපැමිණෙන තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වයත් වෙනස් කරන්නට හැකි වැඩපිළිවෙළක් සකස් වෙනවා නම් ඉතාම හොඳ ප්‍රවනතාවයක් ඇති වෙයි කියා හිතනවා.

    මගේ සහයෝගය 
    – ප්‍රවීණ රංගන ශිල්පි රෙක්ස් කොඩිප්පිලි

    දේශීය සිනමාව නඟාසිටුවීම සඳහා අගමැතිතුමාගේ මූලිකත්වයෙන් මේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන වැඩ පිළිවෙල ඉතාම හොඳයි. සිනමා ක්ෂේත්‍රයේ නියැලී සිටින නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් ඇතුළු සියලු දෙනාම කිසිදු භේදයකින් තොරව මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එතුමාට අනුග්‍රහය දක්වනවා නම්, සිනමාවෙහි ඉදිරි අනාගතය වඩාත් සුබදායක වනු ඇතැයි මම හිතනවා. ඒ වගේම සිනමාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවී තිබෙන බලධාරීන් සියලු දෙනාත් මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.


    සහන සැලසීම හොඳයි 
    – ප්‍රවීණ රංගන ශිල්පිනී නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ

    සිනමා ශාලාවල බදු අඩුකිරීම රජයක් විසින් කලාකරුවන් වෙත දුන් විශාල සහයෝගයක් ලෙස මම දකිනවා. නමුත් සිනමාකාරිණියක් ලෙස, සිනමා කර්මාන්තය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් තවත් බොහෝ දේවල් සිදු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ වුවත් අපට එක තැන නතර වෙන්නට හැකියාවක් නැහැ. බාධක මැද හෝ ඉදිරියට යා යුතුයි. එබැවින් සිනමාව කර්මාන්තය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන්නට සිනමා ශාලා නවීකරණය, ඔවුන්ගේ විදුලි බිල පිළිබඳ සහනයක් ලබාදීම ආදී කටයුතු ඉදිරියේ දී සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

    දිල්රූ ජයසේකර 
    චින්තා රණසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here