මල් වගාව ගැන මුහුණු පොතෙන් කියා දී රන් සම්මාන ගත් මල් ලිය

    0
    7

     

    නිවෙසේ තනිව ගත කරන කාලය අර්ථවත් කර ගැනීමට මල් පැළ නිෂ්පාදනයට යොමු වූ වැලිමඩ මිරහාවත්ත පදිංචි ටී.ඇමි.බී. තෙන්නකෝන් මහත්මිය අද වන විට අන්තර්ජාලයේ මුහුණ පොත ඔස්සේ මල් පැළ නිෂ්පාදන උපදේශිකාවකි. අද වන විට ඌව පළාතේ මල් පැළ නිෂ්පාදන අලෙවි ව්‍යාපාරයට රන් සම්මානය සමඟ හොඳම කා

    න්තා ව්‍යවසායිකා විශේෂ සම්මානය යන සමිමාන දෙකම හිමි කර ගැනීමට ඇය සමත්ව සිටින්නීය. ස්වයං රැකියාවට මල් වගාව තෝරා ගන්නා අයට අතමිට සරු කර ජිවිතය ද ජය ගත හැකි බව විදෙස් මල් බීජ ගෙන්විමට බලපත්‍රලාභි තෙන්නකෝන් මහත්මිය පවසන්නීය.

    වැලිමඩ මිරහාවත්ත ඩයරබා හන්දියේ පැළ තවානක හිමිකාරිනිය වන ඇය තමන් මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන මෙසේ පැවසුවාය.

    “මම උපන්නේ ඌව පරණගම මැදවෙලයි. මගේ පියා සුළු ව්‍යාපාරිකයකු වන ගුණසේකර තෙන්නකෝන්. අම්මා එම්. තෙන්නකෝන්. මට එක් සහෝදරයෙක් සිටිනවා. පාසල් ගමන හමාර කිරීමත් සමඟම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ දැනට විශ්‍රාම ගෙන සිටින බන්දුල හේමචන්ද්‍ර සමඟ විවාහ වුණා. සැමියා රැකියාවටත් දරුවන් දෙන්නා විශ්ව විද්‍යාලයට ඇතුළත්විමත් නිසා මට නිවෙසේ තනිව කාලය ගත කිරිමට සිදු වුණා. කාලය අපතේ යැවිමට වඩා කුඩා කල සිටම පැවති ආශාව මල්ඵල ගන්වමින් මල් පැළ වගාවට යොමු වුණා.

    මම මුලින්ම බාහිර මල් හා පැළ තවාන්කරුවන්ගෙන් මල් පැළ මිලට ගත්තා. එසේ මිලට ගත් පැළ දේශිය සංචාරකයන් නිතරම ගමන් කරන බණ්ඩාරවෙල වැලිමඩ පාරේ ඩයරබා හන්දිය අසල තබා ගෙන අලෙවි කිරීමට පටන් ගත්තා. මෙය දිනෙන් දින දියුණුවට පත් වුණා. ඉල්ලුම වැඩි වීමත් සමඟම විවිධ පැළ වර්ග නිෂ්පාදනය ගැන හසළ දැනුමක් ඇති සැමියාගේ සහාය ඇතිව උසස් ප්‍රමිතියෙන් හා ගුණාත්මකබවින් යුත් මල් පැළ හා විසිතුරු පැළ නිපදවන්න හැකි වුණා.

    අපගේම පැළ වර්ග නිසා ඉතාමත් විශ්වාසයෙන් හා වගකීමෙන් සැකයක් භයක් නැතිව 100 % විශ්වාසයෙන් අලෙවි කළා. එනිසා දිනෙන් දින වේගයෙන් දියුණුවට පත් වුණා.

    අපේ පැළ තවාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා. එසේම මම අද වන විට විදෙස් මල් බීජ ගෙන්විමට බලපත්‍රය හිමි කෙනෙක්. දෙමුහුන් බීජ වලින් “පිටුනියා- ලිප්ස්ටික් -ටොරොනියා – සෙලෝසියා – වින්කා රෝසියා – ක්‍රිස්මස් කැක්ටස් “- ඇතුළු විවිධ මල් පැළ වර්ග හා “බීජ පේර – දෙළුම්, අනෝදා -අලිගැට පේර“ ඇතුළු පලතුරු පැළ ද අලෙවි කරනවා. මල් පැළවලින් වඩාත් ඉල්ලුමක් ඇත්තේ “ පිටූනීයා හා ලිප්ස්ටික් යන ප්‍රභේදයන් දෙකටයි.

    අද වන විට ස්ථිර සේවිකාවන් 04ක් අනියම් සේවකයෙක් සිටිනවා. මම 2011 සිටම අද දක්වා සිමාසහිත වැලිමඩ මල් වගාකරුවන්ගේ සමුපකාර සමිත්යේ සභාපති. සීමාසහිත වැලිමඩ මල් වගාකරුවන්ගේ ග්‍රාමශක්ති ජනතා සමිතියේ සභාපති ඇතුළු විවිධ සමිති සමාගමිවල විවිධ නිලතල දරනවා.

    මෙයට අමතරව අන්තර්ජාලයේ මුහුණු පොතේ “මලක වතගොත සමඟ අලෙවිය“ යන පිටුව හරහා මල් වගාවට යොමු විමට කැමැති අයට මල් බීජයක් මඟින් පැළයක් ගන්නා අවස්ථාවේ සිට පැළයක් හදා වඩා පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් දීම ද කරනවා.

    මෙවන් අාකාරයට උසස් ගුණාත්මක ප්‍රමිතියෙන් මල් හා විසිතුරු පැළ අලෙවි කිරිම මඟින් සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑම නිසා ඌව පළාත් ජාතික වාණිජ කර්මාන්ත මණ්ඩලය හා ජාතික ව්‍යවසායක අධිකාරිය විසින් 2019 වර්ෂයේදී පවත්වන ලද තරගයෙන් “මල් හා විසිතුරු පැළ නිෂ්පාදක අලෙවි ව්‍යාපාරය යටතේ ක්ෂුද්‍ර කෘෂි කර්මාන්තයේ රන් සම්මානය ද සමස්ත තරගාවලියේ හොඳම කාන්තා ව්‍යවසායිකා විශේෂ සමිමානය ද මට හිමි වුණා. මෙම සම්මාන දීමේදී “මල් වගාව පිළිබඳව පුළුල් දැනුම, ගිණුම් කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑම, නව තාක්ෂණ භාවිතය, නව ප්‍රභේදයන් වගාව, අන්තර්ජාල මුහුණු පොත භාවිත කරමින් මල් වගා පිළිබඳව උපදෙස් දීම, සේවක සුබ සාධනය හා සමාජ සේවය යන නිර්ණායකයන් සලකා තිබෙනවා.”

    ඕනෑම අයකුට තම ගෙවත්තේ අලංකාර මල් වගාවක් ආරම්භ කර එහි කාලය ගත කිරීමෙන් නීරෝගි ජීවිතයක් උදා කර ගැනීමට හැකි වෙනවා. අතිරේක ආදායමක් උපයා ගැනීමටත් හැකි වෙනවා. එනිසා ස්වයංරැකියාවක් ලෙසට නිසි අයුරින් මල් පැළ නිෂ්පාදනය කරන්නේ නම් රජයේ රැකියාවකින් ලබන මාසික වැටුපට වඩා ඉහළ ආදායමක් පහසුවෙන් උපයා ගත හැකි බවට මම ක්‍රීයාවෙන් ඔප්පු කර ඇතැයි තෙන්නකෝන් මහත්මිය අවසානයේදී පැවසුවාය.

     

    ආර්. රාජමන්ත්‍රී

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here