මෙරට ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි කොන්සල්වරුන්ගෙන් ඉල්ලීමක් කරයි

0
42
Author(s): 
මහින්ද අලුත්ගෙදර

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි රජය විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින කොන්සල්වරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙස විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රැඳී සිටින විදෙස් රටවල කොන්සල්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදෙස් රටවල්වල කොන්සල්වරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ ඉල්ලීම කර තිබෙන අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ නිකුත්කර ඇති උපදෙස් වලට අනුකූලව ඉකුත් විදේශ අමාත්‍යාංශයේ දී පෙරේදා (11) මෙම සාකච්ඡාව පැවැත්විණි.

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කලාපීය සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් සමඟ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ. කොවිඩ්-19 වසංගත තත්ත්වයට මුළු ලෝකයම ගොදුරුව ඇති මේ මොහොතේ සියලු රටවල ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇතත් එකිනෙකාට උදවු කර ගනිමින් ලෝක ආර්ථිකය යළි දියුණුව කරා ගෙනයාමට කටයුතු කළ යුතුව ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඉකුත් වසර තුළ පැවැති යහපත් කාළගුණික තත්ත්වයත් සමඟ මෙරට තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව ඉහළ මට්ටමක පවතින බැවින් ඒ සඳහා ලෝකයේ වැඩි ඉල්ලුමක් සහිත වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් පවතින බව විදේශ ලේකම් කොළඹගේ මහතා මෙහිදී පෙන්වා දුන් අතර රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ප්‍රධාන කරුණු තුනක් යටතේ කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටින බැවින් ඊට සියලු පාර්ශ්වවල සහාය අවශ්‍ය බවයි.⁣

ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ඔවුන් සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතු බව මෙම සාකච්ඡාවට සම්බන්ධව සිටි කොන්සල්වරුන් ඉල්ලා සිටි අතර සංචාරකයන් සඳහා මෙරට විවෘත කිරීම, ගුවන් තොටුපල විවෘත කිරිම හා ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළු ආයෝජන දිරි ගන්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here