ශ්‍රී ලංකාවේ මත් උවදුර තුරන් කිරීම පියවර තුනක් ඔස්සේ ක්‍රියාත්මකයි – මහජන ආරක්ෂක ඇමැති

0
37

ශ්‍රී ලංකාවෙි මත් උවදුර තුරන් කිරීම පියවර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකසා ඇති බව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මත්ද්‍රව්‍ය හා අපරාධ අංශයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේ දී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඒ අනුව පළමු පියවර ලෙස භෞතිකව මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට කටයුතු කරන බවත් දෙවන ක්‍රියාමාර්ගය ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම ඉවත් කිරීම සඳහා සියලුම පාසල් ශිෂ්‍යයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් තෙවන පියවර ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුවක් ලබාදෙන බවත් පැවසීය. මෙම පියවර සඳහා ලබාදිය හැකි උපකාරය පිළිබඳ ඇමැතිවරයා විසින් මෙම නියෝජිතයන්ගෙන් විමසනු ලැබීය .

ඇෆ්ගනිස්තානය පාකිස්තානය හා ඉරානය ආදී රටවල් හරහා මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන බව ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. සැටලයිට් තාක්ෂණය ඔස්සේ මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටු පිළිබඳ නිරීක්ෂණය කර දැනුවත් කළ හැකි බව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේය. මීට අමතරව මත්ද්‍රව්‍ය හඳුනාගත හැකිය ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දිය හැකි බවද ඔවුහු පැවසූහ . ලංකාවේ මත්ද්‍රව්‍ය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ඩුබායි රාජ්‍යයේ සිට මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බවත් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මෙහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන් ප්‍රධානී ඇලන් කෝල් හා ශ්‍රී ලංකාව හා මාලදිවයින වැඩසටහන් කාර්යාල ප්‍රධානී ට්‍රොල් වෙස්ටර් සහභාගි වූහ.

ක්‍රිසන්ති විතාරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here