සේරුවාවිල රත්රන් නිධිය ගැන පුළුල් ගවේෂණයක් කරන්න – පරිසර ඇමැති

0
40
Author(s): 
බුද්ධිකා ඉඹුලාන

සේරුවාවිල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති රත්රන් ඇතුළු ඛනිජ නිධිය සම්බන්ධව පුළුල් ගවේෂණයක් තවදුරටත් සිදු කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

සේරුවාවිල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන රත්රන්, යපස් හා තඹ සහිත ඛනිජ නිධිය සම්බන්ධයෙන් මුලින්ම ගවේෂණයක් සිදු කර ඇත්තේ 1970 දී බවත්, එම ගවේෂණය සිදු කළ කාලවකවානුවට වඩා මේ වන විට ලෝකයේ ඛනිජ සම්පත් ගවේෂණ සම්බන්ධ තාක්ෂණය දියුණු වී ඇති නිසා මෙම නිධිය සම්බන්ධව පුළුල් ගවේෂණයක් තවදුරටත් සිදු කළ යුතු බවත් ඇමැතිවරයා කියයි. ඊයේ (12දා) පරිසර අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ 1970 සිදු කළ ගවේෂණයක් අනුව මෙම නිධියේ තඹ හා යපස් වගේම රත්තරන් ඇති බව වාර්තා වී තිබෙන බවයි. ‘මේ සම්බන්ධව මාධ්‍ය තුළ පුළුල් ලෙස ප්‍රචාරය වු නිසා මම ඒ අනුව පසුගියදා වනජීවි, වනසංරක්ෂණ, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ආයතනවල නිලධාරින් සමග සාකච්ඡාවක් කළා. දැනට හඳුනාගෙන ඇති පරිදි මෙම නිධියට අයත් ඒකකවලින් සියයට 90ක් පමණ ඇතුළත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. නමුත් අප දන්නවා රටට ඉන් වාසියක් දීමට නම් ඒ සම්බන්ධව විද්‍යාත්මකව කරුණු අධ්‍යයනය කළ යුතු වෙනවා.

ඒ නිසා මේ සම්බන්ධව අනුගමනය කළ හැකි ගවේෂණ ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් ඊයේ (12දා) දෙන ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නා. ඒ අනුව වනජිවි රාජ්‍ය අමාත්‍යංශයට හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පාරිසරික ඇගයීමක් සිදු කිරීමට වාර්තාවක් දෙනවා. ඒ අනුව විද්‍යාත්මක ක්‍රමවේදයක් මත සිදු කරන ගවේශනයක් මත මෙම නිධියේ කොපමණ මෙම ඛනිජ වර්ග අන්තර්ගත වනවාද කියන්න පුළුවන් යැයිද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

මේ අතර මුතුරාජවෙල අනවසර ගොඩ කිරීම් සම්බන්ධව අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ මුතුරාජවෙල ගොඩ කිරීම සඳහා හෝ ඊට අයත් ඉඩම් පරිහරණය සඳහා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට මෙතෙක් අවසරයක් දී නොමැති බවයි. එමනිසා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ද දැක්වූ කරණු අනුව මෙන්ම ලැබුණු තවත් තොරතුරු මත සිදුකළ විමසුමකදී යම් යම් පිරිස් ඉතාමක් සූක්ෂ්ම ලෙස මුතුරාජවෙල ගොඩ කිරීම සඳහා කටයුතු කරන බව අනාවරණය වූ බවත්, තමන් ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු සොයා බැලු බව ඇමැතිවරයා කීවේය. මෙම ගොඩ කිරීම් පසුපස රජයේ නිලධාරින් මෙන්ම ඇතැම් පාතාලයේ පුද්ගලයන්ද සිටින බවට තමන්ට විවිධ පාර්ශ්ව දන්වා ඇතැයි හෙතෙම කීය.

මේ සම්බන්ධව අදහස් පළ අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මුතුරාජවෙල තෙත් අභයභූමියට අයත් සීමා මායිම් සලකුණු කිරීමට මෙතෙක් පියවර ගෙන නැති නිසා විවිධ පුද්ගලයන් එම ප්‍රදේශය අත්පත් කර ගැනීම් සිදු කරමින් සිටින බවයි. සමහර වෙලාවට පරිසර අධිකාරිය පරිසර ආරක්ෂණ කලාප නම් කළත් සීමා මායිම් දක්වන්නේ නැහැ. ජීපීඑස් තාක්ෂණයෙන් සීමා මායිම් ගත්තත් ඒවා මහපොළවේ සළකුණු කර නැහැ. ඒ නිසා නිසි ක්‍රමවේදයන් මත කටයුතු නොකර ගැසට් කිරීම නිසා ඒවා බරපතළ ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරමින් තිබෙන බවද අසම්පූර්ණව වැඩි කිරීම නිසා මෙවැනි ගැටලු සහගත තත්ත්වයන් ඇතිවන්නේ යැයිද ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here