හදවත්හි ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් කවි ලියූ මහගමසේකර

    0
    11

    හෙට (14)ට යෙදෙන 45වන සමරුම නිමිත්තෙනි.

    මහගමසේකර සූරීන් දැයෙන් සමුගෙන හෙටට (14) වසර 45ක් සපිරේ. මේ අනුස්මරණීය අවස්ථාවේ මහගම සේකර සූරීන් පිළිබඳවත්, ඒ මහතා අතින් නිර්මාණය වූ ගීත සාහිත්‍යයේ වූ ආත්මීය ශක්‍යතා පිළිබඳවත් සැමරුමක නිමග්නවීම මෙවන් ලිපියක් සැකසීමේ අරමුණයි.

    ‘මහගමසේකරයන් සමඟ අල්ලාප සල්ලාපයෙන් ගත කළ එම සැඳෑ යාමය පිළිබඳව වූ මතකය, මා හදවත්හි සදාතනිකව නිදන්ව පවතී.සොබාදහම, සෞන්දර්ය, දිවියේ අනියතතාව වන් අපූර්වතම මාතෘකා කීපයක්ම එදින අපගේ සංවාදයට බඳුන් විය.එම විරාමයේ කාමරයේ රැඳී සිටියේ ඔහුත්, මාත් පමණි. එනමුදු අප අතර තෙවැන්නෙක් ද සැඟවී රැඳී සිටි බව මට පසක් වූයේ පසුදින (1976 ජනවාරි 14) උදෑසන ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශනයට සවන් දුන් මොහොතෙහිය. ඒ අන් කිසිවකු නොව මාරයාය. අප සල්ලාපයේ යෙදී සිටි මුළු කාලය පුරාවට, මාරයා සේකරගේ සුළැඟිල්ලේ එල්ලී සිටියාට සැක නැත. සේකරයන් මිය යෑමට හෝරාවකට පෙර, ඔහු ඇසුරේ සිටි එකම පුද්ගලයා මා විය හැකිය.

    මහාචාර්ය ජෝතිය ධීරසේකර විද්වතුන්, පෙර දින සන්ධ්‍යා භාගයේ තමන් හමුවූ සේකරයන් පිළිබඳව තබා ඇති මෙවන් මතක සටහනකින් මේ ලිපිය අරඹන්නට අදහස් කළේ ගිලන්ව සිටියදී නිර්මාණකරණය උදෙසා ඔහු තුළ පැවති ආත්මීය අභියෝගය කෙතෙක්ද යන්න අවධාරණය කිරීමේ අභිලාෂයෙනි. සිය ආචාර්ය උපාධියට නිර්මාණය කළ ‘සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ රිද්ම ලක්ෂණ’ නම් වූ ශාස්ත්‍රීය කෘතියට පෙරවදනක් සකසා ගැනීමේ අපේක්ෂාවෙන් සේකර මේ අවසන් සැඳෑවේ මහාචාර්ය ධීරසේකරයන් හමුවී ඇති බව ද පැවසේ. දිවියෙන් සමුගන්නා විට හේ 50 වන වියේ පසු විය. අභාවයෙන් වසර ගණනාවකට පසු (1981) මේ කෘතිය වෙනුවෙන් සේකර සූරීන්, විදුදය සරසවියේ ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය. මහගමසේකර කවියා සාහිත්‍ය කෙතේ රෝපණය කළ ඒ විසල් රුකෙහි සුපිපි පුෂ්පයන්ගේ නිමල සුගන්ධය සියක් වසරක් නොව කප් සුවහසක් පුරා පරපුරෙන් පරපුර රසික හදවත් ආස්වාදනයෙන් ප්‍රීණනය කරනු නිසැකය.

    මිහි මත සියල්ල එක්තරා ලයාන්විත රිද්මයක් මත උපත ලබා ඇති බව ඔහු විශ්වාස කළේය. මළ හිරු පැළ දිගු අහසේ සැඟවෙන මොහොතේ, තමන්ගේ සෙවණැල්ල ද තමන් අතහැර ගිය මොහොතක, පිලේ පැදුර කිහිලි ගන්නා ගෙන නිහඬ හුදෙකලා හේන වෙත පිය නඟන ගැමියා මුවින් ගිලිහෙන පැල් කවියේ රිද්මය, ගම්මානයේ වක්කඩ ළඟ දිය වැටෙනා රිද්මය, ජන හදවත්හි නිතැතින් කුළුගන්වන්නේ, සේකරයන් පිළිබඳව වූ සොඳුරු මතකයයි. ජන කවි සාම්ප්‍රදායයෙන් මෙන්ම, සිංහල සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙන් ද ලද අභාෂයෙන් සේකරයන් තමන්ටම අනන්‍ය වූ ප්‍රතිභා පූර්ණ ගීත සාහිත්‍යයක් නිර්මාණය කළේය. එසේම සේකර නිර්මාණවලින් රස නිෂ්පත්තිය කුළුගන්වන සුලු නව්‍ය කාව්‍යාලංකාර දුට හැකිය.

    1929 අප්‍රේල් 07 වැනි දින මහගමසේකර රදාවාන ගම්පියසේ මහගමගේ ජෝන් හා රොසලින් යුවළට දාව උපත ලැබීය. රදාවාන පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනයට 1943 වසරේදී ලලිත කලායතනයට ඇතුළත් විය. සහජයෙන් උරුම වූ සොඳුරු නිපුණතාවන් තීව්‍ර කර ගැනීමෙහිලා එමගින් ඔහු ලද පෝෂණය හා ශික්ෂණය සුළුපටු නොවේ. අනතුරුව නිට්ටඹුවේ ගුරු විද්‍යාලයෙන් පුහුණුව ලද හෙතෙම 1951 වසරේදී රාජගිරියේ හේවාවිතාරණ රජයේ පාසලේ චිත්‍රකර්ම ගුරුවරයා ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කළේය. පසු කලෙක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කිරීමට ද ඔහුට අවස්ථාවක් ලැබිණි. ‘ධවල සේනාංකය’ කෘතිය සිංහලට පරිවර්තනය කළේ මේ වකවානුවේය. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයීය චිත්‍රකර්ම කථිකාචාර්ය පදවිය දරමින්, සෞන්දර්යකාමී ගුරු පරපුරක් බිහි කරලන්නට ද ඔහු ගත් ප්‍රයත්නය ප්‍රශස්තය. 1963 සැප්තැම්බර් 5 වැනිදින හේ කුසුමලතා මෙණෙවිය සමඟ යුග දිවියට පිවිසියේය. පාටලි, නිරූපමා, සල්මාලි, රවින්ද්‍ර යන දූ පුත්තු සේකර යුවළගේ දිවි ගමනට අරුතක් එක්කළහ.

    සේකර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදක ධුරයට 1960 වසරේ පෙබරවාරි 1 වැනි දින පත් වන්නේ දෛවෝපගත සිදුවීමක් ලෙසිනි. ඒ ඔහුගේ දිශානතිය මාධ්‍ය ක්ෂේත්‍රය වෙත යොමු කරවමිනි. මේ වන විට අමරදේව සූරීන් ගුවන් විදුලියේ වාද්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස සංගීත අංශය නැවුම් මාවතකට යොමු කරවීමේ ප්‍රයත්නයේ නිරතව සිටියේය. 60 දශකයේ අවසාන භාගයේ මා ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකයකු ලෙස සේවයේ නිරත වී සිටීම නිසා ඔහු නිෂ්පාදනය කළ ඇතැම් මධුවන්ති ගී වැඩසටහන්හි හඬ පාලනයෙන් එම වැඩසටහන් සාර්ථක කරගැනීමට කිසියම් දායකත්වයක් දීමට මම බෙහෙවින් ම භාග්‍යවත් වීමි. උත්තර භාරතයේ රාග පද්ධතියේ මධුවන්ති රාගය සැලකිල්ලට ගනිමින්, සේකර අමරදේව සුසංයෝගය නිෂ්පාදිත නව්‍ය සංගීත වැඩසටහන මධුවන්ති ලෙස නම් කිරීමට ඔවුහු පෙලඹුණහ. අමරදේවයන් ගුවන් විදුලි ගීත සාහිත්‍ය මුල් වතාවට භාව පූර්ණ, සුනිශිත, සුගායනීය ශක්‍යතාවෙන් පිරිපුන් කලාවක් ලෙස හැඩතල ලබන්නේ වැඩසටහන් සම්පාදක මහගමසේකරයන්ගේ නිර්මාණශීලිත්වයෙනි. හැටේ දශකයේ මුල් භාගයේ ගුවන් විදුලි වහල යටදී සේකර සහ අමරදේවයන් අතර ඇතිවූ අනූපමේය ළෙන්ගතු ස්වභාවය කෙතෙක් ද යත්, සේකරයන්ගේ හදිසි වියෝව සැලවූ අමරදේවයන් ‘සේකරගෙන් තොර මගේ දිවිය පදවැල ගිලිහුණු ගීතයක් සේ මට දැනේ…’ යනුවෙන් බිඳුණු ස්වරයෙන් මිමිණු බැව් පැවසේ.

    ‘මධුවන්ති’ ගුවන් විදුලි සංගීත වැඩසටහන් මාලාව, සේකර සූරීන්ගේ මනස්හි පිළිසිඳී ව්‍යක්ත කාව්‍යමය සංකල්පනාවන්, භාවපූර්ණ ස්වර දැහැනින් වර්ණවත් වී අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුණු ගීත සමුදායකින් පෝෂණය විය. ‘මළ හිරු බස්නා සැන්ඳැ යාමේ’, ‘පාළු අඳුරු නිල් අහස මමයි’ වන් ගීතයන් මුළුමහත් විශ්වයම පුරා පැතිරී පාළු ශෝකී ස්වභාව ධ්වනිත කරවන්නේ අප හදවත්හි ගැඹුරුම ස්ථානයන් ස්පර්ශ වන පරිද්දෙනි. සිංහල ගීත වංශයේ අග්‍රගණයේ ගී සේකරයන්ගේ අතින් නිර්මාණය වී ශ්‍රාවක පිරිස් අමන්දානන්දයට පත් කළේ ගුවන් විදුලි මධුවන්ති වැඩසටහනිනි. පරිසමාප්ත සුභාවිත ගීතයක් නිර්මාණය වන්නේ රචකයා,සංගීතවේදියා සහ ගායකයා යන සුසංයෝගයේ විභවතාවෙන් බව හේ මැනවින් පසක් කරගෙන සිටියේය.

    යුනෙස්කෝ සංවිධානයෙන් ලද ශිෂ්‍යත්වයක් මත සේකරට නිව්යෝර්ක් වෙත යෑමට වරෙක අවස්ථාවක් උදා විය. මවුබිමින් යොදුන් දහස් ගණනක් දුරු රටක තනි වූ ඔහු සිය පාළුව, තනිකම මකාගන්නට, සැඳැල්ලේ කවුළුවෙන් හිස් අහස දෙස නෙතු යොමු කළේය. අහසේ මෝදු වෙමින් පැවති සඳවතිය දුටු සේකරගේ පාළුව සාංකාව පහව ගියේය. ඒ ඇසුරෙන් ඔහු නව්‍ය නිර්මාණයක් කඩදාසියක සටහන් කළේය.

    ‘දිලිහි දිලිහි ආකාසේ රන් පිඟාන සේ 
    සඳ මා දන්නා හඳුනන 
    අපේ ගමේ වෙල් එළියට පායන සඳ 
    පෝයදාට බෝ මළුවට පායන සඳ…’

    කවියා ඈත එපිට දේශයක, නුහුරු නුපුරුදු සංස්කෘතියකට මැදිව සිටිය ද තම හුරුපුරුදු ජන්ම භූමියේ පරිසරය පිළිබඳ මතක සුවඳ ආශ්‍රිතව ලද හැකි අහ්ලාදජනක ආස්වාදය ඔහු තත් නිර්මාණයෙන් තීව්‍ර ලෙස ප්‍රකට කරවන්නට සමත් වෙයි.

    ඔහුගේ නිර්මාණ කුසලතාව කාව්‍ය හා ගීත ක්ෂේත්‍රයට පමණක් සීමා නොවීය. නවකතා, සිනමාකරණය පමණක් නොව සිතුවම් යන ක්ෂේත්‍රයන් පුරාවට ද සිය නිර්මාණශීලි බුද්ධි මහිමය පැතිරවූ කලාකරුවකු ලෙසින් ඔහු ජාතියේ මහත් සම්භාවනාවට පාත්‍ර වේ.

    සේකර සිය නිර්මාණාත්මක කාව්‍ය ග්‍රන්ථ අටක් සිංහල සාහිත්‍යයට දායාද කර ඇත. ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි. මක්නිසාදයත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ නම් වූ එම කාව්‍ය ග්‍රන්ථ මාලාව තුළින් සේකරයන්ගේ ප්‍රතිභා පූර්ණ කවිත්වය මැනවින් ප්‍රකට වේ. ඔහු සිය කාව්‍යමය සංකල්ප සහෘදයාගේ රසවින්දනය තීව්‍ර කිරීම පිණිස ජනකවියේ ආකෘතිය සාර්ථකව උපයෝගී කරගත් කලාකරුවකු ලෙස ද බුහුමනට බඳුන් වේ. ‘ඉරට මුවාවෙන්’, ‘කන්ද උඩින් එන…’, ‘පිලේ පැදුර…’ වැනි නිර්මාණ ඊට උදාහරණ ලෙස ගෙන හැර දැක්විය හැකිය. මහගමසේකර තමාගේ හැම පද්‍ය කෘතියකම පාහේ මරණය තේමාව කරගත් පද්‍ය පන්තියක් ඇතුළත් කිරීමට විශේෂ උනන්දුවක් දක්වා ඇති බව එම කෘතීන් පරිශීලනය කරන්නකුට පැහැදිලිවම පෙනෙන ලක්ෂණයකි. ‘නොමියෙමි’ නම් පද්‍ය සංග්‍රහයේ, ඔහු මුහුකුරා ගිය කාව්‍යමය දෘෂ්ටිකෝණයකින් මරණය විමංසනය කරයි. මෙහිදී කවියා මරණය දකින්නේ මුළුමහත් විශ්වය පුරා පැතිරී ප්‍රකෘති සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසිනි. මහගමසේකර සිය ‘නොමියෙමි’ කෘතියේ ජීවිතය හා මරණය අතර පවත්නා සදාතනික සබැඳියාව මහත් අනුවේදනීය අයුරින් මතුකර දක්වයි.

    මහගමසේකරයන් පිළිබඳ ලියැවුණු මේ සමරු සටහන අවසන් කිරීමට පෙර විශේෂ ආයාචනයක් ද සනිටුහන් කිරීමට අදහස් කළෙමි.

    මේ මහා කවියා අවසන් නින්දේ පසුවන රදාවාන තුන්මං හන්දියේ පිහිටි සොහොන් කොත වල්බිහිවී, කටුකම්බි වැටකින් අල්ලක් වන් කුඩා බිම් කොටසකට සීමා වී වල්බිහි වී තිබෙනු දක්නට ලැබීම මහත්ම ඛේදයකි. මේ සෞන්දර්යකාමි කවියාගේ සොහොන් කොත පිළිසකර කරවා, කටු කම්බි ඉවත් කරවා, ප්‍රමාණවත් ඉඩක් සහිත දැකුම්කලු උද්‍යානයක් නිර්මාණය කිරීම කෙරෙහි ද, මෙතුමාගේ ජීවමාන පිළිරුවක් එහි නිර්මාණය කිරීම කෙරෙහි ද රජයේ කාරුණික අවධානය යොමු කරවනු රිසියෙමි.

    ආචාර්ය ගාමිණී කාරියවසම්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here