හද සනහන යුදඟනාව

    0
    9

    පෙර රජදවස හරියටම කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 300 තරම් ඈත කාලයේදී මහානාග රාජ්‍ය පාලන සමයේ ඉදි කළ බවට සැලකෙන වෙල්ලස්ස සශ්‍රික කරන්නට කෙත්වතුවලට අවැසි ජලය සපයා දෙන්නට ඉදි වූ සුන්දරත්වයෙන් අනුන වැවක් ගැන කතාවක් කියන්නයි අපි අද සුදානම් වෙන්නේ.

    කෙනකු වරක් ගිය හොත් නැවත වරක් යන්නට තරම් සිත් දෙන අපූරු ස්ථානයක් බව අප කියනවාටත් වඩා එහි යන ඕනෑම කෙනකුට ඒ ගැන සිතට එන්නේ නිරායාසයෙන්.

    වැල්ලවාය මොනරාගල මාර්ගයේ යුදඟනාව හංදියට නුදුරින් පිහිටි උණාවටුන පංසල ආසන්නයෙන් ඇති ගුරුපාර දිගේ මිටර් 150ක් පමණ ඇතුළට වන්නට පිහිටා ඇති මෙම වැව වෙල්ලස්සේ ඇති සුවිශේෂ වැවක් කිව්වොත් නිවැරදියි.

    වැවයි දාගැබයි කෙතයි යන සංකල්පයට කදිම නිදසුනක් වෙමින් නිර්මාණය වි ඇති වැව යුදඟනාව වැවයි.

    දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොහොයුරන්ගේ සටන සිහිවිම වෙනුවෙන් ඉදිකළ බවට ඉතිහාසයේ සඳහන් වන ඌව පළාතේ පිහිටි විශාලතම චෛත්‍යය වන ඓතිහාසික යුධගනා චෛත්‍යය ගොඩනැඟීම සඳහා අවශ්‍ය වු ගඩොල් කපා ඇත්තේ මේ වැවෙන් බව සඳහන් වෙන්නේ ඉතිහාස පොත්පත්වලයි. පස් ගත්තට පස්සේ මේ වැව ඉදි කළ බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා.

    කොහොම වුණත් අනෙක් වැව්වලට වඩා අපූරු සුන්දරත්වයක් මේ වැව ළඟට ආවම දකින්නට පුළුවන්.

    වැව වටා පිහිටි මාර ගස් සෙවණ ගෙන එන්නේ අපුරු සිරියාවකි. බොහෝ දුර බැහැරින් එන පිරිස් දිය නෑමට තෝරා ගන්නා වැවක් ලෙස මේ වැව ප්‍රසිද්ධයි.

    වැවේ එක් පැත්තක කුඩා දුපතක් දකින්නට හැකි අතර තවත් පැත්තක ඇත්තේ ගල් පර්වතයක්. විසේ තියෙන කොල්ලෝ ආවම පීනලා ඒ ගලට යන්න හදනවා. නමුත් වැව දැන් හාරලා සංවර්ධනය කරලා තියෙන නිසා කොතැනද ගැඹුරු කියලා පිටින් එන අය දන්නේ නෑ. ඒක නිසා ඒක අවදානම් වැඩක් කියලා මුලින්ම කියන්න ඕනෑ.

    තවත් දෙයක්, සමහරු වැවට ඇවිල්ලා මත්පැන් පානය කරලා වතුරට පනිනවා. පසුගිය කාලය පුරා එහෙම ඇවිල්ලා හිතුමතේ වැවට පැනපු කිහිපදෙනකුගෙ ජිවිත නැති වුණේ වැව් පතුලේ නතර වෙලා. ඒක නිසා මත්පැන් පානය කරලා වැවේ සෙල්ලම් කරන එකත් අනතුරුදායකයි.

    ඉතිං සුන්දරත්වය විඳින්න ඇවිල්ලා විඳවන්න සිදුධ වුණොත් ඒක හරිම වේදනාවක් වෙනවා. ඒක නිසා සතුටින් නාලා කාලා විනෝද වෙලා යන ගමන් ඓතිහාසික යුදඟනා චෛත්‍යයත් වැඳගෙන යන්න කියලා ආරාධනා කරනවා.

     

    ජී.අයි.ආර්. ගරුසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here