හරිත කොදෙව්වේ වන රජ දහන

    0
    6

    සිංහරාජය

    ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතරින් මුල් ස්ථානයක් හිමි කර ගැනීමට අප රටට හැකි වී තිබෙන්නේ ලංකාව පුරා විසිරී පවතින විවිධ පාරිසරික දේශගුණික ලක්ෂණයන්ගෙන් යුත් වනාන්තර පද්ධතිය නිසා‍ය’ මෙරට භූමිය ස්ථායීව පවත්වා ගනිමින්, ජෛව හා පාරිසරික පද්ධති විවිධත්වය රැක ගනිමින්, සොබා සෞන්දර්ය ඔප් නංවමින් එකිනෙකට වෙනස් ස්වභාවයෙන් යුතු වනාන්තර රට පුරා විසිරී පැවතිය ද ඒ සියල්ල අතරින් ප්‍රධානම වනාන්තරය ලෙස සැලකෙන්නේ පහත රට තෙත් කලාපය වසාගත් මෙරට විශාලම වනාන්තරය වන සිංහරාජ වනාන්තරයයි. මෙරට වනාන්තර අතර අග රජු ලෙස වැජඹෙන සිංහරාජය අතීතයේ සිටම ලොව පුරා ප්‍රකට වූ වනාන්තරයකි. අධික ශාක හා සත්ත්ව විශේෂ විවිධත්වය, අඳුරු පරිසර පද්ධතිය සහ ගුප්ත බව රජකුට හිමි අභිමානයක් හා ගාම්භීර බවක් සිංහරාජයට එක් කරයි. ඒ අභිමානය සමඟින් හාත්පස වසා ගත් හරිත වර්ණය සහ පිනි විසිරෙන තුරු පත් අතරින් නැඟෙන මිහිඳුම් සේලයෙන් වැසුණු සොබා දහමේ විචිත්‍රත්වය මෙරට ප්‍රධානම වන පියස වන සිංහරාජයට සෞන්දර්යාත්මක හැඩයක් ලබා දෙයි.

    සිංහලයන්, සිංහල ජාතිය හා සිංහරාජ්‍ය පිළිබඳ බැඳුනු ජනකතා රැසකට තිඹිරිගෙය වෙමින් සාඩම්බර අතීතයට හිමිකම් කියනා සිංහරාජය ලංකාවේ පෙණහලු ලෙස ක්‍රියාකර රටටම ජීවන හුස්ම පිඹිමින්, ලංකාවේ හදවත ලෙසින් මහා ජලකඳක් පෝෂණය කර බෙදා හරියි. මෙය ලක්ෂ සංඛ්‍යාත ශාක හා සත්ත්ව ප්‍රජාවකට නිවෙසක් වෙමින්, සුන්දරත්වය විඳීමට මනරම් සංචාරක මධ්‍යස්ථානයක් වෙමින් මහා ජෛව පාරිසරික පද්ධතියක් ලෙස ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා තිබේ. අතීතයේ සිංහරාජය තෙත් කලාපයේ විශාල භූමියක් වසා පැතිරී පැවති බව සඳහන් වන අතර වර්තමානයේ සිංහරාජය වටා පවතින පරිවාර වනාන්තර එසේ පැවති බවට ජීවමාන සාක්ෂි දරයි. රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙහිම පැතිරී තිබෙන සිංහරාජය වර්තමානය වන විට කිලෝමීටර් 21 ක දිගකින් සහ කිලෝමීටර් 7 ක උපරිම පළලකින් සහ කිලෝමීටර් 3ක අවම පළලකින් යුතු පටු තීරයක් ලෙස පවතින හෙක්ටයාර් 11187 ක විශාලත්වයකින් යුත් නිවර්තන තෙත් කලාපීය සදාහරිත වැසි වනාන්තරයකි.

    සිංහරාජය උතුරින් නාපොළ දොළ හා කොස්ගුලන ගඟටද, දකුණින් මහ දොළ හා ගිං ගඟටද, බටහිරින් කළුකන්දාව ඇළ හා කුඩව ගඟටද, නැගෙනහිරින් මෝනිං සයිඩ් වතුයායට ද මායිම්ව පිහිටයි. මුහුදු මට්ටමේ සිට මීටර් 90 -1200 උච්චත්වයකින් සහ 100 හා 350 අතර බෑවුම් ප්‍රදේශයන්ගෙන් සමන්විත සිංහරාජයෙහි මීටර් 1171 වන හිනි පිටිගල කන්ද උසම ස්ථානය ලෙස සැලකෙන අතර සිංහ ගල, මුලාවැල්ල, කොස්ගුලන කඳු ඇතුළු මීටර් 600කට වඩා උස කඳු මුදුන් 08කින් පමණ සමන්විතය. ඉතා ඉහළ උසකට වැඩුණු ශාකවලින් සමන්විත, ඉහළ ශාක ඝනත්වයකින් යුත් කඳු මුදුන්වලින් හෙබි නිවර්තන වර්ෂා වනාන්තරයක් වන සිංහරාජයට වසරේ සෑම දිනකම වර්ෂාව ලැබේ යැයි අපේක්ෂිතය. සිංහරාජයෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3000 – 6000 පමණ වන අතර මැයි සිට ජූලි දක්වා නිරිත දිග මෝසම් වැසිත්, නොවැම්බර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසිත් ලැබේ. වියළි කාලගුණයක් නොමැති තරම්ම වන සිංහරාජයෙහි අඩුම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරි මාසයේ පවා මි.මී.189ක පමණ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. සෙන්ටිග්‍රේඩ් අංශක 18-27 අතර උෂ්ණත්වයක් පවතින සිංහරාජයෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය ද 75-80 වැනි ඉහළ අගයක් ගනී. රතු කහ පොඩ්සොලික් පස සිංහරායේ බහුලව දක්නට ලැබෙන අතර සිංහරාජය ද අනෙකුත් වැසි වනාන්තර මෙන් ඉහළ නිෂ්පාදන ධාරිතාවක් සහිත පරිසර පද්ධතියකි. මේ නිසා මෙහි ඇති පෝෂක කොටස් ශාක ප්‍රජාවගේ ජීවී පටක තුළ පවතින අතර ශාක ප්‍රජාව පසේ නිසරු බව සඟවා තබයි.

    මෙවැනි පාරිසරික ලක්ෂණයන්ගෙන් සමන්විත සොබා දහමේ විශ්මිත නිර්මාණයක් වන සිංහරාජ වනාන්තරය පාරිසරික, විද්‍යාත්මක, ආර්ථික, අධ්‍යාපනික මෙන්ම කලාත්මක වශයෙන් ද අද්විතීය ස්ථානයක් හිමිකර ගනු ලබයි. ශාක සහ සත්ත්ව විශේෂ රැසකින් යුත් ජෛව සම්පත් නිධානයක් ලෙස සැලකිය හැකි සිංහරාජය මිනිස් පහස අඩුවෙන්ම ලද නොයිඳුල් වනාන්තරයක් ලෙස සැලකේ. සිංහරාජය පෘථිවිය බිහි වීමෙන් පසුව ඇති වූ ස්වාභාවික වනාන්තරයන්ගෙන්ම පැවත එන බව සැලකෙන බැවින් ඇමේසන්, කොංගෝ වැනි ප්‍රාථමික වනාන්තරයක් ලෙසටද සිංහරාජය හඳුනාගෙන තිබේ. මෙරට අනෙකුත් වනාන්තර මුල් වනාන්තර විනාශයෙන් පසු ඇති වූ ද්විතීයික වනාන්තර වන අතර සිංහරාජයේ විශාල වනාන්තර ප්‍රමාණයක් ආදි වනාන්තරයන්ගෙන් පැවතෙන ඒවා වෙයි. ලෝකයේ ආදී කාලීන වනාන්තර අතලොස්සෙන් එකක් වන මෙම සිංහරාජයෙහි ශාක හා සත්ත්වයන් පරිණාමයේදී ආදී යුගයේ සිට වර්තමානය දක්වා නිරන්තර පරිණාමික වෙනස්කම්වලට භාජනය වී ඇති බැවින් මෙහි ජෛව හා පාරිසරික විද්‍යාත්මක වැදගත්කම ඉතා ඉහළය.

    මෙරට මෙන්ම ලෝකයේ ද ජෛව විවිධත්වය අධිකම ස්ථානයක් ලෙස සැලකෙන සිංහරාජය මෙරටට ආවේණික ඒක දේශික ශාක හා සත්ත්ව විශේෂ රැසකටම වාසස්ථාන සපයයි. හෙක්ටයාර් එකක් තුළ සියලු ප්‍රමාණවල ශාක 240000 ඇති බවට ගණන් බලා ඇති සිංහරාජයේ තෙත් වර්ෂා වනාන්තරයක ලක්ෂණ ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය. සිංහරාජයෙහි ශාක ප්‍රජාවෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණ වන්නේ ප්‍රමුඛ ශාක පිහිටීම, ඒවා වියන් ස්තරයෙන් ඉහළට විහිදී තිබීම සහ ශාක සෘජුව පැවතීමය. ස්තරීභවනය සිංහරාජය තුළදී පැහැදිලිව හඳුනා ගත හැකි අතර එහිදී නෙරු ස්තරය, වියන් ස්තරය, උපවියන් ස්තරය, යටි වියන් ස්තරය හා බිම් ස්තරයේ ශාක පැහැදිලිව වෙන්කොට හඳුනා ගත හැකිය. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ විශාල සංඛ්‍යාවක් වාර්තා වන අතර මෙරට හමුවන ශාක ගණ 18 අතුරින් 13ක්ම සිංහරාජය තුළ හමු වේ. වනය තුළ දැවමය ශාක විශේෂ 340ක් පමණ හමු වන අතර ඉන් 192ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාක වේ. මේ අතරින් විශේෂ 15ක් සිංහරාජය තුළ පමණක් හමුවන ශාක විශේෂ වීම විශේෂත්වයකි. වනයේ මුළු ශාක ආවරණයෙන් 75-92 අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒක දේශික ශාක වීම සිංහරාජයේ ඇති වටිනාකමට ප්‍රබල සාක්ෂියකි. සිංහරාජය තුළ හමුවන බොහෝ ඒක දේශීය ශාක දුර්ලභ ශාකයන් වීම ද විශේෂත්වයකි. උප වියන් ස්ථරයේ ඇති ශාක විශේෂ අතුරින් 98ක් සහ යටි වියන් ස්තරයේ හමුවන ශාක විශේෂ අතරින් 85ක්ම දුර්ලභ හෝ වඳවීමේ අවදානමට ලක්ව ඇති හෝ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ වේ.

    සිංහරාජය සුවිශේෂී ශාක විවිධත්වයකට මෙන්ම සත්ත්ව විවිධත්වයකට ද හිමිකම් කියයි. සිංහරාජය තුළ පෘෂ්ඨවංශී විශේෂ 259 හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 73ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික විශේෂයන් වේ. සිංහරාජයේ හමුවන පක්ෂි විශේෂ 147 අතුරින් විශේෂ 25ක්ම ඒක දේශික විශේෂ වන අතර විශේෂ 29 වඳ වීමේ තර්ජනයට මුහුණ පා තිබේ. මෙහි හමුවන උභය ජීවි විශේෂ 28 අතුරින් විශේෂ 20 ඒක දේශික විශේෂ වන අතර විශේෂ 19 ක් වඳ වීමේ තර්ජනයට මුහුණ පා තිබේ. මෙහි සමනල විශේෂ 65ක් පමණ හමුවන අතර ඉන් විශේෂ 19 ක්ම ඒක දේශික විශේෂ වේ. උරග විශේෂ 45 මෙහි හමු වන අතර ඉන් 21 ශ්‍රී ලංකාවට ආවේණිකය. ක්ෂීරපායී විශේෂ 40 පමණ සිංහරාජයේ වාර්තා වන අතර ඉන් විශේෂ 8 මෙරටට ආවේණික විශේෂයන්ය. සිංහරාජය ගිං සහ කළු ගංගාවන්හි ප්‍රධාන පෝෂණ වනාන්තරයක් ලෙස ද ක්‍රියා කරන අතර ඒවායේ අතු ගංගා රැසක් සිංහරාජය තුළින් ආරම්භ වේ. වනය පුරා දිය දහරාවන් විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවායේ ජලය ගලා ගොස් කුඩා අතු ගංගා නිර්මාණය කරයි. එලෙස නිර්මාණය වූ විශාල අතු ගංගාවන් 10ක් පමණ වනය තුළ පවතින අතර මෙම ජල මාර්ග ආශ්‍රිතව ඉහළ ජලජ ශාක හා සත්ත්ව විවිධත්වයක් පවතී. සිංහරාජයේ ඉහළ මත්ස්‍ය විවිධත්වයක් පවතින අතර මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂයන් කිහිපයක් ද මෙහිදී වාර්තා වී තිබේ.

    වර්තමානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන සිංහරාජය අතීතයේ සිටම රජය මඟින් ආරක්ෂා කරන ලද වනාන්තරයකි. සිංහරාජ වන බිම පිළිබඳව 1618 දී පෘතුගීසි තෝම්බුවල දක්වා ඇති අතර 1875.05.08 අංක 4046 දරණ ගැසට් පත්‍රය මඟින් හෙක්ටයාර් 2723 (අක්කර 6700) සිංහරාජ මූකලාන ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 1978 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1988 දී අංක 03 දරන ජාතික උරුම වන භූමි පනතක් යටතේ ජාතික උරුම වන භූමියක් ලෙස පත් කරන ලද සිංහරාජය 1989දී ලෝක උරුම වන භූමියක් බවට ද පත් කොට තිබේ.

    සිංහරාජය මිනිසාගේ බලපෑමට ලක් නොවූ ප්‍රාථමික වනාන්තරයක් වන නමුත් දැව හෙලන ලද වනාන්තර, ලඳු කැලෑ සහ මීවන බිම් වලින්ද වර්තමාන සිංහරාජය සමන්විත වේ. 1972 -1977 අතර කාලය සිංහරාජයේ අමිහිරිම කාලය වූ අතර මහා ජන විරෝධතාවයක් මැද සිංහරාජයේ ද වරණීය දැව හෙලීම සිදු කරන ලදි. එහිදී හෙක්ටයර් 2025 දැව ඉවත් කිරීම සිදු කරන ලද අතර පසුව එම කොටස් යළි වර්ධනය වී ද්වීතියික වනාන්තර ලෙස සිහරාජයටම එක් වී තිබේ. සමස්ත සිංහරාජයම ප්‍රාථමික වනාන්තර ලෙස හඳුන්වන නමුත් මෙම දැව හෙළීම නිසා සැබැවින්ම සිංහරාජ ප්‍රාථමික හා ද්වීතියික වනාන්තරයන්ගේ එකතුවකි. මේ වන විට සිංහරාජයේහෙක්ටයාර් 11187න් හෙක්ටයාර් 8877 එනම් මුළු වන ප්‍රමාණයෙන් 79.35 ප්‍රාථමික වනාන්තර වන අතර හෙක්ටයාර් 2025 එනම් මුළු වන ප්‍රමාණයෙන් 18.11 ද්විතීයික වනාන්තර වේග හෙක්ටයාර් 285 එනම් මුළු වන ප්‍රමාණයෙන් 2.54 විවෘත වනාන්තර ලෙස පවතී.

    නොයිඳුල් ප්‍රාථමික වනාන්තරයක් ලෙස ලොව පුරා ප්‍රකට වූ සිංහරාජය අද වන විට දෙස් විදෙස් ජනප්‍රිය සංචාරක ස්ථානයක් බවට ද පත්ව තිබේ. මේ නිසා සිංහරාජයේ බාහිර මායිම් භාවිත කරමින් සංචාරක කටයුතු ප්‍රවර්ධනය සිදු කොට ඇති අතර වනය තුළ ඇති අඩි පාරවල් සහ ස්වාභාවික මං පෙත් ඔස්සේ වනයේ සුන්දරත්වය විඳීමේ අවස්ථාව ද හිමි කර දී තිබේ. ඒ සඳහා ලංකාගම, කුඩවල පිටදෙණිය, මෝනින් සයිඩ් වැනි පිවිසුම් ස්ථාන සකසා සංචාරකයක්ට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

    මෙවැනි වටිනාකමක් සහිත සුන්දරත්වයෙන් අනූන වන පියසක් වුව ද මානව ක්‍රියාකාරකම් නිසා සිංහරාජය ක්‍රමයෙන් හායනය වෙමින්, ආවේණික ජීව විශේෂ වඳ වෙමින් විනාශය කරා ළං වෙමින් තිබේ. ඉඩම් අල්ලා ගැනීම, මැණික් ගැරීම, වනජ ද්‍රව්‍ය එකතු කිරීම, සතුන් දඩයම් කිරීම වැනි හානිකර මානව ක්‍රියාවන් සිංහරාජයට බලවත් තර්ජනයක් එල්ල කරයි. සිංහරාජයේ ජෛව විවිධත්ව හායනයට හොඳම නිදසුන වන්නේ සිංහරාජයට ආභරණයක් වූ තෙත් කලාපීය ඇත් පරපුර සිංහරාජයට අහිමි වීමයි. අතීතයේ සිංහරාජය සුන්දර කළ අලි ඇතුන් වඳ වී ගොස් මේ වන විට ඉතිරි වී සිටින්නේ අලින් දෙදෙනකු පමණි. මෙලෙස විශාල ජෛව විවිධත්ව හායනයක් සිංහරාජය තුළ සිදුව තිබේ. ලෝකය බිහි වූ දා පටන් පවතින ප්‍රාථමික වනාන්තර ලොව ඉතා දුලභය. එවැනි එක් වනාන්තරයක් මෙරට ඉතිරි වී තිබීම සමස්ත ලෝකයාම ලැබූ භාග්‍යයකි. එබැවින් මේ සිංහරාජයා ආදරයෙන් රැක බලා ගැනීම ජාතික වගකීමකි.

     

    මූලාශ්‍රය – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

    අසිරු වේදිත කරුණාරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here