හෙරළි රසින් පෙරළි කරන නිල්මිණී

    0
    5

     

    නිවෙසක උයන පිහන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඒ රසටම උයා පිහා බෝතල්වල අසුරා වෙළෙඳපොළේ දකින්නට තිබේ නම් රැකියාවට යන බොහෝ කාන්තාවන් ඉන් සතුටට පත්වනවා නොඅනුමානය. අද මේ කියන්න යන්නෙත් එවැනි සුභාරාංචියක්. එහෙත් අවසානාවකට තවමත් මේවා අප රටේ වෙළෙඳපොළේ දක්නට ලැබෙන්නේ නැහැ. අප රටේ ගමේ හැදෙන එළවළු, මීගමු වැල්ලේ වේළන කරවල ජීවාණුහරණය කොට රසවත් ආහාරයන් ලෙස සකසා ඉතා සුන්දර ලෙස ඇසුරුම් කොට ශ්‍රී ලංකා නාමය පිටරටට ගෙන යන ඇය කුරුණෑගල නිල්මිණී පෙරේරා ෆර්නෑන්ඩුය.

     

    • ඔබ මොනවද කරන්නේ කියලා ඔබේම වචනවලින් කියන්න.

    මම බෝතල් කෑම (Bottle Food) හදලා පිටරට යවනවා. මස්, මාළු කන්නෙ නැති බොහෝ පිරිසක් විදෙස් රටවල ඉන්නවා. මම ඒ අයව ඉලක්ක කරගෙනයි මේ කෑම වර්ග හදන්නේ.

     

    • ඔබ හදන කෑම වර්ග මොනවද?

    විගන් (vgen) කියලා චිලි පේස්ට් එකක් හදනවා වෙනස්ම විදිහකට. ඒකට දාන්නේ කැලි මිරිස්, තල ඇට, සෙසම් තෙල්, කොත්තමල්ලි කොළ සහ සෝයා සෝස්, සීනි සම්බෝල වර්ග දෙකක් හදනවා වියළි සහ තෙත් යන දෙවිදිහටම. කෙසෙල් මුව, පොළොස් සහ කොහිලඅල වලිනුත් සීනි සම්බෝල හදනවා. ඒවගේම පොළොස් ඇඹුල, කැකිරි ඇඹුල, කරිවිල, ව්‍යංජනය, හාල්මැස්සන් බැදුම, තලපත් කරවල වේළලා බැදුමක් හදනවා. කීරමින් කරවල. තෙල් දැමුම, කොස් ඇට කළුපොල් මාළුව, කොස් ඇට බැදුම, ආයුර්වේදයට අනුව ලුණු දෙහි එකක් හදනවා. ඒක කොලෙස්ටරෝල් දියවැඩියාව කියන අයට ගොඩක් හොඳයි. ඒකට කළු දුරු දාලා තමයි හදන්නේ. සාමාන්‍ය ලුනු දෙහිත් හදනවා. රට ඉඳි, දෙහි දාලා අච්චාරුවක් හදනවා. ඒවගේම කූණිස්සෝ සම්බෝල, කට්ට සම්බෝල, සහ බටු මෝජුත් හදනවා.

     

    • ඔබ මේ දේවල් හදන්න අවශ්‍ය බඩු සපයා ගන්නේ කොහෙන්ද?

    මම ඉන්නෙ කුරුණෑගල. මේ අවට වගා කරන අය ඉන්නවා. ඒ අය බොහොම දුප්පත්. මම ඒ අයගෙන් තමයි එළවළු, කොස්, කොස් ඇට වගේ ඒවා මිල දී ගන්නේ. ඒ අයට කරන උදව්වක් විදියට මම ඒ අයගෙන් ඒ දේවල් මිලදී ගන්නවා වගේම ඒ අයගේ පවුල්වලටත් දරුවන්ටත් උදවු කරනවා. මම හම්බ කරන මුදලින් හැමෝටම සේවයක් කිරීම තමයි මගේ අරමුණ.

    ඒ වගේම ගමේ හැදෙන එළවළුවල වස විස නැහැ. කරවල ගන්නෙ නම් මීගමුවෙ වැල්ලෙ ඉන්න අයගෙන්. මහා පරිමාණ මුදලාලිලාගෙන් නොවෙයි සුළු ව්‍යාපාරික අයගෙන් තමයි ගන්නේ. ඒ අයට කරන උදවුවක් විදිහට. උම්බලකඩ ගන්නෙත් මීගමුවෙන්මයි. කොළඹින් කිසි දෙයක් ගන්නේ නෑ.

     

    • කොස් පොළොස් වගේම ඇතැම් එළවළු වර්ගත් හැම කාලෙටම නැහැනේ. ඒවා කල් තබා ගන්නේ කොහොමද?

    හැම දෙයක්ම ජීවානුහරණය කරනවා. පොළොස් වගේ දේවල් හදලා තියා ගන්නවා. ජීවානුහරණය කළාම අවුරුදු 2ක් වුණත් තියාගන්න පුළුවනි. මම මේ බෝතල් ආහාර ක්‍රමය පටන් ගත්තේ 2016 දී. ඒ කාලෙ හදපුවා තවමත් තිබෙනවා. පුස් ඇවිල්ලාවත් නැහැ.

     

    • මේ වගේ දෙයක් කරන්න ඔබ මුල පිරුවේ කොහොම ද?

    කෑම හදන්න මට හොඳට පුළුවන්. නිකම් ගෙදර ඉන්න නිසා මම හිතුවා Bottle Foods කරන්න. එතාකොට මේ වගේ දෙයක් කවුරුත් කරල තිබුණෙ නැහැ. මගේ ප්‍රදේශයේ අයටත් මට උදව් කරන්න පුළුවනි. මේ නිසා මම මේ දේ පටන් ගත්තා. ඉස්සෙල්ලම ලක්සලට දැම්මා. ඊට පස්සෙ තමයි අපනයනයට අතගැහුවෙ. හැමෝම ඉල්ලුවෙ පිටරට ගෙනියන්න. ඒ අය මේ කෑමවලට බොහොම කැමති වුණා.

     

    • විදෙස් වෙළෙඳපොළේ ඉල්ලුම කොහොම ද?

    ගොඩක් හොඳයි. හැම මාසෙම මම බඩු යවනවා. ඕස්ට්‍රේලියාවට, යුරෝපා රටවලට, කැනඩාවට, අමෙරිකාවට, කොරියාවට , ඉතාලියට, ඩුබායිවලට සහ මැලේසියාවට ඇනවුම් ලැබෙනවා.

     

    • ඔබගේ රසවත් ආහාර ලංකාවෙ අයට දෙන්න කැමැති නැද්ද?

    දැන් ලක්සල වහල නිසා දාන්න විදිහක් නෑ. පෞද්ගලික සුපිරි වෙළෙඳ සල් දෙකකින් ඉල්ලල තිබෙනවා. ඉදිරියේදී ඒවායේ මගේ මේ කෑම වර්ග දක්නට ලැබේවි.

     

    • ඔබ මේ දේවල් තනියමද කරගන්නේ?

    සේවකයන් 10ක් පමණ මා සමඟ වැඩ කරනවා. කුරුණෑගලම තමයි වැඩපොළ තිබෙන්නෙත්. කල් තබා ගන්නා දේවල හෝ කෘත්‍රිම රසකාරක, වර්ණකාරක කිසිවක් භාවිත කරන්නේ නැහැ. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට මගේ කෑම වර්ග සියල්ල යවලා තත්ත්ව සහතික අරගෙන තිබෙන්නේ. කෑමවල කිසිදු බැක්ටීරියාවක් නැහැ. ජීවානුහරණය කරල තිබෙන බවට සහතික කරලයි තිබෙන්නේ.

     

    • ඉදිරියේදී ලංකාවෙම ඉන්න එළවළු ගොවියන් එකතු කරගන්න බලාපොරොත්තුවක් තිබෙනව ද?

    පුළුවනි. දැනටමත් මම පිළියන්දල, බණ්ඩාරගම ප්‍රදේශවලින් කොස් මිලදී ගන්නවා. ලංකාවෙ අනෙක් ප්‍රදේශවලත් ඉන්නව නම් මම ඒ අයගෙන් බඩු ගන්න කැමතියි.

     

    • ඔබේ කෑමවලට විදෙස් වෙළෙඳපොළේ ප්‍රතිචාර කොහොම ද?

    ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. ගෙදර හදන කෑම වගේ නිසා ඒ අය කැමතියි. සැරට කන්න විදේශිකයන් කැමැති නැහැ. තෙල්, ලුණු, මිරිස් අඩුවට තමයි ඒ අය කැමැති. ඒ අයට ඉල්ලන විදියට මම දෙනවා හොඳ ඉල්ලුමක් තිබෙනවා.

     

    • ඔබගේ අනාගත බලාපොරොත්තු?

    මේක හොඳට දියුණු කර ගන්න ඕනෑ. ඊටපස්සේ දුප්පත් අයට අත දෙන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන් දුප්පත් පවුල්වල දරුවන්ට උදවු කරන්න ඕනෑ. ඒ අයටත් අත දීගෙන මමත් නැඟිටින්න උත්සාහ කරනවා. මට රජයෙන් යම්කිසි උදව්වක් ලැබෙනවා නම් හොඳයි.

     

    දුප්පත් අයටත් අත දීගෙන නැගිටින්න හදන නිල්මිණීගෙන් ඔබටත් උදව්වක් අවශ්‍ය නම් හෝ ගෙවත්තේ වැවෙන කොස්, පොළොස්, කරවිල හෝ ඕනෑම දෙයක් ඇයට ලබා දීමට කැමැති නම් [email protected] ලිපිනය ඔස්සේ ඇය හා සම්බන්ධ විය හැකියි.

    චතුමි පිටිපන

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here