අමෙරිකානු කලාපයේ කොරෝනා ආසාදිතයන්ගේ 30%ක වර්ධනයක්

0
34

නවතම  වාර්තා  කියයි

පසුගිය වසරේ ලෝකයේ නව කොවිඩ් ආසාදනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව සමස්ත වශයෙන් සියයට 11ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. පසුගියදා නිකුත් වූ මේ වාර්තාව අනුව අමෙරිකා කලාපයේ නවතම තත්ත්වය අනුව ගෙවුණු සතියේ කොරෝනා ආසාදිතයන් සියයට 30ක වර්ධනයක් පෙන්නුම් කරයි. අමෙරිකා කලාපයේ නව ආසාදිතයන් මිලියන 2.5ක් සහ නව මරණ 38,000ක් වාර්තාවී තිබේ. මෙය පිළිවෙළින් සියයට 30ක සහ සියයට 18ක වර්ධනයකි. මෙයින් වැඩිම දායකත්වයක් දරන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. එය සංඛ්‍යාත්මකව 1,786,773ක් වේ. අමෙරිකාවේ ජනගහනයෙන් ලක්ෂයකට රෝගීන් 540ක් ලෙස ද මේ තත්ත්වය දැක්විය හැකිය. එරට වාර්තාවූ කොවිඩ් මරණ අනුපාතය ජනගහනයේ ලක්ෂයකට 6.2කි’ එනම් එම සතියේ අමෙරිකාවේ සිදුවූ මුළු මරණ ගණන සංඛ්‍යාත්මකව 20,633කි. මේ මරණ අනුපාතය සියයට 20ක වර්ධනයකි.

වත්මන් තත්ත්වය අනුව අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන මිලියන 23ක් වන අතර මුළු කොවිඩ් මරණ ගණන තුන් ලක්ෂ අසූ එක් දහසකි. වසංගතය ආරම්භවී මේ දක්වා කාලය තුළ ලොව එක් දිනකදී එක් රටකින් වාර්තාවූ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වූයේ අමෙරිකාවෙනි. පෙරේදා (12) සවස් වරුවේ වාර්තාවූ එය සංඛ්‍යාත්මකව බලන්නේ නම් 4,197ක් යැයි ජෝන්ස් හොප්කින්ස් විශ්විවිද්‍යාලය වාර්තා කළේය. දෛනික මරණ ගණන 4000 ඉක්මවා ගිය අනෙක් අවස්ථාව වාර්තා වන්නේ ද අමෙරිකාවෙන්මය. ඒ මේ මස 07 වැනිදා වන අතර එය සංඛ්‍යාත්මකව 4,194කි. එම විශ්වවිද්‍යාලයේ දත්ත අනුව පසුගිය සතියේ එරට දිනකට කොවිඩ් මරණවල සාමාන්‍ය අගය 3,223කි.

අමෙරිකාවේ කොවිඩ් එන්නත් දීමේ ජාතික වැඩසටහනේ ප්‍රමාදය සලකා බලා ට්‍රම්ප් පරිපාලනය එන්නතේ දෙවැනි තොගය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි එක්සත් ජනපද සෞඛ්‍ය සහ මානුෂික සේවා ලේකම් ඇලෙක්ස් අසාර් කීවේය. තේරී පත්වී සිටින ජනාධිපති ජෝ බයිඩින් ද එන්නත් දීමට මූලිකත්වය දෙන තම සැලැස්ම ඉදිරිපත් කර ඇත. අමෙරිකානු රෝග පාලනය කිරීමේ සහ වැළැක්වීමේ ආයතනය අනාවරණය කරන පරිදි මිලියන 9කට එන්නත දී ඇති අතර එන්නත් මිලියන 27ක් බෙදා හැර තිබේ. මේ අනුව බෙදා හැරි එන්නත්වලින් තුනෙන් එකක් මහජනතාවට දී තිබේ.

නෝර්ත් ඩැකෝටා, වෙස්ට් වර්ජිනියා, කනෙක්ටිකට්, සවුත් ඩැකෝටා, මොන්ටානා සහ ටෙනිසි ප්‍රාන්තවල බලධාරීන් පවසන්නේ තමන්ට හමුවූ ඇනවුම්වලින් අඩකට වඩා භාවිත කළ බවයි. අර්කන්සාස්, ජෝර්ජියා, ඇලබාමා, හවායි, වර්ජිනියා, ඉඩාහෝ සහ කැලිෆෝනියා ප්‍රාන්තවල බලධාරීන් තමන්ට ලැබුණු එන්නත්වලින් හතරෙන් එකක් මේ වන විටත් භාවිතයට ගෙන ඇත.

අමෙරිකාවේ කොරෝනා එන්නත් දීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පිහිටුවා ඇති වාප් ස්පීඩ් මෙහෙයුමේ වේගවත්භාවය මඳ වීම ගැන මතුවී ඇති ප්‍රශ්නය ගැන අදහස් දක්වන නිරීක්ෂකයන් පවසන්නේ සෞඛ්‍ය සේවකයන්ට සහ සාත්තු නිවාසවල සිටින නේවාසිකයන්ට මුලින්ම එන්නත දීමට ගෙන ඇති විධි විධානවලට සෞඛ්‍ය බලධාරීන් මුල්තැන දීම නිසා රෝගය වැළැඳී ඇති අනෙක් අයට එන්නත් දීම ප්‍රමාද වන බවයි. කොවිඩ් මර්දනය කිරීමට එන්නත බෙදාදීම වේගවත් විය යුතු බව ඔවුහු අවධාරණය කරති.

බුද්ධි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here