උතුරු – නැඟෙනහිර බෞද්ධ උරුමය

    0
    5

    වසර 2500කටත් එහා ගිය ඈත අතීතයකට හිමිකම් කියන ලංකාද්වීපයේ උතුරු – නැගෙනහිර පිහිටි ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථාන හා පුරාවස්තු ක්‍රමිකව වැනසී ගිය බව හෝ වැනසී යමින් පවතින බව නොරහසකි. කාලයක් තිස්සේ ජනශූන්‍ය වීම නිසා ද, එනිසා වන ගහනයෙන් වැසී යාම නිසා ද, පසුව යළි ජනපදකරණයට ලක් වීම හේතුවෙන්ද, පුරාවස්තු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීම නිසා ද, යටත් විජිත යුගයේදී ආක්‍රමණශීලින්ගේ හා මෑත කාලයේදී ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවීම නිසා හිතාමතා ද ඒ අතීත පුදබිම් හා නටබුන් විනාශය සිදු විය. මේ ලිපියෙන් අනාවරණය කෙරෙන්නේ බොහෝ දෙනා නොදන්නා එදා උතුරු නැගෙනහිර තිබූ බොදු උරුමය පිළිබඳ තොරතුරුය. බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්) ඇසුරින් සහ උපද්‍රවයට ලක්වූ මෙරට සංස්කෘතික වස්තු ඒ හානියෙන් බේරා සංරක්ෂණය කරන මෙන් මීට වසර 38කට පෙර ප්‍රංශයේ යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත යැවූ ලිපි අනුසාරයෙන් මේ ලිපි පෙළ සැකසෙයි.

     

    උතුරු නැගෙනහිර පුරාවස්තු රැක ගැනීම පිළිබඳව 1983 ඔක්තෝබර් 07 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඇමැති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මෙසේ කීය.

    “එදා මේ රට බෙදා තිබුණේ, අද වගේ පළාත් නවයකට නොවෙයි.මේ රටේ ජනතාව හැමදාමත් තමන්ගේ වහලුන් වශයෙන් තබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් අධිරාජ්‍යවාදීන් විසින් ‍ෙකරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි. මේ රට පරිපාලනමය වශයෙන් පළාත් නවයකට බෙදනු ලැබීම. නමුත් ඊට කලින් මේ රට ‍බෙදා තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනුයි. කිසිම සැකයක් නැතිව පිළිගන්නට පුළුවන් ආකාරයෙන් අපට ඒ ත්‍රිසිංහලයේම ඉතිහාසය ගොළු බසින් කියනවා. සෙල් ලිපි මුනි වතින් පවසනවා. උතුරුකරයේත්, නැගෙනහිරත් හැම පැත්තක්ම ඇතුළුව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මුළු ලංකාව පුරාම සිංහල බෞද්ධ සංස්කෘතියක් පැතිරී තිබුණාය කියා.

    නැගෙනහිර ප්‍රදේශයේ පුරාවිද්‍යා සිතියම් ගෙන බැලුවොත් අදත් අපට පෙනෙනවා පුරාවිද්‍යා භූමියක් නැති කිසිම බිම් අඟලක් ඒ ප්‍රදේශයේ නැතැයි කියන්න පුළුවන් තරමින් ඒ ප්‍රදේශය පුරා පුරාවිද්‍යා භූමි තිබෙන බව. ඒ වගේමයි උතුරුකරයේත්, මේ රට බෙදීමට, මේ රට දෙකඩ කිරීමට උපක්‍රම යොදන පිරිසක් මේ රටේ බඩ ගෙඩිය තබාගෙන ඔළුගෙඩිය වෙනත් රටක තබාගෙන ඉන්න පිරිසක් මෑතක සිට මේ රට වෙනත් රටකට ඈඳා දෙන්නට ගන්නා නීච, නිවට ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා අපේ ඒ ජාතික උරුමයන් නැති කරන්නට, පාවා දෙන්නට කටයුතු කරගෙන යන බවත් අපට පැහැදිලි වශයෙන් පෙනී යනවා.

    ඔවුන්ගේ ඒ නීච ක්‍රියා කලාපය නිසා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේත් තිබෙන බෞද්ධ සිද්ධස්ථාන, ඒවායේ නටබුන් හා අදාළ සාධකයත් එක රැයින් නැතිවී යනවා. පුදුමාකාර විදිහට සාහසික අන්දමින් සිදු වන ඒ ක්‍රියා නිසා එබඳු ස්ථානවලට සම්බන්ධ ඒ අති පෞරාණික වස්තුන් නැතිවී යන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

    ඇමැති ලොකුබණ්ඩාර මහතා සිය කතාව අවසානයේ මෙසේ ද සඳහන් කර ඇත.

    ..මේ කාර්යයට සම්බන්ධ ලේඛන සියල්ලක්ම අඩංගු ග්‍රන්ථයක් මා ළඟ තිබෙනවා. මෙය අපේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ගරු ඇමැතිතුමා විසින් An appeal to UNESCO toSafeguard and preserve the cultural property in sri lanka Endangered by racial prejudice, unlawful mccupation or willful destruction යන නමින් කරන ලද පර්යේෂණ නිබන්ධයක්. මෙහි තිබෙන්නේ එක අකුරක්වත් අයින් කරන්නට බැරි තරම් ඉතා වටිනා අදහස්.

    “මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙහි පළමුවන පිටුවේ සිට අවසානය දක්වා ඇති සියලුම කොටස් අකුරක්වත් නෑර හැන්සාඩ් වාර්තාගත කරන්නය කියා. මේ පොතේ පළමුවන පිටුවේ සිටම තිබෙන්නේ ඉතාම වැදගත් ඇමුණුම් කීපයක්. මේක ඉතාම වැදගත්. ලෝකයම දැන ගන්නට ඕනෑ දේවල්. එක්තරා කොටසක් අත්සන් ලක්ෂ ගණනක් ඇති පෙත්සමක් යූ.එන්. ඕ. එකට ඉදිරිපත් කරනවා. ඔවුන්ගේ සංස්කෘතිය නැති වෙනවාය කියා අපේ මෙම ආයාචනය කර තිබෙන්නේත් වෙන කාටවත් නොවෙයි. යූ.එන්.ඒ. එකේම ශාඛා සංවිධානයක් වන ‘යුනෙස්කෝ’ එකටයි. ඒ නිසා මම සභාගත කරන මේ ලියවිල්ල අකුරක් නෑර ඒ විධියටම හැන්සාඩ් වාර්තාගත කරන්නය කියා මම ඔබතුමාගෙන් නැවතත් ඉල්ලනවා.”

    උතුරේ බෞද්ධ උරුමය පිළිබඳ කෙටි සටහනකි මේ.

    මහාවංශයට අනුව යාපනය අතීතයේ නාගදීපයයි. නාග ගෝත්‍රිකයන් විසූ එම භූමිය තම්කොළ පට්ටාන, යාල් පානම්, ජැෆ්නා පට්ටන් ලෙසද හඳුන්වා ඇත. පට්ටාන යනු තොට හෝ වරාය යන අරුත දෙයි.

    භාතිකතිස්ස (143 – 167) රජු සමයේ නාගදීපයේ කිරිපලු රුක් මුල පළුදාගේ තනවා ඇත. රාජායතන ධාතු විහාරය එයයි. දෙවැනි අග්‍රබෝධි රජු (571 – 604) පිහිටු වූ උර්ණලෝමඝරයද ආමල චෛත්‍යයට පිදූ ඡත්‍රයද සුවිශේෂ වෙයි. පළමුවැනි විජයබාහු රජු (1055 – 1110) ජම්බුකෝල විහාරය පිළිසකර කරවා ඇත. ක්‍රි.ව. 455 – 463 අතර භික්ෂූන් වහන්සේලා 60,000ක් වැඩ විසූ මංගණ විහාරය සම්බන්ධකොට කෝලාස විහාරයද මහල්ලකනාග රජු නාගදීපයේ කරවූ සාලි පබ්බත විහාරය ගැන ද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවන පෑ තිස් රජු සමුදජන සාලා තැනවූ බව ද පළමු විජයබා රජු තැනවූ තිස්ස වෙහෙර, කනිට්ඨ තිස්ස රජු එහි වටදාගෙය අලුත්වැඩියා කළ බව ද වෝහාරික තිස්ස රජු එය තවත් සංවර්ධනය කළ බව ද සඳහන් වෙයි.

    ධාතුසේන රජු (455 – 473) නාගදීපයේ ථූපවිට්ඨි සහ ධාතුසේන නමින් විහාරස්ථාන දෙකක් ඉදි කළ බව කියවේ. නාගදීපය බෞද්ධයන්ගේ සොළොස්මස්ථානවලින් එකක් වන අතර ක්‍රි.ව. 411 දී මෙරටට ළඟා වූ පාහියන් හිමි නමගේ දේශාටන වාර්තාවේ ද නාගදීපය ගැන සඳහන් වෙයි.

    යාපනයේ බෞද්ධ උරුමය ගැන වඩාත් ප්‍රකටම ලිපිය ලියා ඇත්තේ ඉතිහාසඥ පෝල් ඊ.පීරිස් මහතාය. රාජකීය ආසියාතික සංගමයේ වාර්තා ඇතුළත් සඟරාවේ එම ලිපිය පළ වූයේ Nagadipa and Buddhist Remains in Jaffna (යාපනයේ බෞද්ධ අවශේෂ) (JRAS, CB:VOL-16, P-02)

    එම ලිපියට ද්‍රවිඩ පාර්ශ්වයෙන් යම් විරෝධයක් එල්ල වූ නමුත් එම ලිපිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ විද්වතකු වූ මුදළිඳු සී. රාසනායගම් මහතා ඉදිරිපත් විය.

    ඉපැරණි දෙමළ සාහිත්‍ය ග්‍රන්ථයක් වූ ‘මණිමේකලෛයි’ කෘතියේ 11 සර්ගයේ 21- 23 පේළිවල එන රත්නදීප (ලක්දිව හා නාගදීපය) දකුණු ඉන්දීය මණිපල්ලවම් ප්‍රදේශය අසල වෙනම දූපතක් බව සඳහන් වෙයි. රාසනායගම් මහතා එය පැහැදිලි කරදී තිබේ.

    වර්තමානයේදී උතුරේ නාගදීපය එක් ස්ථානයක් ලෙස සිතියම් ගත කර තිබුණ ද එදා ලක්දිව මුළු උතුරුකරයම නම් කර තිබුණේ ‘නගදිව්’ යනුවෙන් බව ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ විසූ ටොලමි ඔහුගේ ලෝක සිතියමේ දක්වා තිබේ. නාගදීප යන්න ජනවහරට එක්වූයේ එකල උතුරේ ජීවත් වූ නාග ගෝත්‍රිකයන් නිසාය.

    සුප්‍රකට වල්ලිපුරම් රන්පතේ සඳහන් වන නග – දිව යන්න එදා නාගදීපය බවයි පුරා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ. ඉපැරණි ග්‍රන්ථයක් වන සම්මෝහ විනෝදනී පුස්තකයේ නාගදීප (අර්ධද්වීපයම) පාලනය කර ඇත්තේ දීපරාජ නම් පාලකයකු විසින් බව සඳහන් කර ඇත.

    ක්‍රි.ව.200 දී ලියවුණු බ්‍රාහ්මී සෙල්ලිපියක ද ‘දීප’ නම් අයකු ගැන සඳහන් වෙයි. දීප යනු එකල නාගදීපයේ (යාපා පටුනේ) පාලකයා හඳුන්වන රාජකීය නාමයක් බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි.

    අනුරාධපුරයෙන් උතුරු කොටස උත්තරපස්ස ලෙස කලක් හැඳින් වී තිබිණි. එය එකල ලක්දිව පිහිටි රටට අයත්ව තිබිණි. අනුරාධපුරය සිට පේදුරුතුඩුව දක්වා ප්‍රදේශ එකල පාලනය වූයේ අනුරාධපුර රාජධානිය යටතේය.

    මේ රටට ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කළේ එදා දඹකොළ පටුන නමින් හැඳින්වූ තොටුපොළටය. සඟමිත් මෙහෙණින් වහන්සේ වැඩමවා ගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව දෙවැනි පෑතිස් රජු දෝතින් පිළිගත්තේ දඹකොළ පටුනේ කරදිය කරවටක් බැසීමෙන් බව බෞද්ධ සාහිත්‍යයේ එයි. මේ තොටුපොළ අනුරාධපුර රාජධානියට අයත් වූවකි. එදා දඹකොළ පටුන පසු කාලයේදී සම්බිල්තුරෙයි බවට පත් වී ඇත.

    ශ්‍රී මහා බෝධින් වහන්සේ දඹකොළ පටුනින් වැඩමවා ගෙන ආවේ නාගදීපය නම් ස්ථානයටය. එතැන ප්‍රාචීනාරාමය නමින් සිද්ධස්ථානයක් ඉදි කර ඇත. බෝධිය වැඩමවාගෙන ආ පිරිස තිවක්ක ගමේ නැවතී ඇති අතර එම කාර්යයට ප්‍රදේශය බාර තිවක්ක බමුණා විශාල සහායක් දී ඇත.

    බෝධිය වැඩම කරගෙන ආ ගමන් මාර්ගයේ යාපනය- (වවුනියාව හරහා අනුරාධපුරය තෙක්) පුරා වස්තු රැසක් හමුවෙයි. ක්‍රි.ව. දෙවැනි සියවසේදීත් අනුරාධපුර රාජධානියෙන් පාලනය වුණු ලංකාවේ උතුරු ප්‍රදේශය ගැන වැදගත් තොරතුරු රැසක් වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වෙයි.

    වසභ රජ අවධියේදී එතුමාගේ ඇමැති මඬුල්ලේ සිටි ඉස්ගිරි ඇමැතිවරයා නාගදීප ප්‍රදේශයේ පාලකයා වී සිටි බැව් එහි සඳහන් ‘පියගු කතිස’ යන්නෙන් පැහැදිලිය. එහි අදහස පියගු ද්වීපයේ තිස්ස යන්න බව ඉතිහාසඥයන්ගේ මතයයි.

    මේ අනුව පියගු ද්වීපය යනුවෙන් එදා හඳුන්වා ඇත්තේ අද පුන්කුඩුතිව් නමින් හඳුන්වන දූපත විය හැකි බව විද්වත් මතයයි. ක්‍රි.ව. 12දී පොළොන්නරුවේ රාජ්‍ය කළ නිශ්ශංක මල්ල රජුගේ රාමේෂ්වරම් සෙල් ලිපියේ ද පුවගු දූපතක් ගැන කියැවෙයි. එහි පුවගු දිවයින, මිණිපක් දිවයින, කප්ප දිවයින, කාර දිවයින ආදීවූ නොයෙක් දිවයින් බලා වදාරන්න යනුවෙන් සඳහන් වෙයි.

    එකී මතයට අනුව එදා පුවගු දිවයින (අද පුන්කුඩුතිව්), මිණිපක් දිවයින (අද මණ්ඩෙයිතිව්), කප්ප දිවයින (අද කයිට්ස් දූපත) සහ කාර දිවයින (අද කාරෙයිතිව් දිවයින) ලෙස පිළිගැනේ. රාමේෂ්වරම් සෙල් ලිපියට අනුව එදා නිශ්ශංකමල්ල රජු උතුරේ මෙකී දිවයින්වල ද පාලකයා වී සිටි බව පිළිගැනේ.

    මහාවංශය සඳහන් කරන ආකාරයට දුටුගැමුණු රජුගේ ශාසනික සේවාවට සහාය පිණිස පියගු ද්වීපයේ සිටද භික්ෂූන් වහන්සේලා වැඩම කොට තිබේ. අනුරාධපුර රාජධානි සමයේදීත් උතුරේ සියලු ප්‍රදේශ සිංහල රාජවංශයට අයත්ව තිබූ බව වසභ රාජ සමයේ සෙල් ලිපියෙන් ද සනාථ වෙයි.

    ශ්‍රීමත් පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කර ඇත්තේ යාපනයේ වර්තමාන කන්දරො‍ඩෙයි නමින් හඳුන්වන ස්ථානය එදා කදුරුගොඩ බවයි. එම ස්ථානය අද බෞද්ධ නටබුන් සංකීර්ණයකි. කදුරුගොඩ ද පසු කලෙක දෙමළ ජනාවාස නිසා කන්දරොඩෙයි බවට පත් වී ඇත්තේ උතුරේ බොහෝ ප්‍රදේශවල නම් ද දෙමළ ඌරුවෙන් උච්ඡාරණයට ලක් වීම හේතුවෙනි. (උදා : වැලිගම – වලිකාමම්, උඩුපිටිය – උඩුප්පිඩ්ඩි, වඩුගොඩ – වඩ්ඩුක්කොඩෙයි, වැලිපුර – වල්ලිපුරම්, හුණුගම – චුන්නාකම්, විලාන – වේලනෙයි, කොඩිගම – කොඩිකාමම්, හිරුපිටිය – ඉරුම්පිඩ්ඩි ආදී වශයෙනි.)

    කදුරුගොඩ විහාර සංකීර්ණයකි. වටදාගෙවල්වලත් බෞද්ධ ආරාමයකත් නටබුන් හමුවී ඇත. එහි තිබූ බ්‍රාහ්මී අකුරු සහිත බඳුන් කැබැල්ලක ‘දතහ – පත’ යන්න සටහන්ව තිබේ. එහි අරුත දන්ත නම් තැනැත්තාගේ පාත්‍රයයි යන්න බව සඳහන් වේ.

    පුරා විදු කැණීමකදී එහි තිබී රතු පැහැ වළං කැබැල්ලක් හමු විය. එහි කාල නිර්ණය කිරීමේදී හෙළි වූයේ එය ක්‍රි.පූ. 1200ක් තරම් ඉපැරණි බවය. ඉපැරණි ග්‍රන්ථයක් වන ‘නම් පොතේ’ සඳහන් වන්නේද කන්දරොඩෙයි එදා කදුරුගොඩ බවයි. බුදුන් වහන්සේගේ සිරිපතුල දැක්වෙන ගල් පුවරුවක්ද එහි තිබී හමු විය. එය ක්‍රි.ව. 10 සියවස දක්වාම බොදු වන්දනාකරුවන්ගේ බුහුමනට ලක් වූ බව සඳහන් වේ.

    හුණුගම (චුන්නාකම්) , මිණිපේ (මානිපායි) වැලිපුර (වල්ලිපුරම්), ගෝතමලුවවත්ත (කට්ටුපුලම්), සහ උඩුවිල්, මල්ලාකම්, පුතූර්, පුලෝලි යන ස්ථානවලින්ද බුදු පිළිම ඇතුළු බෞද්ධ පුරාවස්තු හමු වී තිබේ.

    මෙනිසා ප්‍රාග් යුගයේ සිටම අනුරාධපුර යුගය අවසානය දක්වාම උතුරු අර්ධද්වීපය පුරා පැවතියේ බෞද්ධ නිජබිමකි.

    (මතු සබැඳේ)

    බන්ධුල ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here