එළි-පෙහෙළි වන පුනරුදයේ මාවත

    0
    7

    දේශීය ජනතාවගේ පරිභෝජන රටාව ශීඝ්‍ර අයුරින් ඉහළ ගියේය. ඒ අනුව ඇපල් ගෙඩියේ සිට දොඩම් ගෙඩිය ද පිටරටින් අපේ රටට ගෙන ඒමේ වැඩපිළිවෙළ සූක්ෂ්ම අයුරින් ක්‍රියාත්මක විය. දේශීය රෙදිපිළි කර්මාන්තය වෙනුවට ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතිකොට ඒවායේ ශ්‍රමිකයන් ලෙස අපේ රටේ තරුණ තරුණියන් යොදවා බහුජාතික සමාගම් ආදායම් ලබන තත්ත්වයට පත් කළේය. ඉතා අඩු මුදලට සිය ශ්‍රමය පූජා කරන තරුණ පිරිසක් මේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව බිහි කළේය.

    ඕනෑම රටක ආර්ථිකයේ කොඳු නාරටිය ඒ රටේ දේශීය ආර්ථීකයයි. වී වගාව, වාණිජ වැවිලි භෝග, ඛනිජ සම්පත්, මත්ස්‍ය සම්පත් ආදි කොටගත් සියලු සම්පත් රටක ආර්ථිකය ශක්තිමත් කළේය. කාර්මික විප්ලවයෙන් පසු සමස්ත ලෝකයේම කර්මාන්ත ශාලා බිහි වූ අතර, එම කර්මාන්ත ශාලාවල සේවය සඳහා විශාල මානව සම්පතක් එක් විය. නිදහසට පෙර සිට දේශීය කර්මාන්ත බිහි කළ යුතු බව මුලින්ම අවධාරණය කළේ අනගාරික ධර්මපාලතුමාය.

    ලෝක යුද සමයේදී අපේ රටේ විසූ හමුදා සෙබළුන්ට අවශ්‍ය සපත්තු නිෂ්පාදනය සඳහා රජයේ කර්මාන්ත ශාලාව ආරම්භ කෙරිණි. හමුදාවේ බංකර් තැනීමට සිමෙන්ති අවශ්‍ය විය. ඒ අනුව සිමෙන්ති නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේය. විශේෂයෙන් තේ වගාව, රබර් වගාව ආශ්‍රිතව කර්මාන්ත ශාලා බිහි වීම ද මේ යුගයේ සිදු විය. ඒ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ විදේශ රටවලින් ආනයනය කළත් පසුව ඒවා නඩත්තු කිරීමේ කටයුතුවලට පුහුණු ශ්‍රමිකයෝ මෙරටින් බඳවා ගැනුණහ. මේ අයුරින් කාර්මික ඥානයෙන් හෙබි ශ්‍රමිකයන් පිරිසක් මෙරට බිහිවූහ.

    රජයේ අනුග්‍රහය මත කර්මාන්ත සුළු වශයෙන් ආරම්භ වුව ද ඒවා කෘෂිකාර්මික නිෂ්පාදන වශයෙන් පෙරට ආවේ ඉතා මන්දගාමී අයුරිනි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ යුගයේ සිට පැවතුණේය. කෘෂිකර්මයට අවශ්‍ය ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර් වැනි දෑ විදේශ රටවලින් මිලට ගැනීම සිදු විය. ඩඩ්ලි සේනානායක යුගයේ කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීය. සර් ජෝන් කොතලාවල යුගයේ සිදු වූ ආර්ථික පරිහානිය මතින් 1956 ආණ්ඩුව භාරගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට අලුතින් ආර්ථිකය ශක්තිමත් කිරීමට සිදු විය. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීමට අලුතින් කර්මාන්ත ශාලා බිහි වීම ආරම්භ විය. 1958 රාජ්‍ය සංස්ථා පනත ආරම්භ කරමින් ඉතා සැලැසුම් සහගත අයුරින් රාජ්‍ය සතු කර්මාන්තශාලා ආරම්භ කළේය.

     

    දේශීය කර්මාන්ත

    1956 දී ශ්‍රී ලංකාවේ කාර්මික පුනරුදයක් ඇති වූයේ රජයේ සෘජු අනුග්‍රහය මතිනි. විශේෂයෙන් මේ යුගයේ සමාජවාදී රටවල්වලින් ලැබුණු විශේෂ අනුග්‍රහයත් සමඟ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සිදුවිය. සෝවියට් ‍ සමාජවාදී ජනරජයෙන් ඔරුවල වානේ සංස්ථාව ආරම්භ කිරීම එයට කදිම නිදසුනකි. එයින් අපේ රටේ කෘෂිකර්මාන්තයට, ප්‍රවාහන සේවයට පමණක් නොව කර්මාන්ත ශාලාවලට ලැබුණේ අනගි මෙහෙවරකි. අලුතින් ඉදිවෙන ගොඩනැගිලිවලට සිමෙන්ති නිෂ්පාදනය කිරීමට කන්කසන්තුරේ, පුත්තලම වැනි ප්‍රදේශවල සිමෙන්ති කර්මාන්ත ශාලා බිහි විය. යක්කල ලෝහ භාණ්ඩ කර්මාන්තශාලාව ආරම්භ කළේය. කෘෂි කර්මාන්තයට අවශ්‍ය උදලු, කැති, පොරව ආදී සියලු දෑ යක්කලින් නිෂ්පාදනය කළේය.

    කැලණිය ටයර් සංස්ථාව ආරම්භ කිරීමත් සමඟ මෙරට ප්‍රවාහන සේවය ශක්තිමත් කෙරිණි. විශේෂයෙන් අපේ රටේ මුදල් අපේ රටේම ඉතිරි කර ගැනීමට ඒ මඟින් හැකි විය. විශේෂයෙන් අපේ රටේ ඛනිජ සම්පත්වලට ඉහළ ඉල්ලුමක් ලැබීමත් සමඟ ඒවා ද රාජ්‍ය අංශයෙන්ම පාලනය කරනු ලබන රාජ්‍ය ආයතන බවට පත් විය. මිනිරන් කර්මාන්තය වෙනුවෙන් රාජ්‍ය මිනිරන් සංස්ථාව ද, මැණික් කර්මාන්තයට රාජ්‍ය මැණික් සංස්ථාව වැනි ආයතන හරහා සියලු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබීමේ නිශ්චිත වැඩපිළිවෙළක් 1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙන් ආරම්භ කළේය. කන්තලේ, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඇතිකොට දේශීය සීනි නිෂ්පාදනය ශක්තිමත් කළේය. අඹේවෙල, බෝපත්තලාවේ කිරි නිෂ්පාදනය ඇතිකොට පිටිකිරි කර්මාන්තශාලාවක් තුළින් දේශීය පිටිකිරි කර්මාන්තය දිරිමත් කළේය. අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, සමුපකාරය, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව වැනි ආයතන හරහා දේශීය ගොවියාගේ නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ඇති කළේය. විශේෂයෙන් යාපනය වැනි ප්‍රදේශවල දේශීය අල ගොවියා සහ ලූනු ගොවියාගේ අතමිට සරු ක‍ළ යුගයක් ඒ අනුව බිහි විය.

    වාලච්චේනයේ කඩදාසි කම්හල ඇඹිලිපිටිය කඩදාසි කම්හල මේ රටේ කඩදාසි අවශ්‍යතාවය සපුරාදීමට ක්‍රියා කළේය. සියලු පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණය කිරීම කඩදාසි සංස්ථාවෙන් නිපැයීම එකල ඉටු කළ අගනා ක්‍රියාදාමයකි.

    විශේෂයෙන් දේශීය රෙදිපිළි කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන යෑම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ ක්‍රියාත්මක විය. ඒ අනුව පූ‍ගොඩ, වේයන්ගොඩ, තුල්හිරිය වැනි ප්‍රදේශවල පෙහෙකම්හල් ඇති කෙරිණි. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය දියුණු මට්ටමකට ගෙන ඒමට කටයුතු යෙදිණි. විශාල වශයෙන් තරුණ තරුණියන්ට රැකියා ලබාදෙමින් රටේ දේශීය රෙදිපිළි නිෂ්පාදනය ශක්තිමත් විය. 1956 ආරම්භ කළ දේශීය නිෂ්පාදනවලට මුල් තැන දුන් කර්මාන්ත ශාලා තුළින් 5%ක තිබූ දළ දේශීය නිෂ්පාදිතය 1977 වන විට 23% දක්වා ඉහළ නංවා ගැනීමට රාජ්‍ය අංශයට හැකි විය. සළුසල වැනි ආයතන තුළින් දේශීය නිෂ්පාදකයා දිරිමත් කෙරිණි.

    1977න් පසු විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ දේශීය කර්මාන්තවලට අත්වූයේ දරුණු ඉරණමකි. දේශීය කර්මාන්තකරුවා ඉතා අසරණ තත්ත්වයට පත් විය. දේශීය නිෂ්පාදිතය 13% දක්වා ශීඝ්‍ර පසුබෑමකට ලක්විය. 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය දේශීය නිෂ්පාදනවලට කිසිදු අනුග්‍රාහකත්වයක් නොදැක්වීමෙන් සියලුම කර්මාන්ත ශාලා අඩපණ වන්නට විය. ඉතා වටිනා කර්මාන්ත ශාලා සියලු දේ විකුණා දැමීමේ ප්‍රතිපත්තිය ආරම්භ කළේ 1977 බිහි වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමයයි.

    විදේශ රටවලින් රෙදිපිළි පමණක් නොව ඉලෙක්ට්‍රොනික උපකරණ, කෑම බීමවල සිට ඉඳිකටුව දක්වා සියලු උපකරණ හා ද්‍රව්‍ය ගෙන ඒම ආරම්භ වූයේ එලෙසය. දේශීය ජනතාවගේ පරිභෝජන රටාව ශීඝ්‍ර අයුරින් ඉහළ ගියේය. ඒ අනුව ඇපල් ගෙඩියේ සිට දොඩම් ගෙඩිය ද පිටරටින් අපේ රටට ගෙන ඒමේ වැඩපිළිවෙළ සූක්ෂම අයුරින් ක්‍රියාත්මක විය. දේශීය රෙදිපිළි කර්මාන්තය වෙනුවට ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතිකොට ඒවායේ ශ්‍රමිකයන් ලෙස අපේ රටේ තරුණ තරුණියන් යොදවා බහුජාතික සමාගම් ආදායම් ලබන තත්ත්වයට පත් කළේය. ඉතා අඩු මුදලට සිය ශ්‍රමය පූජා කරන තරුණ පිරිසක් මේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව බිහි කළේය.

    රටේ ජාතික ධනය උපයන ප්‍රධාන ආයතන නැවත රාජ්‍ය ආයතනවලට අනුගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිටය. ඊට උදාහරණ ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයට තිත තැබීමට ඒ යුගයේදී හැකි විය.

     

    විකිණීමට තිත

    පසුගිය යහපාලන යුගයේදී නැවත රාජ්‍ය දේපළ විකුණා දැමීමේ ප්‍රතිපත්තිය හොඳින් ක්‍රියාත්මක කිරීමට මැළි නොවීය. ඉපැරණි විසුම්පාය වැනි වටිනා නිවාස පවා ප්‍රතිසංස්කරණය කොට හෝටලයකට බදු දීම ඒ රජයේ ප්‍රතිපත්තිය විය. මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය විකුණා දැමීමේ ක්‍රියාදාමය මඟින් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වෙනසක් නොවීය.

    මේ තත්ත්වය වෙනස් කරමින් 2020 දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ ප්‍රතිපත්තිය වූයේ දේශීය කර්මාන්ත නඟා සිටුවීමය. දේශීය ගොවියාගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා දීමය. විශේෂයෙන් කහ වගාවට ඉඟුරු වගාවට අතහිත දී ගොවියා දිරිමත් කිරීම තුළින් දේශීය කෘෂි නිෂ්පාදනවලට ඉහළ මිලක්, ඉහළ ඉල්ලුමක් ලබාදීම එහි අපේක්ෂාවයි.

    විශේෂයෙන් කිතුල් කර්මාන්තයෙන් ජීවත් වෙන ජනයා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කොට ඇති නිසා ඔවුන්ගේ ජීවන රටාව වෙනසකට භාජනය වෙමින් ඇත. තවද සුළු කර්මාන්ත වශයෙන් හඳුන්වනු ලබන ඉදල්, කොසු කර්මාන්තය පවා අද දේශීය නිෂ්පාදකයා දිරිගන්වන අයුරින් කටයුතු කොට ඇත. පසුගිය කාලයේ ඉදල්, කොසු පවා දේශීය නිෂ්පාදනවලින් ඈත් කළේය. ඒවායෙන් ජීවත්වෙන ජනයා ඉතා අසරණ තත්ත්වයට පත් වී සිටියේය. එහෙත් නැවත ඒ කර්මාන්ත දිරිමත් කිරීම සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ගත් ප්‍රශංසනීය උත්සාහයකි. මැටි වළං කර්මාන්තය ගැන ද එසේමය. මහා පරිමාණයේ කර්මාන්ත ශාලා‍වේ සිට හඳුන්කූරු සාදන සාමාන්‍ය ජනයා දක්වා නඟාසිටුවීමේ සුවිශාල කාර්යභාරයක් ඉටුවෙමින් තිබෙන යුගයක ඒවා තවදුරටත් ශක්තිමත්කොට දේශීය කර්මාන්තකරුවා නඟාසිටුවීම අප සැමගේ ඒකායන බලාපොරොත්තුවයි.

    මහින්ද ආරියවංශ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here