කිතුනු සභාවේ අලුත් අභියෝගය

    0
    5

    කිතුනු සභාව මත පැවරුණ වගකීම් මෙතෙකැයි කිව නොහැකිය. ජේසුතුමාගේ ජීවිත කාලය ඇතුළත එකුමා කළ කී දෑ දෙස බලන කල, එය පැහැදිලිව පෙනී යනු ඇත. අතීතය, වර්තමානය මෙන්ම අනාගතය ද වගකීම් සම්භාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැමකු හැල්මේ දිවූ කල, ඇතැමකු ගියේ ඉබි ගමනකි. මේ ගමන් විලාස දෙකෙහිම ගතයුත්තක් තිබේ දැයි විමසිය යුතු වුවත් ඒ පිළිබඳ ගැඹුරු කල්පනා පසුවට තබා වර්තමානය පිළිබඳ අවදිවීම වැදගත්ය. එකී අවදිවීම ඇතුළත උක්ත කරුණු ද ඉබේ විග්‍රහ වන්නේය. එහි හරි වැරදි පෙනෙන්නට ගන්නේය.

    අපි දැන් වර්තමානය ගැන කතා කරමු. කිතුනු සභාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳ කතා කරමු. 2019 පාස්කු ප්‍රහාරයත් 2019 කොවිඩ් වසංගතයත් කිතුනු සභාවට පමණක් නොව මුළු මිනිස් සංහතියටම එල්ල කළ සහ කරමින් පවතින අභියෝග මෙතෙකැයි කිව නොහැකිය. කිතුනු සභාව දැන් සූදානම් විය යුතු වන්නේ මේ අභියෝගවලට පිළිතුරු සෙවීමටය. ලාංකේය කිතුනුවාට පමණක් නොව සමස්ත රටවැසියාගේම විමුක්තිය උදෙසා වැඩ කිරීමට කිතුනුවාට සිදු වනු ඇත. එකී වගකීම උදෙසා කටයුතු කිරීමට ලාංකේය කිතුනුවා සූදානම්ද යන්න අප ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි.

    අභියෝගය යන වදන ඇසෙනවිටම අපට සිහිවන්නේ කුමක්ද? මේ වන අප නිරන්තරයෙන් කතාබහ කරනුයේ රටේ ආර්ථිකය පිළිබඳය; එය කඩා වැටී ඇති ආකාරය සහ එය ගොඩ නඟන ආකාරය පිළිබඳය. කඳු පාමුලක ඇති යෝධ ගලක් කඳු මුදුනට තල්ලු කරගෙන යා යුතු අන්දමට අද අපි අපේ ආර්ථිකය දකිමු. එහි වරදක් නැත. අපි අපේ ආර්ථිකය ගොඩ නැඟිය යුතුය. එහෙත් එය කරනුයේ කෙසේද? කිතුනු සභාව ඉදිරියේ ඇති දැවැන්තම අභියෝගය එයය. ආර්ථිකය යනු කාසි හා නෝට්ටු පමණක්ද යන්න ගැන මෙහිදී අප කල්පනා කළ යුතුය.

     

    මිනිස් සිත

     

    මෑත කාලීන ඉතිහාසයේ අප අවදි කළ ප්‍රධාන සිදුවීමක් වූයේ පාස්කු ප්‍රහාරයයි. මේ සිදුවීම ගැන අප සැබැවින්ම අවදි වූවෙමුද? වැරැදිකරුවන් සොයනු, වැරදිකරුවන්ට දඬුවම් දෙනු යනාදී සටන් පාඨවලට සහ බලාපොරොත්තුවලට අමතරව අප ඒ ගැන සිතුවේ කුමක්ද? මෑතකදී එම සිදුවීමට මුහුණ දුන් එක් කාන්තාවක සමඟ කතාබහ කිරීමේ අවස්ථාවක් මට ලැබිණි. සිය පවුලම අහිමි වූ ඇය, මා හා පවසා සිටියේ ප්‍රාණඝාත සඳහා ප්‍රහාරකයන් විසින් භාවිතා කළ මෙවලම් ගැනය. එකී බෝම්බ සමන්විත වූ දෑ ගැනය. දෙපැත්තම උල් කරන් ලැබූ යකඩ ඇණ, කුඩු කළ බ්ලේඩ් කැබැලි, විවිධ ප්‍රමාණයේ යකඩ බෝල… මේ සියල්ල මිනිසා මරා දැමීම වෙනුවෙන්ම සැකසී තිබිණි. ඇය පැවසුවේ මේ බ්ලේඩ් කැබලි එක් දියණියකගේ මොළය පසාරු කර ගෙන ගොස් තිබූ බවය. පස් වරක් හිස් කබල ගලවා එම කැබැලි ගැනීමට සැත්කම් කළද, අවසානයේ ඇය මිය ගියාය. මෙවැනි කම්පිත කතාන්දර ඕනෑ තරම්ය. එහෙත් අවශ්‍ය වනුයේ ඒ කම්පිත කතා සියල්ල මෙහි සනිටුහන් කිරීම නොවේ. ඒ තරම් කුරිරු ලෙස මිනිසුන් මරා දැමීමට තරම් මිනිස් සිත් දරුණු වූයේ කෙසේද යන්න සොයා බැලීමය. මිනිසාට එරෙහිව මිනිසා මේ තරම් ප්‍රබල ලෙස වියරු වැටුණේ කෙසේද? වැරැදිකරුවන්ට දඬුවම් දීම නොකළ යුතුයැයි නොකියමු. එහෙත් රෝගයට බෙහෙත් කරන අතර, අප රෝග නිධානය සොයා ගත යුතුය. ඊට පිළියම් යෙදිය යුතුය. අප ඒ පිළියම් ගැන සිතා බලා ඇත්තෙමුද? ඒවා ක්‍රියාවට නඟන්නට පටන් ගෙන ඇත්තෙමුද?

    පාස්කු ප්‍රහාරයට පසු ඝාතනය වූවන්ගේ මෙන්ම ඝාතනය කළවූවන්ගේද සෙසු ආගම් හා ජාතීන්ට අයිතිවූවන්ගේද ආර්ථිකය කඩා වැටුණ බව රහසක් නොවේ. එනම් සමස්ත රට වැසියාගේම ආර්ථිකයට වැදුණේ දරුණු පහරකි. අපි මුලින් ජීවිත ගැන දුක්ව පසුව ආර්ථිකය ගැන දුක්වන්නට පටන් ගත්තෙමු. කඩා වැටුණු ජීවිත පසෙකලා කඩා වැටුණු ආර්ථිකය ගොඩ නඟන්නට ප්‍රමුඛත්වය දුන්නෙමු. එහෙත් අවසානයේ අපට සිදු වූයේ කුමක්ද? යම් ජන වර්ගයක් ඉලක්ක කර ගත් ප්‍රහාරයක් වෙනුවට සමස්ත රට වැසියාටම නොහොත් ලෝ වැසියාටම බලපාන වසංගතයකට මුහුණ දීමට සිදුවීමය.

    ඒ වසංගතයේ ස්වභාවය දෙස බලන්න. එම වසංගතයෙන් වැඩිපුර ඝාතනය වන්නේ කවුරුන්ද? රෝගීන් හා වයස්ගත වූවන්ය. ඔවුන් අපගේ ජීවිතවලට සහ ආර්ථිකයට බරක් යැයි දැනට සිටින තරුණ පාලකයන් සහ විද්‍යාඥයන් සිතන්නෙහිද? මේ වයිරසය නිමැවුණේ එකී අදහසින්ද? බලවතුන් වැරැදි කරන කල කිසි දිනෙක ඔවුන්ට දඬුවම් නොලැබෙයි. මන්දයත්: නීතියද, බලයද මෙහෙයවන්නේ ඔවුන් බැවිනි. එබැවින් යම් දිනෙක ස්වභාවධර්මයාගෙන් හැර ලොව කිසිම නීතියකින් මේ වයිරසයේ නිමැවුම්කරුවන්ට දඬුවම් නොලැබෙන බව සිකුරුය. ඒ පිළිබඳ ඕපාදූප හැර සත්‍ය හෙළිවන්නේ ද අවම වශයෙනි. මෙකී වයිරසය හරහා වැඩි වශයෙන් මිය යන රෝගීන් සහ වයස්ගතවූවන් අපට අවශ්‍ය නැතැයි තීරණය කළෝ කවරහුද? එලෙස සිතන්නට අප හුරු කළෝ කවරහුද? මේ මරණ පිළිබඳ වුවද සමාජයට සිත හදා ගැනීම පහසුය. එය ඉතා පහසු සිත් හදා ගැනීමකි. මිය යන්නේ වයස්ගතවූවන් හා රෝගීන් නිසා අපි ද ඔවුන්ගේ මරණය සාධාරණීය කිරීමට ඉබේම පෙළඹෙන්නෙමු. ඒ මරණය අපට වේදනා ගෙන නොදෙයි. වයිරසය නිමැවූවන් හා අප අතර වෙනසක් තිබේද? මේ මිය ගිය අය වෙනුවට මිය ගියේ අපේ දරුවන් නම් තරුණ ප්‍රජාව නම් වයස්ගත නොවූ මවුපියන් නම් මාධ්‍ය මේ වන විට මොන තරම් නම් කඳුළු විකුණා හමාර කර ඇතිද? මොන තරම් නම් කැළඹීමක් සමාජයේ ඇති වන්නට ඉඩ තිබිණිද? ලොව සියලු ආණ්ඩුවලට එරෙහිව කැරලි ඇති වන්නට ඉඩ තිබිණිද?

     

    මවුපිය සංග්‍රහය

     

    මේ අනුව පෙනී යන්නේ රෝගීන් සහ වයස්ගතවූවන් සමස්ත මිනිස් වර්ගයා විසින්ම අත්හැර දමා ඇති බව නොවේද? ඔවුන්ටද අපට මෙන්ම ජීවත් වීමට අයිතියක් ඇති බව අප අමතක කර ඇති බව නොවේද? මේ අනුව අප අපව කිරා මැන ගත යුතු අවස්ථාවක් ලෙස අපි මේ අවස්ථාව දැකිය යුත්තෙමු. දරුපරපුරක් තරුණ පරපුරක් සිටින්නේ වයස්ගතවූවන් නිසාය. ‘මවුපියන්ට සංග්‍රහ කරව’ පනත ගැන අපි දැන් කුමක් කියමුද? මේ වසංගතය නිසා මිය යන අනෙකාගේ අම්මා තාත්තා ගැන වගේම අපගේ අම්මා තාත්තා ගැනද පහසුවෙන් සිත හදා ගැනීමට අප දැන් සූදානම්ය. ඇතැම් විට අප නිසාම රෝගී වූ රෝගී ජනයා මිය යෑම ගැන අප තැකීමක් නොකරමු. මිනිසා රෝගී වන්නේ ඇයිද යන්න ගැන මේ මරණ සමඟම අප සිතන්නට යොමු වූවාද? ආර්ථික ලාබ ලැබීමේ පරමාර්ථයෙන්ම ජනතාවට ලබා දෙන ආහාර පාන නිසා අපි කෙතරම් නම් ශාරීරික රෝගීන් වී සිටිමුද? බලය, තනතුරු හා වැටුප් හේතු කොට ගෙන ළඟ සිටින සේවක සහෝදරයා මානසික පීඩාවට පත් කරන අපි ඔහු හෝ ඇය ඒ මානසික පීඩාව නිසාම ශාරීරික වශයෙන්ද රෝගී වූ බව නොදැන කොවිඩ් හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ මරණය සාධාරණීය කරන්නේ නම් අප සැබෑ මනුෂ්‍ය යෝද යන්න පිළිබඳ මෙනෙහි කළ යුතුය.

    පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් හමුවේ කිතුනු සභාව ඉදිරියේ ඇති අභියෝග ලෙහෙසි පහසු නොවන බව දැන් ඔබට වැටහෙනු ඇත. මෙකී අභියෝගයට පැවිදි පූජක පිරිස මෙන්ම ගිහියන්ද සමානව මුහුණ දිය යුතුය. එසේ වුවද, පැවිදි පූජක පිරිස මෙන්ම සිය සභාවේ ඉදිරියෙන් සිටින ගිහි නායකයන්ද සිය ජනතාව එඬේරුන් විය යුතුය. සිය ජනයා ලෝකයේ විමුක්තිය උදෙසා සූදානම් කළ යුතුය. ඒ සඳහා සිහිබුද්ධියෙන් අවදි විය යුතුය. ඒ අවදිවීමෙන් තොර ආර්ථික දියුණුවකට පැවැත්මක් නැත. එවැනි ආර්ථික දියුණුවක් යනු රටක හෝ ලෝකයේ සංවර්ධනය නොවේ. රටක සංවර්ධනයේ මූලික මිනුම් දණ්ඩක් ලෙස ආර්ථික වර්ධනය ගණන් ගැනුණ ද, මනුෂ්‍යත්වයේ වර්ධනය මේ සියල්ල පරයා නැඟී සිටින වග කිතුනු සභාව අවබෝධ කර ගත යුතුය. එකී අවබෝධයෙන් කටයතු කරන තෙක් කිතුනු සභාව පළ නොදරන අත්තික්කා ගසකි. ඉඩම් හිමියා පැමිණ පළ නොදරන අත්තික්කා ගස කපන්නට නියෝග කරන්න පෙර අප අවදි විය යුතුය. සිහිකල්පනාවෙන් ලෝක විමුක්තිය උදෙසා සිය එඬේරික සේවය ආරම්භ කළ යුතුය.

     

    සුමේධා නවරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here