කොවිඩ් සමඟ එන නියුමෝනියාව

    0
    7

    සෑම වසරකම විවිධ විශේෂිත සිදුවීම් සඳහා දින වෙන් කර තිබේ. බොහෝ ලෙඩ රෝග සඳහාද දින වෙන්කර තිබෙන අතර ‘ලෝක නියුමෝනියා දිනය’ ලෙස නම් කර තිබෙන්නේ ජනවාරි මස 14 වන දා ය. පෙර වසරවල නියුමෝනියා දිනය එතරම් වැදගත් එකක් ලෙස නොසලකන ලද නමුත් මේ වන විට මුළු ලෝකයම ගිලගෙන තිබෙන භයානක වයිරසයෙහි අවසාන ඵලය බොහෝවිට නියුමෝනියාව සහ ඒ ආශ්‍රිත මරණය වන බැවින් නියුමෝනියා දිනය වෙනදාට වඩා වැඩි වැදගත්කමක් උසුලයි.

    කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් බෝ නොවන රෝගවලින් පෙළෙන බොහෝ දෙනාට දැඩි බලපෑම් එල්ල වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් මරණය වැලඳ ගෙන ඇත්තේ නියුමෝනියාවෙනි.

    කොවිඩ් සමඟ නිතර එක් ව සඳහන් වන රෝගයක් ලෙස නියුමෝනියාව හැඳින්වුව ද බෝවන රෝග කාරකවලින් මෙන්ම බෝනොවන රෝග කාරක මඟින් ද එය ඇති වේ.

    පෙණහලු ඉතා තදින් ආසාදනය කරන ප්‍රතික්‍රියාවක් වන මෙම රෝගය අසාමාන්‍ය ලෙස පෙනහලුවල තරල පිරීමක් මඟින් හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවලට රෝගියා ලක්වෙයි. මෙම තරල පිරීම හේතුවෙන් වෙනත් ආසාදන ඇතිවී පෙණහලුවලට අනතුරක් විය හැකි අතර නියුමෝනියාව කිසිවිටෙකත් හේතුවක් නැතිව ඇතිවන රෝගයක් ද නොවේ.

    කොවිඩ් ආසදිතයන්ගෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ ලෙස නම් කර ඇති කැස්ස, පපුවේ වේදනාව, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාව නියුමෝනියා රෝගයේ ද රෝග ලක්ෂණයි. එක්ස්රේ පරික්ෂා සහ සෙම පටල පරික්ෂා කිරීම මඟින් රෝගය කොතෙක් දුරට බලපෑම් කර ඇත්දැයි හඳුනාගත හැකි අතර ප්‍රතිකාර සිදු කරන්නේ රෝගය සඳහා බලපා ඇති හේතු කාරකය අනුවය.

    ඒ අනුව බැක්ටීරියා හෝ වයිරස් ආදී ඕනෑම බලපෑමකින් වැලඳිය හැකි නියුමෝනියා රෝගයට එකම ඖෂධ ප්‍රතිකර්ම ක්‍රම ගැළපෙන්නේ ද නැත.

    නියුමෝනියාව වැළඳීමට වයස් භේදයක් නොමැති අතර වයස්ගත සහ දැඩි රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට මේ රෝගය මරණය පවා ගෙන දෙන බව නොරහසකි. කොවිඩ් වසංගතයට මේ වන විටත් සියයට සියයක් සාර්ථක එන්නතක් නිපදවා නොමැති වූවත් නියුමෝනියා රෝගය සඳහා එන්නත් කිහිපයක්ම මේ වන විට ද රෝගීන් වෙත නිර්දේශ කරනු ලබයි.

    පෙණහලුවල පිරී යන තරලය හේතුවෙන් රුධිරය මඟින් ලබාදෙන ඔක්ෂිජන්වලට බාධා කරන බැවින් රෝගියා දැඩි අපහසුතාවට පත් වෙයි. ශරීරයට තද සීතලක් දැනෙන, අධික උණකින් පීඩා විඳින රෝගීන් කොළ හෝ කහ පැහැති සෙම පිටකරන කැස්සකින් ද පෙළෙයි. හුස්ම ඉහළ පහල දැමීමේදී ඇතිවන අපහසුතාවට අමතරව ඉතාම තදබල පපුවෙහි වේදනාවක් ද ඔවුන්ට ඇති වෙයි. රෝගය උත්සන්න වූ විට කැස්ස සමඟ ලේ පිටවන අතර තද හිසරදයක් සමග දහදිය දැමීම ද සිදුවේ.

    වමනය, ඔක්කාරය සමඟ මුළු සිරුරම තදින් වේදනා දෙන රෝගයක් වන නියුමෝනියාවෙහි විවිධ වර්ග අනුව දක්වන රෝග ලක්ෂණ ද වෙනස් වෙයි.

    අධික ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් සම නිල් පැහැයට හැරෙමින් සිහිය පවා විකල් වීම නියුමෝනියාව උග්‍ර වූ විට දක්නට ලැබේ.

    නියුමෝනියා රෝගියකුට, විවේක ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ප්‍රතිකාර ක්‍රමයකි. වැලදී ඇති නියුමෝනියා වර්ගය අනුව සමාන්‍ය මට්ටමේ රෝග ලක්ෂණ සහිත නියුමෝනියාවකදී නම් ප්‍රතිජීවක ඖෂධ ලබා ගනිමින් ප්‍රමාණවත් පරිදි දියර පානය කරමින් නිවසේ සිට වුවද ප්‍රතිකාර ලබාගත හැකිය. රෝගය ඉතා බරපතළ අවස්ථාවක නම් සහ වෙනත් අසනීප සහිත වියපත් පුද්ගලයන් නම් අනිවාර්යෙන්ම රෝහල්ගත වී ප්‍රතිකාර ලබා දිය යුතුය. නොඑසේනම් නියුමෝනියා සංකූලතාව හේතුවෙන් මරණය පවා ළඟා විය හැකිය.

    බැක්ටීරියාවක් මඟින් ඇති වන නියුමෝනියාව සඳහා ලබා දෙන්නේ ප්‍රතිජීවක ඖෂධ ය. වයිරස මඟින් ඇති වන නියුමෝනියා සඳහා ප්‍රතිජීවක වර්ග භාවිතා වන්නේ නැතත් වයිරසයක් මඟින් විනාශ වූ පෙණහලුවලට ඉන් අනතුරුව බැක්ටීරියා මඟින් ආසාදන සිදු විය හැකි බැවින් ඒ සඳහා ප්‍රතිජීවක යොදා ගැනේ. සෑම රෝගියකුටම එකම ප්‍රතිජීවක වර්ග ලබා නොදෙන අතර ආසාදනය වී ඇති නියුමෝනියා වර්ගය අනුව එය එකිනෙකට වෙනස් වේ.

    නියුමෝනියා රෝගියකුට සාමාන්‍යයෙන් දින 07 සිට 10 දක්වා ප්‍රතිකාර ලබාදිය යුතු බව වෛද්‍ය නිර්දේශය වුවත් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ ලබාදෙන ප්‍රතිකාර ක්‍රම තුළ ද රෝගය සුව වීම සිදුවන බව පරීක්ෂණ මඟින් සනාථ කොට ගෙන ඇත. නියුමෝනියා රෝගය බරපතළ වූ පුද්ගලයන් රෝහල්ගත කරන ලෙස නියම කර ඇත්තේ ඔවුන්ට බාහිරව ඔක්සිජන් ලබා දීමට සිදුවන බැවිනි. අධික නියුමෝනියා තත්ත්වයෙන් පීඩා ලබන පුද්ගලයන්ට දැඩි සත්කාර ඒකක තුළ කෘත්‍රිම ශ්වසනය ලබා දීම ද සිදු කරයි.

    නියුමෝනියාව ඇතිවීමේ අවදානමක් ඇති පුද්ගලයින් දුම්පානයෙන් වැළකී සිටීම වඩාත් වැදගත්ය. සිරුරේ නියුමෝනියාවට එරෙහිව ඇතිවන ස්වාභාවික ආරක්ෂාව දුම්පානය මඟින් බිඳ වැටෙයි.

    ප්‍රසූති අවස්ථාවේ දී දරුවාගේ මුඛය තුළ අපද්‍රව්‍ය කොටස් මඟින් ද නියුමෝනියාව ඇති වීමේ අවදානමක් ඇති අතර එය ඉවත් කිරීම මගින් කුඩා දරුවාට නියුමෝනියාව වැළඳීමේ ප්‍රවණතාව අඩු කළ හැකිය. නියුමෝනියාව වළකාගැනීමේ එන්නත් ලබාදීමේදී කුඩා දරුවන් සහ වැඩිහිටියන් වෙත ප්‍රමුඛතාවක් ලබා දිය යුත්තේ ඔවුන් එම රෝගයෙන් අසාධ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. අමෙරිකාවේ වයස අවුරුදු 65 ට වැඩි සියලුම නිරෝගී පුද්ගලයින් සඳහා නියුමෝනියා එන්නත් නිර්දේශ කරන අතර වසර 5කට හෝ 10කට පසු නැවත ප්‍රතිශක්තිකරණ ලබාගැනීමට අත්‍යවශ්‍ය වේ. නියුමෝනියාව පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වී ඇති කාලයක, නියුමෝනියාව හේතුවෙන් දහස් ගණනින් රෝගීන් මිය යන කාලයක නියුමෝනියාවෙන් වැළකී සිටීමට හැකි සෑම ආරක්ෂණ පියවරක්ම අනුගමනය කිරීම සෑම පුද්ගලයකුගේ ම නීරෝගී දිවි පැවැත්මට සහ රෝගී අවස්ථාවක ජීවිතය බේරාගැනීමට පිටුවහලක් වනු ඇත.

     

    දිල්රූ ජයසේකර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here