ගල්වඩුවාගේ නිර්මාණ කෞශල්‍යය පෙන්වන සෙල්මුවා නිමැයුම්

    0
    4

    පෙර රජ දවස සිරිලක පාලනය කළ විවිධ තරාතිරමේ නරපතියන් අති දක්ෂ ගල් වඩුවන් ලවා නිර්මාණය කරවූ අසමසම ‘සෙල්මුවා නිමැවුම්‘ තුළින් අදත් නිහඬ බසින් පැවසෙන්නේ එවකට පැවැති නිර්මාණ කෞෂල්‍යයේ මහිමයයි. අවුකන බුදු පිළිමය, සමාධි පිළිමය, ගල් විහාරයේ බුදු පිළිම, ඉසුරුමුණි පෙම් යුවල සහ අශ්වාරෝහකයා, යාපහුව රාජධානියේ සිංහයා ඇතුළු ශෛලමය නිර්මාණ, අනුරපුර සඳකඩ පහණ මෙන්ම දොරටුපාල සහ කොරවක් ගල යනාදී ශෛලමය නිර්මාණ මෙතෙර පමණක් නොව එතෙර පවා ජන ආකර්ශණය දිනාගෙන ඇත.

    මෙම නිමැවුම් අතර වඩාත් කතාබහට ලක් නොවන සෙයක් පෙනී යන අපූරු සෙල්මුවා නිමැවුම් ලෙස විවිධ ප්‍රමාණවල, විවිධ හැඩැති පොකුණු සමූහය දැක්විය හැකිය. මේවා තුළින් සුවිශේෂි කලා ආරක්ද දැකිය හැකි ය. එදා සිය පියා ඝාතනය කරවා ඔටුන්න හිමිකැරගත් කාශ්‍යප නිරිඳුන් සීගිරි පර්වතය ආශ්‍රිතව තනිකරම ගලෙන් නිර්මාණය කරවා ඇති පොකූණු ඇතුළු නිර්මාණ දෙස්-විදෙස් සංචාරකයන් මෙන්ම කවියන්, සිත්තරුන්, ලේඛකයන් සහ නිර්මාණකරුවන් මෙන්ම විද්වතුන් ද ප්‍රමෝදයට පත්කැර ඇත. ඒවා දෛනිකවම ජනතාව අමන්දානන්දයට පත් කෙරෙන ආකර්ශණ බවට පත් වෙමින් තිබේ. සීගිරි පර්වතය මතට ජලය පොම්ප කැර ඇති ක්‍රියාවලිය අදට ද අභිරහසකි. ගලින්ම නිර්මාණය කරන ලද නල මාර්ගයක් ඔස්සේ පියවරෙන් පියවරට කිසියම් පීඩනයකට බඳුන් කරන ලද ජලය වතුර මලින් මලට ටික ටික ඉහළට පොම්ප කිරීමෙන් ගල මුදුනටම ජලය ගෙනගොස් ඇතැයි යන මතයක් පවතී.

    තවත් මතයකට අනුව සීගිරි ගලට වඩා ටිකක් උස ස්ථානයක සිට ජලය ගල මුදුණට පොම්ප කරන්නට ඇතැයි විශ්වාස කැරේ. එම ක්‍රියාවලිය වර්තමානයේ නිවෙස්වල මුළුතැන්ගෙයි චිමිණිය හෝ වහළය මත ටැංකියක සිට අවශ්‍ය ස්ථානවලට ජලය පොම්ප කිරීම හා සමානය. සීගිරි පර්වතය මත ඇති පොකුණ ගලෙන්ම නිමවා ඇත්තේ ගල හාරා කොටස් ඉවත් කිරීමෙනැයි ද කියැවේ.

    සීගිරි ගල පාමුළ නිර්මිත අලංකාර උද්‍යානයේ ගලින් මෙන්ම ගඩොලින් ද නිමවන ලද පොකුණු ගණනාවකි. එහි සීතල මාළිගාව පිහිටා තිබූ බව කියැවෙන ස්ථානයේ පිහිටි පොකුණ ප්‍රමාණයෙන් විශාලය. ගල පාමුල දිගින් වැඩි පළලින් අඩු , තට්ටුවෙන් තට්ටුවට ගැඹුරින් වැඩි පොකුණ අපූරු නිමැවුමකි. එය නිමවා ඇත්තේ මැනැවින් නෙලා සකසන ලද ගල් කුට්ටි ඇතිරීමෙනි.

    සීගිරි උද්‍යානයේ පිහිටි ‘සතුටු උයන‘ හා එහි පිහිටි පොකුණු ආසියාකරයේ හෝ ඇතැම් විට ලොව අන් කිසිම ස්ථානයක දක්නට නැතැයි ද කියනු ලැබේ. එය එතරම් ම මන බන්දනීය නිර්මාණයකි. මෙය නිමවා ඇත්තේ කාශ්‍යප රජුගේ තනි තීරණයකටය යන මතයක් ද පවතී.

    ගල් පොකුණු පිළිබඳව විමසා බැලීමේදී මිහින්තලාවේ පොකුණු ත්‍රිත්වයට වෙසෙස් තැනක් ලැබේ. කළුදිය පොකුණ, සිංහ පොකුණ සහ නාග පොකුණ මිහින්තලා පුදබිමේ විසූ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා නිමවා තිබීම වෙසෙසින්ම සඳහන් කළ යුත්තකි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ අනුරපුරයේ රජ කළ අග්ගබෝධි ( 575-608) නිරිඳුන් මෙම ස්වාභාවික පොකුණ වැඩි දියුණු කැර ඇතැයි සඳහන් වේ. මෙහි විශේෂත්වය වනුයේ පෙන පහක් ඇති නාගයකු සහිතව තනි ‘ග්‍රැනයිට්‘ ගලක නෙලා ඇති නාග පොකුණේ සිට ශෛලමය නළ මාර්ගයක් දිගේ ඊට මීටර සිය ගණනක් පහළින් නිර්මිත සිංහ පොකුණට පානීය ජලය පොම්ප කිරීමය.

    එම පොකුණේ දෙපයින් සිටගෙන සිටින සිංහ සිරුරින් ජලය ලබා ගැනීමට සළස්වා තිබේ. මෙහි පිහිටි කළුදිය පොකුණ භික්ෂූන් වහන්සේලාගේ ජලස්නානය සඳහා වැඩි ඉඩකඩක් සහිතව නිමවා ඇත. මෙය කරවා ඇත්තේ කාශ්‍යප රජතුමා විසින් ක්‍රි.පූ. 898-914 දීය. මෙයට කළුදිය පොකුණ යන නම භාවිතා කැර ඇත්තේ එය වටා සුවිසල් තුරු ලතා පිහිටා තිබීම හේතුකොට ගෙන පොකුණට අඩුවෙන් හිරු එළිය පතිතවීම නිසා එහි ජලය කළු පැහැයෙන් දිස්වීමය.

    ගලින් නිමවූ ඉපැරැණි පොකුණු අතර වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ අනුරපුර කුට්ටම් පොකුණය. එක ළඟ එකම ප්‍රමාණයකට සැලැස්මකට නිමවා ඇති මෙම පොකුණු යුගලයේ ශෛලමය කැටයම් මනාසේ නිමවා ඇත. පොකුණු පියගැට පෙළවල් දෙපස නිමවා ඇති පුන් කළස් පොකුණුවලට කලාත්මක බවක් පමණක් නොව, ගාම්භීර පෙනුමක් ද එක් කැර තිබේ.

    පොකුණු කෙළවර ශෛලමය බැම්මේ නෙලා ඇත්තේ දිය නාන ඇතුන් ය. මෙම පොකුණු පත්ල ද ගලින්ම නිමවා ඇති අතර එහි කකුළුවන්, මාළුන්, හක් බෙල්ලන් ආදීන්ගේ රූප නෙලා ඇතැයි කියැවේ. ක්‍රිස්තු පූර්ව 575-608 සියවසේ අනුරපුර රජ කළ අග්ගබෝධි නිරිඳුන් විසින් මෙය කරවා ඇත.පොළව යටින් ඵලන ලද ගලින් කළ නල මාර්ගයක් ඔස්සේ පොකුණු වලට ජලය ලබාගෙන ඇති අතර කුටි හතරකදී එම ජලය පෙරී පිරිසිදුවී පොකුණු වලට යොමු කැර තිබේ.

    නිශ්ශංකමල්ල රජ සමයේදී පොළොන්නරු පුරවරයේ නිර්මිත බව සැළකෙන නෙළුම් පොකුණ ප්‍රමාණයෙන් කුඩා වුව ද අපූරු නිර්මාණයකි. නෙළුම් පොකුණ රඟහල තැනීමේදී මෙම පොකුණේ ආභාෂය ලබා ගන්නට ඇතැයි කියනු ලැබේ.

    මෙම පොකුණු නිර්මාණය කිරීමේදී ග්‍රැනයිට්, මාබල්, සර්පන්ටයින්, හුණුගල් මෙන්ම තිරිවානා ද උපයෝගී කැරගෙන තිබේ. රන්ගිරි දඹුලු විහාරය ඉදිරිපිට ගල් තලාවේ පිහිටි වටකුරු පොකුණ ද ජන ආකර්ශණයට නිබඳවම ලක්වේ. ඉසුරුමුණියට නුදුරින් පිහිටි රන්මසු උයනේ පොකුණු ද ඉපැරැණි ගල් වඩුවන්ගේ නිර්මාණ කෞෂල්‍යය කදිමට විදහා දක්වයි.

    නිමල් විජයතුංග

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here