ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීම සඳහා සුදුසු ඉඩම් කඩිනමින් හඳුනා ගන්න ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට බැසිල් රාජපක්ෂගෙන් උපදෙස්

0
24

 

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහාත් 2021 අයවැයෙන් යෝජනා කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගා වැඩසහටන පවත්වා ගෙන යෑම සඳහා සුදුසු තත්ත්වයේ පවතින ඉඩම් හඳුනාගෙන කඩිනමින් කළමනාකරණය කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඉඩම් විෂයට අයත් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

‘ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට’ ජාතික වැඩසටහනට සමගාමිව පෙරේදා (12) අරලියගහ මන්දිරයේ පැවති ඉඩම් විෂයට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.

නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා පරිහරණයට සුදුසු ඉඩම් කළමනාකරණය කර දීමේදී ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙන බවද ඒ මහතා සඳහන් කෙළේය.

ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුවක් වන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කර ඇති ජාතික සේවාවන් ප්‍රශංසාවට ලක් කළ බැසිල් රාජපක්ෂ මහතා තම තමන්ගේ බල ප්‍රදේශවල තිබෙන පරිහරණය සඳහා සුදුසු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ද ඉඩම් විශයට අදාළ ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන සඳහා සියලු නිලධාරීන්ගේ සහය ලබාදෙන ලෙසත් ග්‍රාමීය කමිටුවල සාමාජිකත්වය දරමින් ප්‍රාදේශීය උප කමිටු වන කෘෂිකර්ම හා ජීවනෝපාය කමිටුවලට සහය දක්වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව,ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, මැනුම් හා සිතියම් ගත කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් අත්කර ගැනීමේ වන්දි සමාලෝචන මණ්ඩලය මෙම වැඩසටහන සඳහා දායක වේ.

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අක්කර 25000ක්, දේශිය කෘෂි නිෂ්පාදන ප්‍රවර්ෂනය සඳහා ගොවි ප්‍රජාව වෙනුවෙන් අක්කර 75000ක් සහ ව්‍යාපාරික ප්‍රජාවට අක්කර 25000ක් ලබා දීමට යෝජිතය .

එමෙන්ම කර්මාන්තකරුවන් සඳහා ඉඩම් ලබාදීම, තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබාදීම, දැනටමත් හඳුනාගෙන ඇති රජයේ ඉඩම් පරිහරණය කරන්නන් වෙත කඩිනමින් නීත්‍යානුකූල ලියවිලි නිකුත් කිරීම, ජනතාව වෙත ලබාදී ඇති රජයේ ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීම යන වැඩසටහන් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2021 අයවැයෙන් බිම් සවිය වැඩසටහන යටතේ දීමනා පත්‍ර 20000ක් ලබාදිම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්, ඉඩම් අහිමි අඩු ආදායම්ලාභීන් 50000ක් සඳහා දීමනා පත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 45ක්, ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම හා යාවත්කාලීන කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්, අත්පත් කටයුතු වෙනුවෙන් වන්දි ලෙස රුපියල් මිලියන 2593ක්, මැනුම් උපකරණ සඳහා රුපියල් මිලියන 600ක් සහ ජංගම සේවා වෙනුවෙන් රුපියල් මිලියන 7ක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් වී ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අැමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළු ,දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here