නිර්මාණවලදී වැදගත් වන්නේ ශික්ෂාවයි

0
24
චත්‍රක් තැනූ විමුක්ති ජයසුන්දර
ජනවාරි 14, 2021

– අපි තව කෙනකුට යමක් හිතන්න පොලඹවන්න නම් අපි ඒ ගැන කොයි තරම් හිතලා තිබිය යුතුද?
– බෙංගාලි භාෂාව සිංහල භාෂාවට ඉතාම සමීපයි
– ඉන්දියාවේ යම් තරුවක් කියන්නේ හරි කරදරකාරී ජීවිතයක්
– අනිත්‍යය කතා කරන්න කලින් බොහෝ දේවල් තිබෙනවා සාකච්ඡා කරන්න
– ශ්‍රමණ කියන්නේ රජාත් යාචකයාත් යා කරන ගුණවත්කම
– අපි හරි අමාරුවෙන් දේවල් ලබා ගත්තේ

අප රටේ තරුණ සිනමාකරුවන් අතර ආන්දෝලනාත්මක මෙන්ම, සම්මානනීය චරිතයක් වූ විමුක්ති ජයසුන්දර විසින් නිර්මාණය කරන ලද නවතම චිත්‍රපටය චත්‍රක්. එය බෙංගාලි-ශ්‍රී ලංකා චිත්‍රපටයක් කීවොත් වඩාත් නිවැරැදියි. අන්තර්ජාතික සිනමා උලෙළ 21ක් නියෝජනය කළ චත්‍රක් පසුගිය 8 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යෙදුණා. ඒ ජනවාරි පළමුවැනිදා සිට සිනමාහල් විවෘත කිරීමට රජය ගත් තීරණයත් සමඟින්. මේ ඔබට ගෙනෙන්නේ චත්‍රක් කෘතිය හා වත්මන් ලෝකයේ සිනමාව පිළිබඳ සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර සරසවියට දැක්වූ අදහස් බිඳක්…

බෙංගාලි චිත්‍රපටයක් කරන්න ඔබ යොමු වුණේ ඇයි?

මෑතක තමයි අපේ ඔළුවේ හින්දි සිනමාව කියන දේ රැඳීලා තිබෙන්නේ. ඒත් කලාත්මක හින්දි සිනමාව ගැන කතා කරද්දි අපි වගේම මුළු ඉන්දියාවමත් ගරු කරන්නේ සත්‍යජිත් රායි කියන නමට. ඔහු බෙංගාලි සිනමාකරුවෙක්. ඉතින් මට ඉන්දියාවේ චිත්‍රපටයක් කරන්න අවස්ථාව ලැබුණාම මම හිතුවා කරනවා නම් බෙංගාලි චිත්‍රපටයක් කළ යුතුයි කියලා. මොකද එය මහා සිනමාකරු සත්‍යජිත් රායිට කරන ගෞරවයක්. බෙංගාලයට ගියාම එය තවත් තහවුරු වුණා.

චත්‍රක් වැනි කතා සංකල්පයක් බිහිවුණේ?

බටහිර ආක්‍රමණ කාලේ ඉන්දියාවේ පැරැණි අග නගරය තමයි කල්කටාව. අද ඒ පැරැණි නගරය තුළ මහ විශාල අමුතුම නගරයක් බිහිවෙමින් පවතිනවා. එය අපේ වගේ සංවර්ධනය වෙමින් සිටින බව කියන රටවලට පොදුවේ සිදු වන්නට නියමිත කතාවක් සිදුවෙමින් පවතින තත්ත්වයක්. මම එය දැක්කා. ඒ ගැන සොයාගෙන යද්දි චිත්‍රපටයේත් ඇත්තටම ඉන්න කම්කරු පිරිසක් තමන්ගේ ඉඩම් ඒ ගොඩනැඟිලිකරුවන්ට විකුණලා ඒ තැන්වලම කම්කරුවන් ලෙස කුලියට වැඩ කරනවා. දවසක ඒ අයට ඉඩමත් නෑ රස්සාවත් නැතිවෙන්න නියමිතයි. ඒ අතර ඩුබායි සිට මවු රටට ආපසු පැමිණි ගෘහනිර්මාණ ශිල්පියෙක් හමුවුණා. ඔහු එන්නේ තමන් වෙනුවෙන් බලා සිටින පෙම්වතිය කසාද බැඳලා හොඳීන් ජීවත් වෙන්න. ඒ ආවාම තමයි දැනගන්නේ තමන්ගේ මල්ලි උන්මත්තකයෙක් වෙලා ඉන්න බව.

ඒ කියන්නේ මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක්?

සත්‍ය කතා කීපයක් එකට අමුණාගෙන කළ නිර්මාණයක්. ඇත්තෙන්ම ලෝකේ පොදුවේ රටවල ඉන්න බහුතරයක් දෙනා ගැන කියවෙන කතාවක් කියන්නත් පුළුවන්.

මේ සඳහා ඔබට අවස්ථාව ලැබුණේ?

මගේ සුළඟ එනු පිණිස චිත්‍රපටය දිල්ලි නුවර ප්‍රදර්ශනය කළා. එය නරඹන්න පැමිණි නිෂ්පාදකවරයෙක් මට කීවා ඒ චිත්‍රපටයට බොහොම කැමැතියි. ඉන්දියාවේ චිත්‍රපටයක් කරනවා නම් කියන්න මට උදවු කරන්නම් කියලා. 2010 වගේ කාලේ ඔහු මට කතා කරලා දැන් මොකද කරන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ මම විශේෂ යමක් කරමින් හිටියේ නැහැ. ඒ නිසා ඔහු කීවා එහෙනම් ඔබ ඉන්දියාවට ඇවිත් චිත්‍රපටයක් කරන්න කියලා. ඒක හරි පුදුම අවස්ථාවක්. නිෂ්පාදකවරයෙක් සාමාන්‍යයෙන් එහෙම ඉල්ලීමක් කරන්නේ නෑනේ. ඉතින් මම ගියා. මාස හයකට අඩු කාලයකදි සංකල්පය සොයා ගැනීමේ සිට චිත්‍රපටයක සිදුවිය යුතු සියලුම කටයුතු නිමා කරන්න පුළුවන් වුණා. එය හරි අපූරු වැඩක්. 

හැබැයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කල්ගත වුණ එක හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ?

ඒක ඇත්ත. මෙහි කතාවෙන තේමාව තවත් ඉදිරියට තමයි වැදගත් වනවා ඇත්තේ. අනෙක ලංකාවේ යුද්ධයත් නිමා වෙලා අවුරුදු ගාණක් ගිහින් ලෝකයේ සංවර්ධනය පිළිබඳ කතාවෙන හොඳම කාලෙ තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

පසුගිය වසරේ විශේෂ දර්ශනයකදි නැරඹූ චත්‍රක් චිත්‍රපටයේ කිසිම ලිංගික දර්ශනයක් තිබුණේ නැහැ. ඒත් කතාවක් පැතිරුණා එවැනි දර්ශන නිසා තහනමකට ලක් කෙරුණා කියලා?

මුලින්ම පිටපතේ තිබුණ ලිංගික දර්ශනයක් රූගත කළා. ඒත් කැමරාව ප්‍රතිසංස්කරණයට ගෙන ගියාම ඒ දර්ශන චිත්‍රපටයට කලින් එළියට ඇවිත් තිබුණා. ඒ සමඟ ලොකු ආන්දෝලනයක් ඇති වුණා මේ චිත්‍රපටය ගැන. ඒත් අන්තිමට අපි තීරණය කළා අන්තර්ජාලයේ පළ වුණු දර්ශන කොටස් චිත්‍රපටයක පෙන්වීමෙන් වැඩක් නැති නිසා වෙනත් දර්ශනයක් ඒ සඳහා යොදා ගන්න. ඒ නිසා චත්‍රක් චිත්‍රපටයේ කිසිදු ලිංගික දර්ශනයක් නැහැ.

ඔබ බෙංගාලි නළු නිළියන් සමඟ කටයුතු කළේ, ඔබේ සිංහල පිටපත ආදිය කතාව බෙංගාලි භාෂාවට හරවා ගත්තේ කොහොමද?

ඇත්තෙන්ම බෙංගාලි භාෂාව සිංහල භාෂාවට ඉතාම සමීපයි. සමහර දවස්වලට රූගත කිරීම්වලට යන්න ඇහැරෙද්දි උදේට ඇහෙන්නේ අමරදේවයන්ගේ ගීත වැනි ඒවා. ඉතින් ලංකාවේ ඉන්නවා වගේමයි දැනෙන්නේ. අනෙක සංස්කෘතිකමය අතින් වුණත් අපේ සංගීතය ඒ පැත්තෙන් එන්නේ, ශාන්ති නිකේතනය වැනි ආයතන, රවීන්ද්‍රනාත් තාගෝර් වැනි අය අපට දුර නෑ. එතකොට තමයි මට තේරුණේ සංස්කෘතිය කියන දේ හරි අපූරුයි, මිනිසුන් ළං කරන්න එය උදවු වෙනවා, අපේ පරණ ඥාතීත්වයත් ඔය විජයාවතරණයේදි එහෙම කියැවෙනවානේ. ඉතින් මටත් ඕනෙ වුණා ඒ දැනෙන සම්බන්ධය, අපි මේ කතා කරන සිංහල සංස්කෘතියේ නෑයා සොයාගන්න. අද එහි ගියාම මේවායේ තිබෙන කතාව මොකක්ද කියා සොයා බලන්න.

නළුවරණය සිදුවුණේ?

බෙංගාලයේ ඉන්නෙ අතිශය ජනප්‍රිය නළු නිළියන් නෙවෙයි. හැබැයි කලාත්මක නිර්මාණවලට වැඩි කැමැත්තක් දක්වන අය. හැබැයි පොදුවේ සියලු දෙනා ගත්තාම තරු අගයක් සහිත පිරිස. ඒ අතර පාවොලී ඩාම් කියන ශිල්පිනිය සෑහෙන ජනප්‍රිය, කාලයක් හින්දි චිත්‍රපටවලත් රඟ පෑ කෙනෙක්.

රූගත කිරීම් සිදු කළ අයුරු ගැනත් දැනගන්න කැමතියි අපි?

හරි අමාරුවෙන් තමයි කළේ, මොකද ඉන්දියාවේ යම් තරුවක් කියන්නේ හරි කරදරකාරී ජීවිතයක්. රසිකයන් විශාල පිරිසක් පිරෙනවා. ඒ නිසා බොරු කැමරාවක් දාලා වෙන තැනක රූගත කෙරෙන බව පෙන්නලා අපේ රූගත කිරීම් නියමිත තැන කරගත්තෙ. මොකද මට ඔවුන් යෝජනා කළේ තරු සහභාගී වන දර්ශන පුළුවන් තරම් චිත්‍රාගාරවල රූපගත කරන්න කියලා. ඒත් මම කැමැති වුණේ නැහැ සැබෑ ජීවිතයෙන් වෙනස්ව රූපගත කිරීම් කරන්න.

මේ රටේ අධ්‍යක්ෂවරයෙක් පිටරටක චිත්‍රපටයක් කිරීම වෙනස් අත්දැකීමක්?

ඔව්. ඇත්තටම සිනමාව කියන දේ ලෝකෙ හැම තැනම තිබෙන දෙයක්නෙ. සිනමාවෙන් තමයි ලෝකෙ ඕනෑම තැනකට යන්න පුළුවන් එකම මාධ්‍යය. සංගීතයෙනුත් යන්න පුළුවන් වුණත් සමහර අය අනුව, කලාප අනුව ඒ රසවින්දනය වෙනස් වන්න පුළුවන්. ඒත් චිත්‍රපටයක් කියන්නේ රූප නිසා ඕනෑම කෙනෙකුට ඒ දිහා බලන් ඉන්න පුළුවන්. අන්න ඒ හැකියාව සිනමා නිර්මාණකරුවකුටත් තිබෙන බව මොකක්‌ හෝ හේතුවකින් අපට අමතක වෙලා තිබෙනවා. මොකද අපි ඉන්න භාෂාමය, සංස්කෘතිකමය ලෝකයක හිරකරන නිසා අපට ඒ දේවල් එළියට ගිහින් කරන්න බැහැ, අපි කරන දේවල් පිටට පෙන්වන්න බැහැ කියලා මතයක ඉන්න නිසා. ඒත් මගේ පළමුවෙනි චිත්‍රපටයේ සිටම අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් ලැබුණු නිසා මට ඕනෙ වුණේ එහි අනෙක් අතට යොමු වන්න. මම දැක්කා මගේ මුල් චිත්‍රපටයම වෙන රටවල අය කියවන විදිහ. එය මට හරි වැදගත් වුණා. අනෙක මෙක්සිකෝවට ගියත්, චීනෙට ගියත් එහි සාමාන්‍ය ප්‍රේක්ෂකයන් පවා කීවේ ඔබ‌ට පුළුවන්නේ මේ වගේ චිත්‍රපටයක් අපෙ රටෙත් හදන්න කියලා. අද අපි ගන්න කෑම බීම, සබන් කෑල්ල පවා බැලුවොත් ජාත්‍යන්තරෙත් එකයි මෙහෙත් එකයි. ඉතින් ඒවා ඔක්කොම එක වෙලා අනෙක් ටික විතරක් අපේ වෙන්නෙ කොහොමද?

ඔබ කියන්නේ විශ්වගම්මානය සංකල්පය ගැනද?

එහි හොඳ පැත්ත ගැන. බොහෝ දෙනකු විශ්ව ගම්මානයේ ප්‍රශ්න හැටියට ගන්නේ ගෝලීය ධනවාදය වැනි ආර්ථික ප්‍රශ්න ආදිය ගැනනේ. ඒත් මේ මොහොත වනවිට අන්තර්ජාලය කියන්නෙ අපි අන්තර්ජාතික ලෝකයක ඉන්නවා කියන එකනේ. අපි දාන පෝස්ටුවක් ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන්නේ… ඒ වගේ ලෝකෙක සංස්කෘතිකමය වශයෙන් තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත්. මොකද කතාවක් තිබෙනවානේ හෝමෝ සේපියන් කියන මානව වර්ගයාගේ දියුණුවට හේතුව අපි හැමෝම එකම කතාවක් විශ්වාස කිරීම කියලා. ඇත්තෙන්ම අපි ඉන්නේ ලොකු ප්‍රබන්ධයක් තුළනේ. සල්ලි කොළයක් කියන්නේ මොකක්ද? විශ්වාසයක් විතරනේ. ඉතින් ඇත්ත හෙව්වොත් අමාරුවේ වැටෙනවා.

බුදු හාමුදුරුවොත් දේශනා කරනවානේ ලෝක විෂයය අචින්ත්‍යයි. හොයන්න යන්න එපා කියලා නේද?

ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු සමහර දේවල් ඉස්සර අපට මේ මට්ටමින් කතා කරද්දි කියන්න අමාරුයි වගේ තිබුණනේ. ඒත් දැන් වෙද්දි ඒක බොහොම පැහැදිලියි. සරලව මෙහෙම කිව්වනේ කියලා කියන්න පුළුවන් මට්ටමට ඇවිත් තිබෙනවා. ඉතින් අනිත්‍ය කතා කරන්න කලින් බොහෝ දේවල් තිබෙනවා සාකච්ඡා කරන්න, අවබෝධ කරගන්න. ඒ නිසා මටත් ඕනේ මේ පොතේ පතේ ආයතනගතව හිරවෙලා තිබෙන දැනුම එයින් ගලවලා සාමාන්‍ය සමාජයට එකතු කරන්න. අපේ බහුතර දෙනා හිතන්නේ ජීවිතය වෙන දෙයක්, බුදුදහම වෙන එකක් කියලා. එහෙම නෑ. ජීවිතයම තමයි බුදුදහම. ජීවිතය දකින්න තිබෙන හොඳම විදිහ එය නිසා ඒ ඔස්සේ බැලුවාම ජීවිතය පේනවා. එච්චරයි. හැබැයි බුදුදහම කියන වචනය කීවාම සමහරුන් එක පිළකට දානවා. ඒ නිසා අපි එයට කියමු සොබාදහමේ ඇත්ත කියලා. එතකොට මේ ධර්මතාවේ සත්‍යය සහ මිනිසා මානසිකව හදාගත් ප්‍රබන්ධයේ ගැටුමයි මේ තිබෙන්නේ. මිනිස් සමාජයේ ප්‍රබන්ධය තුළ අපි සම්මතයෙන් හදාගත් දේ තුළ හිරවෙලා ජීවත්වෙලා ඒවාට වටිනාකම් හදාගන්නවා, ගහ ගන්නවා, මරාගන්නවා, යුද්ධ කරනවා. ඒ අතර අපි හිතනවා සොබාදහම අපි සමඟ ගැටෙනවා කියලා. එහෙම එකක් නෑ. එහෙම වුණ දාට අපේ අවසානය තමයි. සොබාදහමේ මහා කාරුණිකත්වය අවබෝධ කරගන්නවා නම් ප්‍රශ්නය ඉවරයි. අපි නිර්මාණකරුවන් වන්නේ මිනිස්සු හදාගත් මහා නිර්මාණය අපේ පොඩි නිර්මාණවලින් දෙදරවන්නනේ… එමඟින් සොබාදහම පෙන්වා දෙනවා.

මෙය අන්තර්ජාතික උලෙළ රැසක් නියෝජනය කළා?

කාන්, ටොරෙන්ටෝ වගේ උලෙළ 21 පමණ නියෝජනය කළා. එතැනදි අපි හිතන්න ඕනෙ උලෙළක් ගැන නෙවෙයි. ගිය වැඩේ ගැන.

ඒ කතාව තව ටිකක් පැහැදිලි කළොත්?

මම මේ කාටවත් දොස් කියනවා නෙවෙයි. එහෙම කියන්නත් හොඳ නෑ. මොකද ඒක මේ ලෝකයේ ස්වභාවය. හැබැයි, අපේ රට දූපතක් නිසා බොහෝ දේවල් ගලා එන්නේ නැහැ. ඉන්දියාවේ වගේ නම් මිනිස්සු වීණාව වයමින් පහළට ඇවිදගෙන එනවා ගම් නියම්ගම් හරහා. පොත් ලිය ලිය එනවා. ශිව දෙවියන් පහළට වඩිද්දි කටකතාවලින් හෝ එය කලින් ආරංචි වෙලා. අපේ එහෙම නෑ. එහි හොඳක් වගේම නරකකුත් තිබෙනවා. නරක හැටියට මම දකින්නේ ලෝකයේ පොදු මනුෂ්‍යයාගේ දේවල් එක්කෝ ගුවන් යානයකින් හෝ නැවකින් ගොඩ බහින්නම ඕනේ අපේ රටට. ඉතින් මමත් ඔය පුළුවන් තරම් කරන්නේ අර මහ සමාජයේ කතාවල් මෙහෙට ගෙන ඒම. එතැනදි අපි දූපතක් වීම නිසාම තිබෙන ප්‍රශ්නය තමයි ලෝකෙ තිබෙන ප්‍රධාන නගරවලට යන්න ආසයි, ඒවායේ විචිත්‍රත්වය ගැන කතා කරන්න ආසයි. චිත්‍රපට උලෙළ ගැන කියද්දිත් සමහරු සඳහන් කරන්නේ ඒවා ගැන. එතකොට එය භූමිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒත් අපට වැදගත් වන්නේ එවැනි උලෙළකට ගිය චිත්‍රපටයක් ලෝකෙට වැදගත් වන්නේ ඇයි කියන සාකච්ඡාව. උදාහරණයකට කාන් වැනි උලෙළකට සහභාගි වන ලොව පුරා විචාරකයන් යම් චිත්‍රපටයක් පිළිබඳ දක්වන අදහස් තමයි වැදගත් වන්නේ. නැතුව ඒ රටේ සංචාරයකින් පුද්ගලයාට ලැබෙන සතුට හෝ සංචාරක වටිනාකම නෙවෙයි. අපේ පමණක් නොවේ ලෝකෙ සෑම තැනකම පාහේ බොහෝ නිර්මාණ සිදුවන්නේ හිතන්න අවකාශ ලැබෙන ආකාරයට නෙවෙයි. අවම සිතීමකින් විනෝදාස්වාදය ලබා දීමයි බොහෝ විට සිදු වන්නේ. ඒ ගැන මගේ විරෝධයකුත් නැහැ. ඒවා තිබිය යුතු සහ තිබෙන දේවල්. ඒවා මඟින් හිතන්න පෙලඹෙව්වොත් කම්මැළි වෙනවා. හැබැයි හැමදාම මිනිස්සු එතැන හිනාවෙවී ඉන්නේ නැහැ. ඔවුන් මොහොතක හිතන්න ගන්නවා මෙතනින් එහාට යමක් තිබෙනවා නේද? කියලා. අන්න ඒ මොහොතෙදී මේ චිත්‍රපට ඔවුන්ට මුණගැහෙන්න ඕනෙ. ඒත් අපේ රටේ තිබෙන ක්‍රමවේද, සංස්ථාවේ ප්‍රශ්න, සිනමාශාලා ප්‍රශ්න වගේ ගැටලු නිසා ඒ මුණගැස්වීම සිදුවන්නේ නෑ. එනිසා අපි මේවා හදාගෙන අවුරුදු ගණන් තියාගෙන මුණගස්වන්න බලාගෙන ඉන්නෙ. තවත් පාර්ශ්වයක් කියනවා අපි ඕක මුණගස්වන්න ඕනෙ නැහැ අනෙක් ඒවාම පෙන්වමු කියලා. හැබැයි ඉතින් සිනමාශාලාවල නොපෙන්වූවත් කොහොම හරි මිනිස්සු ඒවා බලන්න මඟක් හොයා ගන්නවා. එය දකින කෙනා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. අපටත් වුණේ ඒ දේමනේ. අපිත් උපතින්ම මේ විදිහට ආවා නෙවෙයිනේ. එක මොහොතක අපේ පන්තියේ ගුරුවරයා හෝ වෙනත් කවුරුන් හෝ නිසා ජීවිතය වෙනස් වුණා. එවැනි වෙනසකට බඳුන් වූ අයට මේ චිත්‍රපට මුණගැස්වීම තමයි අපේ යුතුකම. 

අලුතෙන් බිහිවන සිනමාකරුවන් මේ තත්ත්වයට මුහුණ දිය යුත්තේ කොහොමද?

අපේ කාලේ මේ තරම් පහසුකම් තියා හරියට චිත්‍රපටයක් බලාගන්නවත් ක්‍රමයක් තිබු‌ණෙ නැහැ. ඒත් දැන් අන්තර්ජාලය ආදිය නිසා දැනුම සොයා ගැනීම අපහසු නැහැ. පසුගිය කාලයේ මම සිනමාව ඉගැන්නුවා විශ්වවිද්‍යාල ආදියේ. ඒ තැන්වල ළමයිනුත් පිටරට ගියා. එනිසා විදේශගත වීමත් දැන් අමාරු වැඩක් නෙවෙයි. දැන් වෙලා තිබෙන්නේ දැනුම වැඩි වීම. අද අලුත් පරපුරේ බොහෝ දෙනාට අපි සිනමාව ඉගැන්වූවාට ඔවුන් ඉන්නේ කම්පියුටර් ගේම් ලෝකයේ. පරිගණක යථාර්ථයක ජීවත්වන ඔවුන්ට සමාජ මාධ්‍ය, යූටියුබ් ඔස්සේ තමයි ලෝකය පේන්නේ. අපි ලෝකය දැක්කෙ මිනිසුන් මුණ ගැහිලා, සම්මන්ත්‍රණවලට සහභාගි වෙලා. ඒ දෙක අතර ගැටුමකුත් තිබෙනවා. හැබැයි අද තිබෙන පහසුව ධනාත්මකව භාවිත කරනවා නම් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. අපි හරි අමාරුවෙන් දේවල් ලබා ගත්තේ. දැන් අයට පහසුකම් වැඩි වීම නිසා කම්මැළි වීමේ ප්‍රවණතාවකුත් තිබෙනවා, ව්‍යාකූලබවකුත් තිබෙනවා කළ යුත්තේ කුමක්ද කියලා. මේ වෙලාවේ තරුණ පරපුර කළ යුත්තේ තමන් විසින්ම ඒ ව්‍යාකූලත්වයෙන් මිදීම සඳහා මාර්ගෝපදේශය සොයාගත යුතුයි. ඉස්සර අපි කීවේ ආර්ථික පීඩාව නිසා තරුණ කැරලි ඇති වුණා වැනි කතා. ඒ්ත් දැන් නැතිව යන්නේ මානසික නිදහස.

තාක්ෂණික දියුණුව අද ඉහළයි?

ඔව්. මගේ අතේ තිබෙන දුරකථනයෙනුත් බොහෝ දේ කළ හැකියි. හැබැයි මම කරන්න යන්නේ නැහැ. මොකද නිර්මාණයකදි වැදගත් වන්නේ ශික්ෂාව. අද නැත්තෙත් යම් සිතිවිලි ධාරාවක් සමඟ නිර්මාණයක් මෙහෙයවා ගන්නේ කොහොමද කියන විනය. අපි තරුණ නිර්මාණකරුවන්ගේ බොහෝ නිර්මාණ දකිද්දි දැනෙන දේ තමයි තිරපිටපතක් ලියන්න, ඒ ගැන හිතන්න කාලය මිඩංගු නොකර ඉක්මනින් යමක් කිරීමට තිබෙන හදිසිය. මොකද මේ දේ සිතීමෙන්ම කළ යුතු දෙයක් බව නොහැඟීම. අපි තව කෙනකුට යමක් හිතවන්න නම් අපි ඒ ගැන කොයි තරම් හිතලා තිබිය යුතුද?

අපේ රටේ වත්මන් සිනමා අර්බුදය ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ අලුතෙන් හිතන්න පුළුවන් මිනිසුන්ගේ විශාල අඩුවක් තිබෙනවා. එයට අපේ අධ්‍යාපන ක්‍රමයේ පවා බලපෑම තිබෙනවා. මුල් යුගයේ දැනුම කියලා මිනිසුන් දැක්කේ කටපාඩම. සමහරුන්ට විශ්වකෝෂයක් වගේ කීවෙත් ඒ නිසා. දැන් ඒ යුගය අවසන්. දැනුම හැමෝටම ලබාගන්න පුළුවන්. දැන් තිබෙන්නේ ඒ දැනුමෙන් ප්‍රයෝජන ගෙන නිර්මාණාත්මකව යමක් කළ හැකි, ලෝකයට අපෙන් වී ඇති හානිය වළක්වාගත හැකි කෙනෙක් සෙවීම. නැත්නම් තාක්ෂණය දිනෙක සම්පූර්ණයෙන් අපව පාලනය කරන්න ගනී. මොකද සමූහයක් එකතුවෙලා හදන පරිගණකයක් නැත්නම් රොබෝවක් එක පුද්ගලයකු පාලනය කිරීමට ගත්තාම එයින් බේරීම අපහසුයි. කොරෝනාවෙන් ඒ තත්ත්වයට අපි තවත් ළං කළා. ඔබ දුරින් ඉන්න තාක්ෂණය ඔබ ළං කරයි කියන තැනට ආවා. අපි ඉස්සර නිදහස හොයාගෙන තනිවෙන්න ගියාට අපට දැන් මේ උපකරණ එක්ක එහෙම කරගන්න බැරි වෙලා. ඒ නිසා නිදහස අලුතෙන් අර්ථකථනය කරන්න වෙනවා. ශ්‍රමණ කියන්නේ රජාත් යාචකයාත් යා කරන ගුණවත්කම. රජුට අපි වැන්දාම අපට යමක් දෙනවා. යාචකයාට අපි යමක් දුන්නාම ඔහු අපට වඳීනවා. බුදුන් ඇති කළ ශ්‍රමණ කියන තත්ත්වයට අපිම යමක් දීලා අපිම වඳීනවා. ඒ රජකමත් යාචකයාත් ඒ චරිතය තුළ එකවර ඉන්නවා. එය සියලු පන්තීන් සැබැවින් නියෝජනය වන්නක්. අපි වඳීන්නේ ඒ ගුණයට. ඒත් මුහුණුපොතෙන් අපි ඒ මනුෂ්‍ය ගුණාංගය පෙන්වන්නේ කොහොමද? අපි නොදන්න මිතුරන් සමඟ ඇසුර තමයි ඉදිරියට දියුණු වන්නේ. ඒ නිසා මම සිවුරක් නොඇන්ඳුවාට යම් ආකාරයක මහණ දම් පුරමිනුයි ඉන්නේ. ඉතින් අලුතෙන් හිතන්න බැරි නම් අපි මේ නිර්මාණකරණයෙන් ඉවත් වෙන්න ඕනේ. ලෝකේ ඕනෙ කෙනකුට පුළුවන් දැන් අපි යූටියුබයට දාන දෙයක් බලන්න. ඒ සඳහා සුදුසු නිර්මාණාත්මක දැනුම ආභාසය තමයි නිර්මාණකරුවකුට ඕනෙ වෙන්නෙ. අපේ තරුණ පරපුරට දැන් ඒ අවස්ථාව තිබෙනවා. කාගෙවත් උදවු අවශ්‍යත් නැහැ. ලෝකේ ජනතාවයි, අපේ ජනතාවයි එක තැනකට ගෙන ආ හැකි තැනක් හොයාගන්න වෙනවා. සිනමාවෙනුත් බොලිවුඩ්, හොලිවුඩ් වැනි ඒවායින් අපව වහල් භාවයට ගැනීමට නියමිතයි. ඒවා දිහා බලා හිටියාට අපි එවැනි දේවල් හදන්නෙත් නැතිව මොකක්දෝ කරනවා. ක්‍රිකට් කැමරාකරණයේ භාෂාව පවා දියුණු වූ අවස්ථාවක අපේ සිනමාව දියුණු විය යුතු තරම කොපමණද? ඒ නිසා පැහැදිලිවම අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. නිර්මාණාත්මක බව වැඩිදියුණු වන හැකියාව වර්ධනය වන සහජයෙන් එන හැකියාව දියුණුවන ක්‍රමයක් පෙර පාසල් ක්‍රමයේ සිට ක්‍රියාත්මක විය යුතුයි.

ඔබේ ඉදිරි කටයුතු ගැනත් කියමු?

තිරපිටපතක් ලියලා තියෙනවා. මේ දිනවල අධ්‍යාත්මික කටයුතු පැත්තට වැඩි නැඹුරුවක් තිබෙන නිසා චත්‍රක් කතාවේ මල්ලිගේ චරිතය තවදුරටත් විශ්ලේෂණය වනවා වැනි කතාවක් තමයි එහි තිබෙන්නේ. මොකද ඉස්සර ලෙඩකට ඉස්පිරිතාලේ ගෙනියනවා කියන දේ ඇවිත් තිබෙන්නේ ලාදුරු නිසා. ආරෝග්‍යශාලා කියන දේ ඇති වන්නේ එයින්. ලෙඩුන් අවසන් වෙලා ඒවා හිස් වුණාට පස්සේ ඒවාට දාන්න කෙනෙක් හොයද්දි හසුවන්නේ පාරවල්වල, ගස්උඩ හිටපු, වෙන ලෝකවල දේවල් ගැන හිතපු අය. ඒ සමාජයේ ඔවුන් ගැන තිබුණේ යම්කිසි ගරුත්වක් මුසු හැඟීමක්. ඒත් ඔවුන් රෝහල්ගත කළාට පස්සේ ‘පිස්සු’ කියන දේ සමාජගත වුණා. පෙරදිග ‘පිස්සන්’ නැහැ. එය සම්පූර්ණ අපරදිග වැඩක්. නිකම්ම කාලා බීලා ඉන්න අය සාමාන්‍යයි, එයින් වෙනස්වන අය උන්මත්තකයන් කියල හැඳීන්වීම වැරැද්දක් බව දැන් වෙද්දි බටහිරත් තේරුම් අරගෙන තිබෙන්නේ. මම ඊළඟට දිගටම කරන චිත්‍රපටවලින් ඒ පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here