බෙලිපොළ ගල් කොරි මරුවා උමා ඔයේ ජල උල්පත් සිඳ ජීවිත හා දේපළ බිලි ගනී

    0
    8

    ගල් කොරිය දැන් වන සංරක්ෂණ භුමියටත් ඇවිත් ගොවි පවුල් දහස් ගණනකට පානීය හා වාරි ජල ගැටලු ඇවිත්

    පාර හොඳටම අබලන් වෙලා දරුවන්ගේ ඉගෙනීමටත් බාධා

    ඕ.ජී.එම්. ජයතිලක ගොවි මහතා

    හානිය ගැන අප  දැනුවත් කර නැහැ

    වැලිමඩ ප්‍රාදේශීය සහකාර ලේකම්  කේ.ඒ.එල්.එස්. කළුගමිපිටිය

     

    වැලිමඩ මිරහාවත්ත බෙලිපොළ පිහිටි කළුගල් ‍ෙකාරිය නිසා තම නිවාස හා දේපළවල හානියට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු මැසිවිළි නඟති.

    උමා ඔය බහුකාර්ය වාරි ව්‍යාපාරයට ජලය සපයන මාතැටිල්ල ප්‍රධාන ජලාශයේ ජලපෝෂක ප්‍රදේශයේ මෙම ගල්කෝරිය පවත්වා ගෙන යන බව ප්‍රදේශවාසීහූ පවසති. විශාල පරිසර හානියක් වන මෙම ගල්වළ හේතුවෙන් ජල උල්පත් සිඳී ජල හිඟයකටද පත් විමෙන් උමා ඔය බහුකාර්ය වාරි ව්‍යාපාරයටද ගැටලු මතු විමට ඉඩ ඇතැයිද පැවසේ.

    වැලිමඩ මිරහාවත්ත බෙලිපොළ වත්ත “සොබා“ හි පදිංචි පියවදනී අමරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.-අාචාර්ය රනිල් සේනානායක මහතා බණ්ඩාරවෙල ප්‍රදේශය ආශ්‍රිතව කළ ඒකපුද්ගල වන වගාව පිළිබඳ පර්යේෂණවලට සහාය යවීම සඳහා මා මුල්වරට පැමිණියා. ඉන්පසු මෙහි ස්ථිර පදිංචිකරුවෙක් වුණා.

    මාතැටිල්ල ඔය ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශය වන බෙලිපොළ ගල් කන්ද ආශ්‍රිතව දැනට වසර 20කට පමණ පෙර ගල්කෝරියක් පටන් ගත්තා. මෙම ගල් කොරිය පරිසරයට හානි නොවන ලෙස පවත්වා ගෙන යන මිනිස් ශ්‍රමයෙන් ගල් කඩන තැනක්. එම අවසරය මත පර්වතයේ ගල කැඩිමට පුද්ගයන් දෙදෙනෙක් අවසර ගෙන තිබෙනවා.

    ඉන් පසු මහා පරිමාණ යන්ත්‍ර භාවිත කර ගල් කැඩිම පටන් ගත්තා. ‍ෙම් සමඟ ගල් කොරිය අසල පදිංචි පවුල් 25කට පමණ හා ඔයේ නැඟෙනහිරෙ පිහිටි බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේක‍ෙ කෝඨාසයට අයත් නිවාස 15ක්ටද හෙණහුරා ලැබුවා.

    මා පදිංචි නිවසට ගල් වෙඩිවලින් විසිවෙන ගල් කැබලි වැටෙනවා. මේ විනාශය ගැන වග කිවයුතු සියලු දෙනාටම දැනුම් දුන්නා. විසඳුම් නැති තැන විරෝධතා උද්ඝෝෂණද කළා. අවස්ථා තුනකදි ගල්වල තහනම් කළත් නැවත අවසරය දුන්නා. මෙම ගල් කෝරිය නිසා සිදුවන හානිය වැඩිවිමත් සමඟම මම ජිවිත ආරක්ෂාව පතා තාවකාලිකව පදිංචිය වෙනස් කළා.

    රජයේ භුමියෙන් ආරම්භ කළ ගල් කොරිය අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භුමිය දක්වා ව්‍යාප්තව තිබෙනවා. ගල් වෙඩි සවිකරන්න අඩි 10- 12 වැනි ගැඹුරට ‍ෙබා්ර ගසනවා. එකවර ගල් වෙඩි 20 – 25ක් එකවර පුපුරුවා හරිනවා. මේ නිසා අධික ශබ්දය දරාගන්න බැහැ. ගැලවි කැඩී යන ගල් කැබලි ඈතට විසි වෙනවා. එම ගල් කැබලි අපේ නිවාසවල වහල මතටද වැටෙනවා. නිවාසවල හා ගෙබිමිද පිපිරිමට ලක් වෙනවා.

    මෙයට අමතරව උමා ඔය බහුකාර්ය වාරි යෝජනා ක්‍රමයට අයත් ඩයරබා ප්‍රධාන ජලාශයේ පෝෂණය වන මාතැටිල්ල ඔයද සිඳී යෑ‍ෙම් අවදානමක්ද මෙම ගල් කොරිය නිසා මතු වෙලා. මෙම පරිසරයට සිදු වන විනාශය ගැන රජයේ වග කිවයුත්තන්ට දැනුවත් කළා. මෙම ගැටලු ගැන දන්වන ලිපියකට වත් පිළිතුරක් එවිමටවත් මෙම ආයතන පියවර ගන්නේ නෑ. අපේ ඉඩම් ගල් තට්ටු මතයි පස් පිහිටා තියෙන්නේ. ගල්වෙඩි දැමිමත් සමඟ ප්‍රදේශයම දෙදරුමේ කමින් පොළව සෙලවෙනවා. එනිසා ගල් මතුපිට පස් බුරුල්ව නාය යෑමටද ඉඩ තිබෙනවා. මෙම අවදානම භුවිද්‍යා එකට පැමිණිලි කළත් කිසිම විසඳුමක් නෑ. මෙම ගල්වල නිසා අපට සිදුව ඇති විනාශයට විසඳුමක් දෙන ලෙසට රජයෙන් ඉල්ලනවා.

    මිරහාවත්ත වැලිකඩගම පදිංචි ඕ.ජී.එම්. ජයතිලක ගොවි මහතා (69) – බෙලිපොළ කළුගල් කෝරිය නිසා බෙලිපොළ අක්කර 25ක පමණ කුඹුරුවල වගාවන්ට වාරි ජලය රැගෙන යන වාරි ඇළට බරපතළ හානි සිදු වෙලා. ගොවිජන සේවා මධ්‍යස්ථානය දැනුම්වත් කළත් විසඳුමක් නෑ. කළුගල් වැඩපොළ පවත්වාගෙන යන බෙලිපොළට බස්නාහිරින් වැලිකඩගම කුඹුරුවල ජල පෝෂකද සිඳී යෑමට ලක් වෙලා. එ්නිසා ගොවි පවුල් දහස් ගාණක් පානීය හා වාරි ජල ගැටලුවලට මුහුණපා සිටිනවා. එම නිසා වසර පුරා වගා කළ අප අද වන විට වසරකට වරක් වැසි ජලයෙන් වගා කිරිමට සිදුවෙලා.

    මෙම බෙලිපොළ ගලකොරියේ වැඩ අලුයම 5.30 සිට රාත්‍රී 7ට වන තෙක් වැඩ කරනවා. එකවර ගල්වෙඩි 20ක් පුපුරුවා හරිනවා. පළාතම දෙදරුම් කනවා. පාසල් දරුවන්ට ඉගෙනගන්න ගැටලු මතුවෙලා. නිවාසවල බිත්ති පිපිරිමට ලක්වෙලා. දවසකට ලොරි 50-60ක් පමණ යනවා. සැහැල්ලු වාහන ධාවනයට අවසර ඇති මෙම පටු මාර්ගයේ කළුගල් ලොරි ධාවනය කිරිමෙන් අබලන් වෙලා. එසේම මාර්ගය පටුවීම නිසා පාගමනින් ඇවිද යන පාසැල් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද අනතුරුවලට ලක් වෙනවා.

    වැලිකඩගම බෙලිපොළ කඳු වැටියේ රජයේ වන වගාවට අයත් පයිනස් වගා වෙනුවට දේශීය ශාක වර්ග වැවිමට පටන් ගත්තා. එම ව්‍යාපෘතියට ලක්ෂ 20ක මුදලක් ලැබුණා. මෙම ගල් කොරිය නිසා එම ව්‍යාපෘතියද විනාශයට පත්වුණා.

    මිරහාවත්ත වැලිකඩගම පරිසරවේදියකු වන ඩි.ඇම්. ලලිත් චමින්ද කුමාර මහතා – බෙලිපොළ කළුගල් කොරිය නිසා අපේ ගම්මානවල ජනතාවට මෙන්ම පරිසරයටද සිදු වන හානිය අති විශාලයි. මෙම ගල්කෝරිය අවට භුමිය තද බෑවුම් සහිතයි. එ් නිසා මෙම ගල් කැඩීමට යොදන අධික පිපිරිවීමි නිසා අවට පිහිටි නිවාස පදිංචි පවුල් විශාල පිරිසක් අවදානමකට ලක් වෙලා. මෙම බෑවුම්වල ඉදි කර ඇති නිවාස නාය යෑමට ලක්ව ජිවිත හානි වීමට ඉඩ කඩ තිබෙනවා. අහිංසක ගැමියන්ගේ ජිවිත හා දේපළ මෙන්ම පරිසරයද රැකගන්න දැඩි උත්සහයක් වසර 10-15ක් විතර දැඩි සටනක නියැළුණා. නිසි විසඳුමක් නොලැබීම ගැන ඇත්තේ බරපතළ කනගාටුවක්.

    වැලිමඩ ප්‍රාදේශිය සහකාර ලේකම් කේ.ඒ.එල්.එස්. කළුගමිපිටිය මහතා – වැලිමඩ ප්‍රදේශයේ රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය කළුගල් ගන්නේ බෙලිපොළ ගල් කොරියෙන්. මෙම කළුගල් කොරියට භුවිද්‍යා – පුරාවිද්‍යා හා පරිසර ඇතුළු රජයේ විවිධ ආයතනඅවසර දී තිබෙනවා. කළුගල් කැඩීම සිදුවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භුමියක. ඒ නිසා බෙලිපොළ කුඹුරු යායට වාරි ජලය ගන්නා ඇළ මාර්ගයට හානි සිදුව ඇති බවට ගොවි සංවිධාන මෙතෙක් ගොවිජන සේවා නිලධාරීන් හෝ මා දැනුවත් කර නැහැ. දැනට නිවාස හා පරිසරයට සිදුවන හානිය පිළිබඳ ලැබී ඇති පැමිණිලි බදුල්ල දිස්ත්‍රික් පරිසර කොමිටියට ඉදිරිපත් කර පරික්ෂණයකට යොමු කර තිබෙනවා.

     

     

    වැලිමඩ සමුහ –

    ආර්. රාජමන්ත්‍රී

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here