මම කැමැති නෑ කවුරුවත් හිරේ යනවට: ඒත්, අධිකරණයට අගෞරව කළොත් පැවැත්මක් නෑ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

0
28

 ක්‍රිසන්ති විතාරණ කිසිවකු හිරේ යනවාට කැමති නැති නමුත් අධිකරණයට අගෞරව කරනවා නම් එතැනින් එහාට රටක පැවැත්මක් නැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රිදීගම රම්බඩගල්ලේ පිහිටි විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිරගත කිරීම පිළිබඳ විමසූ පැනයට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය

“මම කනගාටු වෙනවා මේ සිද්ධිය ගැන. මොකද මම කවුරුත් හිරේ යනවට කැමති නැහැ. යහපාලන ආණ්ඩුවෙන් බොරු පැමිණිලි, බොරු සාක්ෂි හදලා, විනිශ්චයකාරතුමන්ලාට කතා කරලා, එෆ්.සී.අයි.ඩී.යට කතා කරලා මොනතරම් අපරාධ කළාද පහුගිය අවුරුදු පහේ. රටට වැඩ කරපු මිනිස්සු හිරේ දාලා ව්‍යාපෘතිවලින් හොරකම් කළා. මහ බැංකුව එක වතාවක් නෙමෙයි දෙවතාවක් කඩලා හොරකම් කළා. ආර්ථිකය විනාශ කළා. අප හොඳට අත්දැකීම් ලබපු අය. අපට තිබෙන ශක්තිය නිසා තමයි අප මේවට එඩිතරව මුහුණ දුන්නෙ.

“රංජන් රාමනායක ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. උසාවියට අගෞරව කරනවා නම් එතැනින් එහාට රටක පැවැත්මක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි අපේ ආණ්ඩුවටයි ගැහුවා හිටපු අග්‍රවිනිශ්චයකාරතුමිය අයින් කෙරුවා කියලා. උසාවියට ඇඟිලි ගැහුවා කිව්වා. හැබැයි අපි එහෙම කළේ නැහැ. රටේ නීති අනුව තමයි ඒක කළේ. ඔවුන් තමයි නීතිය අවනීතිය කළේ.

“මොහාන් පීරිස් ඉවත් කළේ අසාද් සාලි ගිහින් තර්ජනය කරලා. ඒවා ගැන හොයන්න ගත්තොත් ගොඩක් අය හිරේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය හා මනුස්සකම නිසා තමයි ගොඩක් අය බේරිලා ඉන්නේ. හැබැයි රන්ජන් රාමනායක මහත්තයා හිරේ ගියේ උසාවියට අපහාස කරලා. විනිශ්චයකාරවරුන්ට දුරකථන ඇමතුම් දීලා නෙවෙයි, තව ඒවා හුඟක් තියෙනවා හොයනවා නම්. මම නම් කනගාටු වෙනවා ඇත්තටම. මම කවුරුත් හිරේ යනවට කැමති වෙන කෙනෙක් නොවෙයි.”

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here