මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන අක්තපත්‍ර බාර දෙයි

0
34

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා විධිමත් ලෙස හා සන්ධාන විධිවිධානවලට අනුකූල වන පරිදි, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා වෙත සිය අක්තපත්‍රයේ පිටපතක් බාර දී තිබේ.

හොං මහතා, ශ්‍රී ලංකා තානාපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර කීර්තිමත් හා පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයකු වන තානාපතිවරයාව පිළිගැනීමට හැකි වීම ගැන චීනය සතුටු වන බව ද ප්‍රකාශ කර තිබේ. ඒ මහතාගේ ධුර කාලය තුළ දී දෙරට අතර සබඳතා තවදුරටත් සමෘද්ධිමත් වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද හොං මහතා පෙන්වා දී ඇත.

කොවිඩ්-19 හා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳවත් චීනයේ සිටින කාලය තුළ දී තම ප්‍රමුඛතා පිළිබඳ ආචාර්ය කොහොන මහතා, හොං මහතාට කරුණු දක්වා තිබේ. චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමුව ඇති බව හොං මහතා මේ හමුවේදී පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පෞද්ගලික පණිවිඩයක් ද රැගෙන ආ බව හෙතෙම පැවසූ අතර හොං මහතා ඊට ප්‍රතිචාර දක්වමින්, නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳ සතුට පළ කර තිබේ.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here