මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

0
20
ජනවාරි 14, 2021

මගේ කාලය අද කැපවෙන්නේ නව පරපුරකට සංගීත ඥානය ලබාදෙන්නයමහාචාර්ය සනත් නන්දසිරි පිළිබඳ අපි කොතෙකුත් දේ ලියා ඇත්තෙමු. ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂි පුද්ගල චරිතයකි. සංගීතඥයකු, ගායකයකු, වාදකයකු පමණක් නොව ඔහුගේ ජීවන ගමන් මඟතුළ කැපී පෙනෙන විශේෂත්වය වනුයේ ඔහු ගේ‘ ගුරුවරයා ‘යන භූමිකාවය. සිය පෞද්ගලික කැමැත්ත තුළ ද මෙකී භූමිකාවට හිමි වන්නේ අති විශේෂ තැනකි.මෙරට ශාස්තී‍්‍රය සංගීතය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා, එය නිසි ක්‍රමවේදයකින් හරියටම ඉගැන්වීමේ හැකියාව පිළිබඳ ඔහුගේ ඇති කුසලතාවය ගැන වෙනත් කිසිදු තර්කයක් නැත. පුරා දශක ගණනාවක් අති විශාල ගෝල පරපුරක් බිහිකළ ඔහු, අදද මේ මොහොත වන විටත් එකී ඉගැන්වීමේ කාර්යයේ නියුක්ත වනුයේ, එය තමා සතු වන්නා වූ වගකීමක්, යුතුකමක් කොට ගෙනය. මෙකී පරමාර්ථය වෙනුවෙන් එතුමන්ට කිසිදු ආර්ථික බලාපොරොත්තුවක් නොවේ. තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හරියට ශාස්ත්‍රය ඉගෙන සමාජයේ වැජඹෙනු දැකීම ඔහුගේ පරම සතුටය.

ඔහු එම සතුට මේ ජිවිතය කාලය පුරා අනේක වාරයක් විඳ ඇති. රට පුරා මෙන්ම ලෝකය පුරාද ඔහුගෙන් සංගීතය ඉගෙන ගත් බොහෝ පිරිස් වෙති.ගුරුවරයෙකුට විඳීය හැකි එවන් අසිරිමත් සතුටක් විඳීමින් අද සිය දිවියේ සැඳෑ සුවය ගෙවන ඔහු පිළිබඳ මේ සුවිශේෂ සටහන තබන්නට හේතු වූයේද එදා සිට මේ දක්වා සංගීත ඥානය ලබා දෙන ඔහුගේ සිප් හල ‘ ගාන්ධාරී ‘ සංගීත ආයතනයේ සුවිශේෂි වැඩපිළිවෙල ගැනද කතා බහකට එකතු වෙමිනි.

මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි යුවළ ගායක ගායිකා යුවළක් ලෙසින් සිය යුගදිවි ගමන් ඇරඹුමෙන් පසු දූ දරුවන්ට සංගීත ඥානය ලබා දීමේ මේ වැඩපිළිවෙළේ මූලාරම්භය සිදු කර ඇත. මහාචාර්ය සනත් නන්දසිරි භාරතයට ගොස් සංගීත අධ්‍යාපනය හා පුහුණුව ලද අතර මල්කාන්ති නන්දසිරිද යම්තාක් දුරකට මෙරටදී සංගීත අධ්‍යාපනය ලද්දියකි. මේ දෙදෙනාගේ සුසංයෝගය මෙරට සුවහසක් ගීත ශ්‍රාවකයන් පිනවන්නට මියුරු සත්සර රටා මැව්වා සේම දීර්ඝකාලීන වැඩසටහනක් විදියට සංගීත අධ්‍යාපනය ලබා දෙන්නටද මූලික අඩිතාලමක් සකස් විය. ඒ පිළිබඳ මුල් මතකය ගෙන එන්නට මහාචාර්යතුමන් ගේ පි‍්‍රය බිරිඳ මල්කාන්ති අප සමඟ එකතු විය.

‘ අපි දෙන්නා විවාහ වෙලා ටික කලකින්ම මහත්තයා අම්පාර උහන මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා විදියට පත්ව ගියා. ඒ කාලය ඇතුළත එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියකට සංගීත අධ්‍යාපනය ලබා දුන්නා. වසර ගණනාවකට පස්සේ තමයි ඔහු කොළඹට එන්නේ. එය කාලයේ තමයි කොළඹ සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ සේවයට යන්නේ. ඒ කාල සීමා ඇතුළත ඔහුට නොයෙක් වර ආරාධනා, ආයාචනා ලැබෙනවා දරුවන්ගෙන් පෞද්ගලිකව සංගීත විෂය උගන්වන්න කියලා. නොයෙක් වර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉල්ලීම් ඒ විදියට ඉටු කළා. ඔහොම ඉන්න අතරතුර තමයි අපිළිවෙළට කෙරුණු මේ වැඩ පිළිවෙළ අපි පිළිවෙළකට කරමු කියලා පෞද්ගලික පන්ති ආරම්භ කරන්නට පෙලඹුණේ.‘

ඇය මේ කියනුයේ පුරා දශක ගණනාවකට එහා ගිය ඉතිහාසයක මුලාරම්භයකි. එදා ඇයගේත් ඔහුගේත් මූලිකත්වයෙන් ඇරඹි මෙම සංගීත අධ්‍යාපනය ඉන් කලකට පසු එනම් 1998 දී පමණ විධිමත් අධ්‍යාපන කේන්ද්‍රයක් වශයෙන් නාමිකව ආරම්භ කිරීමට ඔවුනට හැකි විය.අද මේ වෙනුවෙන් මේ යුවළ ගේ ආදරණීය දියණිය අනුරාධා නන්දසිරි ද එක්ව සිටීම කොයි තරම් අපුරුවක්ද? සංගීතය පමණක්ම සිය ජීවිතය කොට ගත් දෙදෙනෙකුගේ ජිවිතයේ තම ඉදිරි පරපුරද තමන් ආදරය කළ වෘත්තීයම ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යෑම තරම් සතුටක් මව් පියන් හැටියට ඔවුන්ට තවත් නොවිය හැකියි. ඒ සතුට අද දින අනුරාධා සිය මවටක් පියාටත් උපරිමයෙන් පිරි නමන්නීය. අද ගාන්ධාරී සංගිත ආයතනයේ කළමනා කරන කටයුතු සේම අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද ඈ සිය කාලය කැප කරන්නීය.

‘තාත්තා ගුරුවරයෙක් විදියට සංගීත අධ්‍යාපනය ලබා දෙන්න පෙලඹිලා තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්. ඒ කාලේ තාත්තගෙන් සංගීතය ඉගෙන ගත්ත බොහෝ පිරිසක් ඉන්නවා ගෝල බාලයන් හැටියට. පසුකාලීනව තාත්තා වයි එම් බී එකේ ශාරදා කලා නිකේතනයේ වැනි තැන්වල පෞද්ගලික පන්ති පවත්වලා තියෙනවා. ඒවායින් බිහිවුණ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් රාශියක් තාත්තට ඉන්නවා. මුල් කාලයේ ඔය විදියට අපිළිවෙළට තමයි තාත්තා මේ කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ තාත්තටම කියලා අධ්‍යාපන ආයතනයක් තිබුණේ නෑ. පසු කලකදී තමයි ගාන්ධාරී තියලා මේ අධ්‍යාපන ආයතනය පටන් ගත්තේ. ඒක අපි ඉතාම විධිමත්ව ලියාපදිංචි ආයතනයක් විදියට පටන් ගත්තා. මම විවාහ වෙලා එංගලන්තයේ පදිංචිව ඉඳලා නැවත ලංකාවට ආවට පස්සේ ඒ වැඩපිළිවෙල අපි විධිමත්ව පවත්වාගෙන යනවා.

අපි ඉස්සර පදිංචිවෙලා හිටි පරණ කැස්බෑව පාරේ ගෙදර තමයි මුලින්ම මේ ආයතනය පටන් ගත්තේ.

ගාන්ධාරී ආයතනයට නම යෝජනා කර ඇත්තේද මහාචාර්ය තුමන් විසින්මය.

ඒ පිළිබඳ මහාචාර්යතුමන් ගේ මතකය වූයේ මේ අයුරිනි.

‘ඔය ගාන්ධාරී කියන නම එකපාරටම පිටවුණේ මගේ කටින්මයි. සාමාන්‍යයෙන් අපි කලා කටයුත්තක් වෙනුවෙන් නමක් යොදන කොට ගණ පිහිටීම පිළිබඳ බලනවා. ගාන්ධාරී කියන නමේ ගණ පිහිටිම හොඳයි. ගුරු අකුරු තුනක් තියෙන්නේ. ඒ නිසා අපි ඒ නම යොදා ගත්තා. මේ ආයතනය ආරම්භ කිරීමේ මගේ මූලික අරමුණ වුණේ ශාස්ත්‍රීය සංගීතය හරියට උගන්වන ස්ථානයක් නිර්මාණය කිරීම. අනෙක් අතට ඒ වෙනකොට සංගිතය උගන්වන විවිධ නාමයන් ගෙන් අධ්‍යාපන ආයතන තිබුණත් ඒඒ විෂයයන් උගන්වන්න වෙනවෙන සුදුසුකම් ලත් ගුරුවරුන් කැඳවපු ආයතන තමයි තිබුණෙ. නමුත් මට අවශ්‍ය වුණේ මම ඉන්දියාවේ ගිහින් ප්‍රගුණ කරපු, මම විශිෂ්ටත්වයට පත්වුණු විෂයයන් මම විසින්ම උගන්වන්න. මම ගායනය සහ තබ්ලා වාදනය ඒ අනුව උගන්වන්න පටන් ගත්තා අදටත් මේ ආයතනයේ ගායනය සහ තබ්ලා වාදනය උගන්වන්නේ මම. ‘

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගායකයෙකු වශයෙන් මෙරට සුවහසක් ශ්‍රාවක රසවතුන්ගේ හදවත් තුළ නිධන් ගත වුවුද ඔහුගේ මූලික වෘත්තීය ගුරු වෘත්තීයයි. ගුරුවරයෙකු ගේ සිට විශ්ව වද්‍යාල ආචාර්ය මහාචාර්ය පදවි දක්වා ඔහු පැමිණි ගමන් මඟ තුළ මෙන්ම අද දිනයේ මේ මොහොත දක්වාත් ඔහුගෙන් ඉටු වන මේ අතිවිශිෂ්ට කාර්ය භාරය මේ මුළු මහත් දිවයිනටම සුවිශේෂි වන්නකි. අද දිනයේ කොයි තරම් පිරිසක් සංගීත අධ්‍යාපනය ලබා දෙන්නට පෙළඹි සිටියත් මහාචාර්ය තුමන් සතු අති මහත් වූ අද්දැකීම් සමුදාය මෙන්ම නිරන්තර පුහුණුවෙන් ලබන නිබඳ ශාස්තී‍්‍රය දිවිය අර සියල්ල අබිබවා යන්නට සමත්ය. අද දිනයේ මේ කාර්යභාරය ඉදිරියට පවත්වා ගෙන යන්නට එතුමන්ගේ දියණීය පිවිස සිටිමද මහත් වාසනාවකි. පියෙකුට එවන් දියණියක් සිටීම ද වාසනාවකි.

මහාචාර්ය තුමන් සිය දියණිය අනුරාධාට ඉගැන්නුවේද තම අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට උගන්වන පොදු සංගීත පංතියේදීමය. ඇයට කියා විශේෂ ගුරු මුෂ්ටියක් දෙන්නට ඔහුට නැත. තම සෙවණින් සංගීතය ඉගෙන ගන්නා සියලු දූ දරුවන් ඔහුට එක හා සමානය. ඒ සමානතාවයෙන් ම අනුරාධාද සිය සංගීත අධ්‍යාපනය පියා සෙවණින් නිම කළාය. අද ඇය ගාන්ධාරී සංගීත ආයතනයේ පුහුණු කිරීමේ කටයුතු මෙන්ම න්‍යායික දැනුම ලබා දීමේදීද ප්‍රමුඛව කටයුතු කරන්නීය. ප්‍රායෝගික කටයුතු සියල්ල වෙනුවෙන් අදටත් මහාචාර්ය තුමන් මැදිහත් වෙන අතර එතුමන් ගේ මුල්ම ගෝලයන් කිහිප දෙනෙක්ම ඒ වෙනුවෙන් සහභාගි කර ගනිති.

වර්තමානයේ සංගීත අධ්‍යාපනය වඩාත් පෘථුලව පාසල් විෂය ධාරාව තුළත් , විශේෂයෙන් විශ්ව වද්‍යාවල අධ්‍යාපනය තුළත් පැවතිම නිසා අති විශාල ඉල්ලුමක් ඒ වෙනුවෙන් පවතී. එහෙත් ඒ ඉල්ලුමට අනුව සැපයුමක් සිදු කිරීමට වඩා ගාන්ධාරී ආයතනයෙන් සිදු වන්නේ නිසි ක්‍රමවේදයකට ප්‍රමිති ගතව හරි දේ හරියට ඉගැන්විමය.

‘මේ දිනවල ගාන්ධාරී ආයතනයට අපි නවක සිසුන් ඇතුළත් කර ගන්නවා. වර්තමානයේ පවතින කෝවිඩ් තත්වයත් එක්ක සෞඛය උපදෙස් මත අලුත් පන්ති ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දැනට අපේ නිවෙසේ දුරකථනයට කතා කරලා වැඩි විස්තර දැන ගන්න පුළුවන්. ඤධධචදභ@රචඩධධ.ජධථ ඊ මේල් හරහාත් වැඩිදුර විස්තර දැන ගන්න පුළුවන්.වට්ස් ඇප් හරහා දැනගන්නන නම් 0701 123006 මේ අංකයෙන් දැන ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසයේ සිට පන්ති පවත්වන්න.

ගායකයෙකු , සංගීතඥයෙකු වශයෙන්ද මහාචාර්ය තුමන්ට විවේකයක් ලබන්නට තවමත් අවස්ථාවක් නොමැත. ගීත නිර්මාණය සඳහා පමණක් නොව ගීත ගායනය සඳහාද ඔහුට තවමත් නිබඳ ආරාධනා ගලා ඒ. ඒ අතරම ගෙවුණු හුදකලා කාලය තුළ ඔහු නැවතත් පොතක් ලියන්නට ආරම්භ කර ඇත. ශාස්තී‍්‍රය සංගිතය පිළිබඳ මෙන්ම විවිධ විෂය කරුණු පදනම් කරගෙන ඔහු අතින් ග්‍රන්ථ ගණනාවක්ම රචනා වූ අතර මෙවර එහු අතින් ලියැවෙන්නේ ‘ මා ඇසූ විහිළු කතා නමින් ග්ර න්ථයකි. එවන් කතා අසූවක් පමණ මේ වනවිටද රචනා වී හමාර අතර එය සියයක් දක්වා සම්පූර්ණ වූ පසු ග්‍රන්ථයක් ලෙසින් එළි දැක්වීමට සූදානමක් ද පවතී. මේ අතරම මහාචාර්යතුමන්ගේ නිල යු ටියුබ් චැනලයක් හා සනත් මල්කාන්ති යුවළගේ ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යති.

පුරා දශක ගණනාවක් අපේ සවන් පත් ආදරයෙන් සනහා ලූ මෙරට සංගීත ක්ෂේත්‍රයේ ආදරණීය මහැදුරුතුමන් සෙවණින් සංගීත අධ්‍යාපනය ලබන්නට ඔබටත් ආරාධනා කරමින් එතුමන්ට නිදුක් නිරෝගී සුව දිවියක් ප්‍රාර්ථනා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here