මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සැලකිල්ලට ගන්නවා කම්කරු ඇමැති නිමල් සිරිපාල

0
41

 

‍ මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සහ නිර්ණායක සැලකිල්ලට ගෙන ප්‍රමුඛතා ලැයිස්තු සැකසීම සුදුසු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ (Dr.Razia Pendse) මහත්මිය කම්කරු අමාත්‍යාංශයේ දී ඒ මහතා හමු වූ අවස්ථාවේදීය.

තවදුරටත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.

අප රටේ ආර්ථිකය පවත්වා ගෙන යෑමේ දී මෙරට වැඩකරන පන්තියේ ජනතාව දක්වන දායකත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රමුඛතා ලැයිස්තු සැකසීම වැදගත්. වැඩබිම් හා කර්මාන්ත ශාලාවලට එම එන්නත ලබාදිය යුතුයි. එසේම එහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මත පිහිටා එම එන්නත ලබාදිය යුතුයි.කෝවිඩ් වසංගතය වැඩබිම්වල පැතිරයෑම වැළැක්වීමටත් කෝවිඩ් ආසාදනයට ලක් වන වැඩකරන ජනතාවට සහන සැලසීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට මේ වන විටත් සෑම වැඩබිමක සෞඛ්‍ය කමිටු පිහිටුවීම අනිවාර්ය හා අත්‍යවශ්‍ය කාරණයක් . අදාළ ක්‍රියාකාරකම් වැඩබිම් තුළ ක්‍රියාත්මක වන්නේ ද යන්න පසු විපරම් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් හා කම්කරු නිලධාරීන් කටයුතු කළ යුතුයි. කෝවිඩ් එන්නත බෙදා දීමේ දී විශේෂයෙන්ම ආදායම් අඩු ජන කොටස් සඳහා එය නොමිලේ ලබා දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණය අගය කරනවා.කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන්ගේ සම්මේලනය හා වෘත්තිය සමිති යන සියලු අංශවල පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ –

කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සභාවට පත්කර ඇති එකම ශ්‍රී ලාංකික නියෝජිතයා වන්නේ වෛද්‍ය පාලිත අබේකෝන් මහතායි.කොවිඩ් වසංගතයෙන් මේ රටේ වැඩකරන ජනතාව බේරා ගනිමින්, වැඩබිම් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව පවත්වා ගෙන යන වැඩපිළිවෙළකට සිය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කැමතියි.

මෙම කෝවිඩ් මර්දන එන්නත ලබා දීමට ශ්‍රී ලංකා රජය මඟින් දැනට මනා ලෙස ස්ථාපිත කර ඇති සෞඛ්‍ය සේවා ජාලය ඉතාම උචිතයි.

මෙම සාකච්ඡා අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, අැමැතිවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලයේ ජාතික වැඩසටහන් නිලධාරී වෛද්‍ය වර්ජිනියා මල්ලවාරච්චි මහත්ම මහත්මිහු එක් වූහ.

 

 

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here