රාවණා ගුහාවේ රජ මාලිගයක සලකුණු

    0
    4

    මහා රාවණා රජු හා බැඳුණු සුවිශේෂී ස්ථාන කිහිපයක් පිළිබඳව මෙම කරුණු ඉදිරිපත් කරනුයේ රාවංශය මධ්‍යස්ථානයේ ලේකම්, ශ්‍රී ලංකා අංගම්පොර සම්මේලනයේ කාරක සභික, යක්ක සටන් කලා සංගමයේ ගුරු උපදේශක ලක්මාල් මුණසිංහ මහතා ය.

     

    මහා රාවණ රජු හා බැඳුණු වීර වික්‍රමාන්විත මෙන්ම ඥානාන්විත ක්‍රියා පිළිබඳව විමසිලිමත් වන්නකුට හමුවන අතිශය සුවිශේෂී ස්ථාන කිහිපයකි රාවණා ඇල්ල, රාවණා ඇල්ල ගුහාව සහ නිල්දිය පොකුණ.

    සුදෝ සුදු සේලයකින් සැරසුණු සුන්දර මනාලියක් සේ දිස්වෙන රාවණා ඇල්ල සොබාදහමේ අපූරු දායාදයකි. කුඹල්වල සිට ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝ මීටර් 20 ක් පමණ ගිය විට හමුවන රාවණා ඇල්ල කොටස් දෙකකි. ඉහළ රාවණා ඇල්ල සහ පහළ රාවණා ඇල්ල ලෙස ඒවා හැඳින්වෙයි. පහළ රාවණා ඇල්ලේ උස මීටර් 25 කි. අසල මහා මාර්ගයේ ගමන් ගන්නා පිරිස් නතර වී මෙහි අයස්කාන්ත දසුන නැරඹීම සිරිතකි. වැසි කාලයට දෝර ගලා හැලෙන රාවණා ඇල්ල අතිශය මනස්කාන්තය. එහෙත් ‍මෙසේ අප දකින්නේ පහළ රාවණා ඇල්ලය. ඉහළ රාවණා ඇල්ල මහා මාර්ගයේ සිට නැරඹීම දුෂ්කරය.

    මෙය ආරම්භ වන්නේ කිරිඳි ඔයට සම්බන්ධ කුඩා දිය දහරක් ලෙසය. මහා වනාන්තර මැදින් ගලා විත් රාවණා ඇල්ල ලෙස ගලා හැලෙන මේ රාවණා ඇල්ල මහා රාවණා සමඟ තදින්ම බැඳුණු ස්ථානයකි.

    ඈත අතීතයේදී පහළ රාවණා ඇල්ල හඳුන්වා ඇත්තේ ‘බඹරගම ඇල්ල’ ලෙසිනි. එහෙත් සීතා පැහැරගෙන ආ රාවණා ඇයව සඟවා තබා ඇත්තේ මේ අසල පිහිටි ගල් ගුහාවක බව සැලකේ. එවක් පටන් මෙය රාවණා ඇල්ල ලෙසට සැලකෙයි.

    මහා රාවණා පුරාවත හා බැඳී ඇති අතිශය සුවිශේෂී ස්ථානය වන්නේ රාවණා ඇල්ල ආශ්‍රිතව පිහිටා ඇති “රාවණා ඇල්ල ගුහාව” ය.

    මෙය මහා රාවණා නිතර ආ ගිය ස්ථානයක් වීම, එතුමාගේ රහස් උමං පද්ධතියේ විශේෂ එක් කඩදොරක් වීම, එතුමන්ගේ මාලිගයක් පිහිටා තිබීම ආදී හේතූන් නිසා මෙය රාවණා රජු සම්බන්ධව ඉතා වැදගත්ය. මෙය පිහිටා ඇත්තේ ඉහළ රාවණා ඇල්ලට නුදුරුවය. මේ අවට දකින්නකුට ඕනෑම වේලාවක් බලා සිටිය හැකි මනස්කාන්ත පරිසරයකි.

    උපායශීලි ලෙස ගොඩනංවා ඇති මෙම ගුහාව වෙතට පිවිසිය හැකි මාර්ග දෙකකි. ප්‍රධාන මාර්ගයක් සහ ඊට තරමක් අසීරු අතිරේක මාර්ගයක් ලෙස දෙකකි. අපගේ රාවංශය පර්යේෂණ කණ්ඩායම තෝරාගත්තේ තරමක් අසීරු මාර්ගයයි. අප ළඟා වූ දොරටුව ප්‍රධාන දොරටුව මෙන් නොව, එය පැවැතියේ ළිඳක් ආකාරයෙනි. අඩි 60 ක පමණ ගැඹුරක් එහි විය. අප එම දුර බැස්සේ කඹ සහ ඉණිමං ආධාරයෙනි.

    මෙහි බැස අවට බලනවිට අප මුලින්ම දුටුවේ හාත්පස ඔපමට්ටම් කළ ලෑල්ලක් බඳු අවට බිත්තිය. මෙතැනින් ගුහාව ඇතුළට ගමන් කිරීමට තිබූ මඟ බෙහෙවින් අඳුරෙහි ගිලී තිබිණි. එම නිසා එහි කි.මී. 13 ක් පමණ දුරක් අප ගියේ පන්දම් එළි ආධාරයෙනි. මහා රාවණයන්ගේ පාද ස්පර්ශයට පාත්‍ර වූ මේ ගමන් ම‍ඟෙහි යන විට අප සිත් සතන් තුළට ඇතුළු වූයේ වචන බවට පෙරළිය නොහැකි තරමේ හැඟීම් ධාරාවකි.

    මේ ගුහාව තුළ සුවිශාල රජමාලිගයක් තිබූ බවට විශ්වාස කළ හැකි සලකුණු අදටත් පවතී. අද අප අගනුවරදී දකින මංගල උත්සව ආදිය සඳහා තැනුනු විශාල ශාලා වැනි ශාලා මෙහි යන්නකුට මෙහිදී දැක ගත හැකිය. පිටත සිට දියඇල්ල දෙස බලා එය රසවිඳින්නකුට කිසිසේත් සිතාගත නොහැකි තත්ත්වයකි. මේ ඇල්ල ඇතුළත ගුහාව තුළ පැවතියේ සැබැවින්ම එය එකල ආරක්ෂක උපක්‍රමයක් ලෙස සිතා සිදු කරන්නට ඇතැයි සිතිය හැකිය. ගුහාව පිටතින් කිසිදු වෙනසක් නොකොට ඇතුළත පමණක් ගොඩනංවා ඇති ආකාරයෙන් එය වටහාගත හැකිය. මෙහි ඇතුළත දකින්නකුට මෙහි ඇති රාජකීයත්වය මොනවට වටහාගත හැකිය. මෙතුළ ඇති දැඩි අඳුර මකාලන්නට යොදා ඇත්තේ පළිඟු විශේෂයකි.

    හිරු එළිය මෙම පළිඟු ඔස්සේ මෙතුළට ගැනීමට එතුමා කටයුතු කොට තිබේ. රාවණා රජු විසින් සූර්ය ශක්තිය නිසිලෙස ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය මෙහිදී අවබෝධ කරගත හැකිය.

    මහා වංශයට අනුව උමං මාර්ග තැනූ ප්‍රධාන චරිතය වන්නේ වලගම්බා රජුය. එහෙත් ඊට වසර දහස් ගණනකට ඉහත ඉතා දිගු එමෙන්ම පුළුල් උමං මාර්ග තනා තිබූ මහා මොළකරු වූයේ මහා රාවණයෝය. පසු කලෙක වලගම්බා රජු විසින් භාවිතයට ගෙන ඇත්තේ ද මෙම රාවණා රජු විසින් ගොඩනංවන ලද පැරණි උමං මාර්ග වන්නට ද ඇත.

    වර්තමාන අධිවේගී මාර්ග සිහිගන්වන තරමේ උමං මාර්ග මහා රාවණා විසින් තනා තිබූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි. එතුමා රාවණා ඇල්ල ගුහාවේ සිට වර්තමාන කළුතර බෝ සමිඳු පිහිටා ඇති ස්ථානය දක්වා දිගු උමං මාර්ගයක් ඉදිකොට තිබූ බැව් කියැවේ. මෙම මාර්ගයන්හි එතුමා ගමන් කරනු ලැබුවේ පයින් නොවන අතර ඊට වාහන විශේෂයක් භාවිතා කොට ඇති බව පර්යේෂණවලින් ඒත්තු ගැන්වී ඇත.

    ඖෂධ වර්ග යොදා සෑදු කිසියම් ‘ඉන්ධන’ වර්ගයක් හා සූර්ය බලශක්තිය යොදා මෙම වාහන විශේෂය ගමන් කළ බව ද කියවේ. බොහෝවිට අද අප භාවිතා කරනු ලබන මෝටර් රථ තාක්ෂණයේ මූලාරම්භක අවස්ථාව එයම විය හැකිය. ලෝකයේ මෝටර් රථ නිපදවීමේ පුරෝගාමීන් හට මෙම පැරණි තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව දැනගන්නට ලැබී එය වැඩි දියුණු කිරීමක් වීමට බොහෝවිට ඉඩ ඇත.

    මෙම ගුහාව ආශ්‍රිතව සුඛෝපභෝගී රජ මාලිගයක් තිබූ බවට සාක්ෂි ඇතිවාක් මෙන්ම, රාවණා රජු විසින් විශ්ව සම්බන්ධතා පැවැත්වීමට මෙම ස්ථානය භාවිතා කළ බව විශ්වාස කළ හැකිය. තවද එතුමාගේ දඬු‍ෙමානර යානා සහ වෙනත් යානා මෙහි භූගතව රහසිගතව තබා ඇති බව වටහාගත හැකිය. තව ද මෙහි එක් ස්ථානයක කුඩා ගුවන් පථයක් තිබූ බවට ද විශ්වාසයක් පවතී.

    කෙසේ හෝ‍ මෙහි ඇති භාණ්ඩ ආරක්ෂා කිරීමට නාග කණ්ඩායමක් ද සැඟවී සිටි බැව් පැවසේ. මෙහි ඇතුළත ඇතැම් මාර්ග තුංමන් හන්දි ලෙස තනා ඇත. නිවැරැදි මඟ නොදැන ගි‍යහොත් ඇතුළතදී අතරමංවන පරිදි ඒවා තනා ඇත. එසේම කිසියම් අදෘශ්‍යමාන බලවේග මේ ගුහාව ආශ්‍රිතව පවතින බවට විශ්වාසයක් පවතියි. ‍පොහෝ දිනයන්හි රාත්‍රී කාලයේ මෙම පර්වත මුදුනේ දිස්වෙන එළි ක්ෂණිකව ගුහාව තුළට ඇදී යන ආකාරයක් දුටු බව අවට ගම්වාසීහු පවසති.

    මහා රාවණයන්ගේ සිහිමුර්ජා වී ඇති සිරුර ද මේ ගුහාව ඇතුළත සඟවා ඇති බව ද තවත් විශ්වාසයකි.

    මේ සියලු කරුණුවලට අමතරව මෙම රාවණා ඇල්ල ගුහාව වැදගත් වන තවත් විශේෂ හේතුවක් ඇත. එනම් ‘නිල් දිය පොකුණ’ මෙතුළ පිහිටා තිබීමයි. මෙහි ඇති ජලය නිල් පැහැය නිසා මීට ‘නිල් දිය පොකුණ’ යි කියනු ලැබේ. අදටත් මෙහි ජලය ඉතා පිරිසුදුය. පානයට සුදුසු බැවින් අපි ද එය පානය කළෙමු.

    නිල් දිය පොකුණ තට්ටු හතකින් සමන්විත බැව් කියවේ. එහෙත් අපට යාමට හැකි වූයේ තට්ටු තුනක් පමණි. එහෙත් කෙසේ ‍හෝ මෙම තට්ටු හතම තරණය කරන්නට කවදා හෝ සමත් වුවහොත් මහා රාවණා ඉතිහාසය පිළිබඳව අප මෙතෙක් නොදැන සිටි අතිවිශාල වැදගත් කරුණු රැසක් හෙළිකරගත හැකි වනු නොඅනුමානය. එවිට අපගේ ඉතිහාසය මීට වඩා වෙනස් ආකාරයකින් ලියැවෙනු ඇත.

    භාතිය මදනායක

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here