ලෝකෙ වටේ රවුම් ගහන අපේ ටයර්

    0
    7

    රට පුරා තවත් ආයෝජන ව්‍යාපෘති ගණනාවක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ඒත් සංවර්ධන ව්‍යාපෘති යැයි කී විට ඇතමුන් බිය වන්නේ තමන්ගේ ඉඩකඩම්, ගොවිපළ ආදිය ඊට බිලි වෙයි කියලායි. ඒත් එය අනියත බියක්. කිසිවකුට අගතියක් වන්නට අප ඉඩ තියන්නේ නැහැ.

    අග්නිදිග ආසියාවේ සුවිශාලම ටයර් නිෂ්පාදනායතනය වන රැජිඩ් ටයර් කර්මාන්තශාලාව අද හොරණ, වගවත්ත අපනයන සැකසුම් කලාපයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. එසේම ඉකුත්දා ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහත්වරු ඇතුළු විද්වත් කණ්ඩායමක් සමඟ එහි නිරීක්ෂණ චාරිකාවක නියැළෙන්නට දිනමිණ අපට අවස්ථාව ලැබිණි. මේ ලිපිය ඒ ක්ෂේත්‍ර චාරිකාව ඇසුරෙනි.

     

    රටම එකම වැඩබිමක් වන වගට යෝධ කොළ එළියක් හොරණ – වගවත්ත කර්මාන්තපුරයෙන් දැල්වේ. ඒ අක්කර 260ක් පමණ වන සුවිශාල භූමියකින් අක්කර 155ක් සිසාරා විහිදී පැතිරී තිබෙන රැජිඩ් ටයර් කෝපරේෂන්හි පළමු අදියර නිමා වීම සමඟය. එසේ ඉදිවී නිමාව දැක ලෝකයට විවරවන මෙම දැවැන්ත කම්හල අග්නිදිග ආසියාවේ විශාලතද ටයර් නිපැයුම් යෝධයායි.

    ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ඒ වෙනුවෙන් ආයෝජනය කර තිබේ. දේශීය ආයෝජකයෙක් වශයෙන් නන්දන ලොකුවිතාන මහතා මේ කර්තව්‍යයට උරදී සිටී. එසේම විදෙස් ආයෝජකයකු සමඟ අත්වැල් බැඳගනිමින් මෙහි දෙවැනි අදියරේ වැඩ අරඹන්නට හෙතෙම අපේක්ෂා කරයි.

    දැනටමත් ඊට යුරෝපාකරයෙන් ඉහළ ආකර්ෂණයක් ලැබී ඇත. FERENTINO සන්නාමය මේ හරහා අන්තර්ජාතික තලයට හඳුන්වාදෙන එවැනි එක් නවතම ටයර් නිෂ්පාදනයකි. එවැනි ඉහළම ප්‍රමිතියෙන් යුතු වූ නිෂ්පාදන රැසක්ම රටවල් රැසකටම මෙයින් අපනයනය කිරීමට බලාපොරොත්තු වේ.

    80%ක්ම නිෂ්පාදන විදෙස් ඇණවුම් උදෙසා නිපද වේ. එයින් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය දැවැන්තය. මුළු ලෝකයම පාහේ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වී සිටින මෙකල කුඩා‍ රටක් වශයෙන් මෙරට තරගකාරී වෙනත් රටවල් අබිබවා ආර්ථිකමය වශයෙන් ඉදිරියට පැනගත් පිම්මක් වශයෙන් රැජිඩ් ටයර් කෝපරේෂන්හි මේ නව ආයෝජනය ආර්ථික විශ්ලේෂකයන්ගෙන් සහ විද්වතුන්ගෙන් දැනටමත් ඇගයීමට ලක් වේ. මෙය වෙනස්ම සහ යාවත්කාලීන ආයෝජන මොඩලයක් වශයෙන් ද ඔවුහු මෙම නිෂ්පාදනාගාරය අගයති.

    එහෙත් රටක් වශයෙන් ඉන් සෑහීමකට පත්විය නොහැකිය. අනේකවිධ බාධා කම්කටොලු මැදින් ළඟා වූ මේ සාර්ථකත්වය තව තවත් ඉදිරියට ගෙනයා යුතුමය. එය ආයෝජනයෙන් පමණක් ඉටු වන්නක් නොවේ.

    රටට මහමෙරක් තරම් වන ආයෝජනයේ ප්‍රතිඵල සමාජයේ ඉහළ සිට පහළටම ළඟා කරලීම සඳහා වගකීමක් ආණ්ඩුවට පැවරෙයි. අන් කවරදාකටත් වඩා ඒ කෙරෙහි මෙකල අවධානය යොමුව ඇති සැටියකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු කර්තව්‍යයේ පෙර ගමන්කරුවන් වෙති.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) දැන් ඍජුවම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පවතියි. එසේම ගුවන් සේවා සහ අපනයන කලාප වශයෙන් රාජ්‍ය අමාත්‍යංශයක් ද පිහිටුවා ඇත.

    ඩී. වී. චානක මහතා එම රාජ්‍ය ඇමැති තනතුර දරයි. නිරතුරුවම අපනයන සැකසුම් ක්ෂේත්‍ර කෙරෙහි ඉන් දැඩිව අවධානය යොමු වේ.

    ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි ඇපකැප වී ඊට මඟපෑදීමට රාජ්‍ය ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රමුඛතම කාර්යයක් ඉටු කරයි. දසලක්ෂ සංඛ්‍යාත පුහුණු ශ්‍රම බළකායක් සමඟ ඒ මෙහෙවරේ නිරත ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප 13කි. එමඟින් මෙරට මුළු අපනයනවලින් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරේ. ඒ සඳහා ආයෝජන මණ්ඩලය යටතේ පවතින 2000ක් පමණ කර්මාන්ත ශාලා ගණනකින් දායකත්වය සැපයේ.

    රටට එතරම්ම වැදගත් වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය කාර්යභාරයට පැවැති ආණ්ඩුවෙන් නිසි තැන ලැබුණේ දැයි දැඩි කතාබහකට ලක් වූවකි. එහෙත් මින්මතුවට එය එසේ නොවන්නට වගබලාගන්නා අතරතුර පෙරට වඩා කාර්යක්ෂමව සේම විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක පියවර රැසකි.

    ‘අලුත් විදියට ජීවත් වෙන්න අප අලුත් විදියට හිතන්න හුරුවීම හේතු වෙලා තියෙනවා. ඇත්තෙන්ම 2014 වර්ෂයට කලින් රටම වැඩබිමක් වී තිබුණා. අන්තර්ජාතික වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග හැදුවා.

    දැන් අපි නැවත ඒ වැඩබිමට පිවිසුණා. ඒ කලින්ට වඩා වෙනස් අලුත් ආරකින් නවීන මාදිලියකින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාරිසරික බලපත්‍ර ලද සැණින් දැන් අපනයන සැකසුම් කර්මාන්ත ආරම්භ කරනවා. ඒත් මින් පෙර යටිතල පහසුකම් සම්පූර්ණ කළ පසුවයි නිෂ්පාදන කටයුතු ඇරඹුවේ. ඒ එක් සාධනීය වෙනසක්. අපි කාලය ඉතිරි කරගෙන ආයෝජන අවස්ථා වැඩි කරන්නයි කටයුතු කරන්නේ.

    රට පුරා තවත් ආයෝජන ව්‍යාපෘති ගණනාවක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ඒත් සංවර්ධන ව්‍යාපෘති කීවාම ඇතමුන් බිය වන්නේ තමන්ගේ ඉඩකඩම්, ගොවිපළ ආදිය ඊට බිලි වෙයි කියලායි. ඒත් එය අනියත බියක්. කිසිවකුට අගතියක් වන්නට අප ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම රටේ සංවර්ධනය තිරසාර අන්දමින් ඉටු කරන්නට අපට හොඳින්ම හැකියාව තියෙනවා.’

    ඒ අපනයන කලාප භාර රාජ්‍ය ඇමැතිවරයා දක්වන අදහස්ය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් විස්තර කරන්නේ මෙලෙසිනි.

    ‘මං පසුගිය අවුරුද්දේ මාර්තුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට ආයෝජන මණ්ඩලයට පත්වුණා. ඒ අභියෝගාත්මක වර්ෂයක, අනපේක්ෂිත බාධා රැසකට අපට මුහුණදීමට සිදු වුණා. ඒවාට පිළියම් සෙවීමට අපට බොහෝ වෙහෙසක් ගත යුතු වුණා. එහිදී අපගේ සියලුම සේවක සේවිකාවන්ගෙන් ලද සහාය ඉතා විශාලයි. ඒ අනුව අපට නිෂ්පාදන පහත වැටීමේ අභියෝගයට හොඳින් මුහුණදීමට ඉඩකඩ ලැබුණා. අපනයන ආදායම ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට අපට හැකි වුණා.

    ආයෝජන මණ්ඩලය ඉහළට ඔසවා තබමින් ඊට නිසි තැන ලබාදීම නිසයි අපට ඒ දිනුම ලබන්නට හැකි වුණේ. එහි ගෞරවය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ප්‍රධාන වශයෙන්ම ලැබිය යුතුයි.

    රබර් ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් වෙනමම අපනයන ප්‍රවර්ධන කලාප 2ක් ඉදිරියේදී ඇරඹෙනවා. තොරතුරු තාක්ෂණය, කාබනික ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂිකර්මය පමණක් නෙවෙයි සමුදුර සම්පත ඇසුරෙන් අපට යොමු විය හැකි කර්මාන්ත රැසක්ම ශ්‍රී ලංකාවට පහසුවෙන් වැඩිදියුණු කළ හැකියි. මේ වන විටත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති වශයෙන් ඒවා දියත් කිරීමට මූලික කටයුතු සිදු කෙරෙනවා.

    එපමණක් නොවෙයි,

    මඩකලපුව, එරාවුර්හිදී ඇඟලුම් කර්මාන්ත සඳහා විවිධ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම අරමුණු කොටගත් කර්මාන්තපුරයක් ඇරඹීම සඳහා අක්කර 250ක භූමියක දැන් වැඩ අරඹා තියෙනවා. එය අක්කර 400ක් දක්වා වැඩි කරවා ගැනීමට අප ආ‍යෝජන මණ්ඩලය වශයෙන් උත්සාහ දරනවා. මේ වන විටත් රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමේ නවයුගය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා කඩිනමින් සිදුවෙනවා.

    විදෙස් ආයෝජකයන්ට හිසරදයක්ව පැවැති කරුණුවලට පිළියම් දැන් ඉදිරිපත්ව තියෙනවා.

    ඒ අතුරෙන් යල්පැන ගිය නීතිමය බාධා ප්‍රධානයි. ඒවා යාවත් කාලීන විය යුතු අන්දම සොයා බැලීමට පත් කළ විශේෂ කමිටුවක් මඟින් මේ වන විට ආයෝජකයන්ට හිතකර වටපිටාවක් සඳහා වන වාතාවරණයක් ඇති කිරීමට ගත යුතු පියවර සොයා බලනවා.

    ඉදිරි වසර 5ක කාලයක් සඳහා නොවෙනස් වන බදු සහ අපනයන කර්මාන්ත පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳ දැනටමත් විදෙස් ආයෝජකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.‍‍‍..”

    මේ අනාගත වැඩ ලෝකය සමඟ කරට කර නැඟී සිටින ශ්‍රී ලංකාවේ අලුත් සංවර්ධන මොඩලයේ හැඩහුරුකම්ය. අවුරුදු 3ක් තුළදී මහ මඩ වගුරක්ව පැවැති බිමක් මත අග්නිදිග ආසියාවේ සුවිශාලම ටයර් නිෂ්පාදනාගාරය ගොඩනැඟුණේ එසේය.

    මහල් 4කින් යුතුව මාණ්ඩලික හා සේවක නිල නිවාස හරිත පරිසරයක ගොඩනැංවීම රැජිඩ් ටයර් (REGID) කෝපරේෂන්හි විශේෂත්වයකි. ඉහළතම යුරෝපීය තාක්ෂණය සහ එම දැනුම මේ සමඟ ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ දේශීය ආයෝජකයකුගේ සාඩම්බර ව්‍යවසායකත්වය යටතේය. ඉන් දැනටමත් සිය ගණනකට ඍජු රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ තවත් දහස් ගණනකට වක්‍ර රැකියා අවස්ථා සලසමිනි. විශේෂයෙන් රබර් වගාවේ පුනර්ජීවයක් මේ කර්මාන්තශාලාව නිසා ඇති වී තිබේ. ඉතා ඉහළ මිලක් උසස් තත්ත්වයේ රබර් කිරි නිෂ්පාදකයන්ට මේ නිසා හිමි වේ.

    එමෙන්ම දේශීය වෙළෙඳපොළට ඉහළ ගුණාත්මක බවකින් යුතු ටයර් හඳුන්වාදීම මේ හරහා සිදු වේ. යතුරුපැදියේ පටන් බස්, ට්‍රක් රථ වැනි රථවාහන සඳහා අවශ්‍ය කරන ටයර් දේශීය වශයෙන් නිෂ්පාදනය මේ හරහා ඉටු වේ.

    එසේම SUV වාහනවලට යොදන ටයර් නිෂ්පාදනයට වැඩි අවධානයක් රැජිඩ් ටයර් කෝපරේෂන් මඟින් යොදා ඇත.

    ආසියානු කලාපීය වෙනත් තරගකාරී අපනයන සැකසුම්කරණ කර්මාන්තකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් උද්ගතව තිබෙන වසංගත තත්ත්වය හමුවේ විකල්ප සොයනු පෙනේ. ඒ උපායමාර්ගිකව කර්මාන්ත ස්ථානගත කළ හැකිවන වෙනත් රටවල් කෙරෙහිය. ඒ අතින් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි මේ වන විට දේශීය ආර්ථික විශේෂඥයන්, විද්වතුන් සහ ව්‍යවසායකයන් එක්ව පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් අදහස් දක්වමින් සංජය මොහොට්ටාල මහතා අවධාරණය කරයි. ඊට තානාපති සේවා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ උපරිම දායකත්වය හිමිව තිබේ. මේ අනුව මෙරට සංවර්ධනයේ නවයුගයෙහි ඉදිරිය සුබදායකය. එය එසේම වනු පිණිස පුරවැසියන් වශයෙන් අප සැමගේ දායකත්වය නොමඳව ලැබිය යුතුය. එවිට අපේක්ෂිත සංවර්ධන ඉලක්කවලට කලින් ළඟා වීම රටක් වශයෙන් අපට ඉතා පහසු වනු ඇත.

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here