‘වන්ෂොට්!’

    0
    8

    චිත්‍රපට හෙවත් ‘බයිස්කෝප්’ යනු එක්තරා ලෝකයකි. යථා ජීවිතය හෙවත් සමාජ ජීවිතය යනු තවත් ලෝකයකි. මේ දෙක අතර ඇති පරතරය, යථාර්ථය හා මායාව අතර ඇති වෙනසට සමාන ය. චිත්‍රපටය යනු මායාවකි; නැත හොත් සිහිනයකි. ජීවිතය යනු සැබෑවකි. නැතහොත් යථාර්ථයකි. ඉන්දියාවේ නිෂ්පාදනය වන ජනප්‍රිය ද්‍රවිඩ චිත්‍රපටවල වීරයෝ පොලිස් නිලධාරීන්ට බිම වැටෙන්නට පහර දෙති. විනිසුරුවන්ට තර්ජනය කරති. නීතිය හා අධිකරණය විවේචනය කරන ඔව්හු මැර හමුදාවලට තනිවම පහර දී ඔවුන්ගේ ඉළ-ඇට බිඳිති. මේ එකක්වත් සැබෑ ජීවිතයේ දී සිදුවන්නේ නැත. කෙනකු සිනමාවේ වීරයාගේ චරිතය ඇත්ත ජීවිතයේ දී රඟදක්වන්නට උත්සුක වේ නම් ඔහු එක්කෝ මානසික රෝගියෙකි. නැතහොත් පල් මෝඩයෙකි.

    රංජන් රාමනායකගේ සිද්ධිය දෙස ආපසු හැරී බලන විට ඔහුගේ නොදැනුවත්කම, හිතුවක්කාරකම හා ඔහු වැටී සිටින මුළාව ගැන බලවත් කනගාටුවක් ඇති වේ. රංජන් කට නිසා හිරේ ගියා යැයි බොහෝ දෙනා කියති. කට පමණක් නො ව; ඔහුගේ සකලවිධ චර්යාව ගැන ම පැහැදීමක් සදාචාර සමාජය තුළ නැත. රංජන්ගේ චර්යා රටාව ශිෂ්ට හා වැදගත් සීමාවන්ගෙන් ඔබ්බට විහිදී යයි. කෙනකු අතින් වැරැද්දක් සිදුවන්නට පුළුවන. වැරැදි ප්‍රකාශයක් නිකුත් වන්නටත් පුළුවන. වැදගත් මහත්වරු එබඳු අවස්ථාවලදී වැරැදි පිළිගෙන සමාව ඉල්ලා සිටිති. ශිෂ්ට සමාජයේ පිළිවෙත එය වෙයි. රංජන් රාමනායකට ද එබඳු අවස්ථා කිහිපයක් ලැබිණි. ඔහු සතු මාන්නය නිසාදෝ එම අවස්ථා එකකින්වත් ප්‍රයෝජන ගෙන නැත. අවසන් ලෙස ඔහු හිරගෙදරට යන්නේ වීරයකු ලෙස ‍නොව; නිකම්ම වාචාලයකු හැටියටය.

    තමන් හොරකම් කළේ නැති බව ද, වංචා සිදු කළේ නැති බව ද, කුඩු ජාවාරමට සම්බන්ධ නැති බව ද රංජන් ආඩම්බරයෙන් කියා සිටී. ඒවා ඇත්ත වන්නට පුළුවන. එහෙත් ඊටත් වඩා බරපතළ වරදක් ඔහු සිදු කර තිබේ. ඒ අධිකරණයට අපහාස කිරීමය. රටේ නීති පද්ධතිය, අධිකරණ ක්‍රියාවලිය හා විනිසුරුවන් අභියෝගයට ලක්කිරීම හා අපහාස සිදුකිරීම නීතිය අතින් ගත් කල අපරාධයකි. ඔහුගේ ප්‍රකාශ නිසා නීතිය හා අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය බිඳී යයි. විනිසුරුවන් පිළිබඳ ගෞරවය කෙලෙසී යයි. නීතියේ විනිවිදභාවය මේ අනුව අභියෝගයට ලක් වෙයි. නීතිය යනු විහිළුවක් නොවේ. විනිසුරුවන් යනු විකට නළුවන් නොවේ. මේ අනුව රංජන් සිදුකර ඇත්තේ රටේ ශිෂ්ටත්වය හා යහපැවැත්ම අභියෝගයට ලක්කිරීමය. ඊට දඬුවමක් තිබිය යුතුය.

    2017 අගෝස්තු 21දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන රංජන් රාමනායක රටේ විනිසුරුවන්ගෙන් හා නීතිඥයන්ගෙන් 95%ක් දූෂිත බව කියා සිටියේය. ඉන් ගම්‍ය වන්නේ නීතිය, අධිකරණය හා විනිසුරුවන් අයථා ක්‍රියාවලියක යෙදී සිටින බවකි. රටක යහපැවැත්ම රඳා පවතින්නේ නීති පද්ධතිය හා අධිකරණ ක්‍රියාවලිය මතය. මහජනයාගේ නිදහස හා අයිතීන් සුරක්ෂිත වන්නේ ද නීතියේ ආධිපත්‍යය මතය. මහජනයා අවසන් ලෙස විශ්වාසය තබන්නේ ද නීතිය මතය. රංජන් සවිඥානකව හෝ අවිඥානකව හෝ ඒ සියල්ල විකෘති කරයි. අවුලට යවයි. මෙය නොසලකා හැරිය යුතු සරල කාරණයක් නොවේ. නීතිය සියල්ලට ඉහළින් පැවැතිය යුතු අතර, එය හෑල්ලුවට පත් කරන කිසිවකුට කිසිදා බේරිල්ලක් ලැබී නැත.

    අධිකරණයට අපහාස කිරීමට සම්බන්ධ නඩු විභාග වන්නේ විශේෂ තත්ත්වයන් යටතේය. ඒ අනුව රංජන්ට එරෙහි නඩුව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ වසර තුනකට වැඩි කාලයක් විභාග විය. නිරීක්ෂණවලට හා කරුණු දැක්වීම්වලට අවශ්‍ය තරම් කාලය දී තිබූ බව ඉන් පැහැදිලි වෙයි. තීන්දුව ලබා දීමට පෙර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා පවත්වන දේශනය මෙහිලා අතිශය වැදගත්ය. ඊට අනුව විත්තිකරුවා හිතාමතාම අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කර ඇති බව සැකයකින් තොරව සනාථ වී ඇත. විත්තිකරුවා එක වරක් නොව; අවස්ථා කිහිපයකදීම අධිකරණය අපහාසයට ලක්කර ඇත. නඩු විභාගය පැවැත්වෙන අතර ද ඔහු මේ ක්‍රියාවලියෙහි යෙදී ඇත. ඉන් නොනැවතී සමාවක් ඉල්ලීමට ද ඉදිරිපත් වී නැත. රංජන්ගේ උද්ධච්ඡ ස්වාභාවය ඉන් ප්‍රකට වෙයි.

    විත්තිකරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ ක්‍රියා කලාපය ද ගැටලු සහගත බව පෙනී යයි. නඩු විභාගයක් සඳහා මුහුණ දෙන විත්තිකරුවාගේ හැසිරීම් පාලනය කරන්නට නීතිඥයන් උත්සුක වී නැත. රංජන්ගේ පූර්ව හැසිරීම මෙන්ම නඩු විභාගය අතරතුර හැසිරීම ද සතුටුදායක නොවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිවරයාගේ දේශනයෙන් ද පැහැදිලි වෙයි. විත්තිකරුවා නීතිඥ මඬුල්ලේ උපදේශන නොසලකා හැරියා වන්නටත් පුළුවන. රංජන්ගේ හැසිරීම් රටාවෙන් ප්‍රකට වන්නේ අසංවර ‍හා නොහික්මුණු පුද්ගලයකුගේ ස්වභාවයයි. ඒ අනුව ඔහු වීරයකු වන්නේ නැත. නායකයකු වන්නේ නැත. ඔහුට ඉතිරි වන්නේ කුප්‍රකට නාමයක් පමණි.

    අපේ නීති පද්ධතිය තුළ අඩුපාඩු තිබෙන්නට පුළුවන. අධිකරණ ක්‍රියාවලිය තුළ දුර්වලතා තිබෙන්නට පුළුවන. ඇතැම් විට විනිසුරුවන් ළඟද වැරැදි තිබෙන්නට පුළුවන. ඒවා නිවැරැදි කිරීමේ අවංක වුවමනාවක් ඇති තැනැත්තා කළ යුත්තේ ඒ සඳහා නිසි ක්‍රම-විධි භාවිත කිරීමය. රංජන් අමාත්‍යවරයකු ලෙස කාලයක් කටයුතු කර තිබේ. මහජන නියෝජිතයකු ලෙස ඊටත් වැඩි කාලයක් කටයුතු කර තිබේ. පාර්ලිමේන්තුවේ අණ-පනත් මඟින් අධිකරණයේ තත්ත්වය උසස් කළ හැකිව තිබිණි. එහෙත් විත්තිකරුවා එබඳු උත්සාහයක් ගෙන නැත. ඔහු තමාගේ ප්‍රකාශයට අදාළ තර්කනය පවා සාර්ථකව ගොඩනඟා ගෙන නැත. අධිකරණය හා විනිසුරුවන් විචාරයට හසුකරමින් පොත් ලියූ ලේඛකයෝ අපේ රටේ සිටිති. ඔවුන් එම කටයුත්ත සිදු කර ඇත්තේ නීතියට අවනත බුද්ධිමය ක්‍රියාදාමයක් හැටියටය.

    ‍රංජන් රාමනායකට ක්ෂේත්‍ර දෙකක් තිබේ. එක් ක්ෂේත්‍රයක් දේශපාලනයයි. අනෙක් ක්ෂේත්‍රය කලාවයි. දේශපාලනයේදී ඔහු යන යන තැන දී මඩ තවරා ගනී. කලාවේදී ද බරපතළ රංගනයක යෙදුණු බවක් දැකගන්නට නැත. ඔහු තම පාක්ෂිකයන් වෙනුවෙන් යම් – යම් දේවල් ඉටු කර තිබෙන්නට පුළුවන. එහෙත් ඔහු දේශපාලනයට කළ හානිය ඊට වඩා බලවත්ය. රංජන් හිරේ ගියත් නිවැරැදි වෙතැ’යි සිතිය නොහැකි ය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here