අපේ අරමුණ කොවිඩ් නැති රටක්

    0
    10

    වෛද්‍ය හසිත අත්තනායක අධ්‍යක්ෂ, අංගොඩ ජාතික බෝ වන  රෝග විද්‍යායතනය

    කොවිඩ් , ගෝලීය ව්‍යසනයෙන් රට මුදාගැනීමෙහිලා මෙරට සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් කළ අතර, කොවිඩ් පළමු රැල්ලේ සිටම  රෝගී ජීවිත අවදානමෙන් ගලවා ගැනීම සඳහා අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයාගේ සිට සියලු කාර්ය මණ්ඩලයේ කැප කිරීම අති විශාල ය. කොවිඩ් දෙවන රැල්ලේදී රෝගීන් වාර්තාවීම ඉහළ යෑම නිසා බරපතළ වගකීමක් දරන්නට රෝහල් කාර්ය මණ්ඩලවලට  සිදු වීම පිළිබඳ විමසමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක සමඟ කළ සංවාදයකි.

    ඉබෝලාට මුහුණ  දෙන්න කාර්ය  මණ්ඩලය සූදානම් වුණා

    දින 9න් කාමර  16 ඒකකයක්  ගුවන් හමුදාවෙන් හැදුවා

    නාවික හමුදාවත්,  මොරටු සරසවියත්  අපට ශක්තියක් වුණා

    හදිසි ගිනි නිවීමේ  ඒකකයක් පෞද්ගලික බැංකුවක් මැදිහත් වෙලා නිර්මාණය කළා

    පර්යේෂණ ප්‍රශස්ත නම් කොවිඩ් පාලනය  අසීරු නැහැ

    රෝහල් කාර්ය  මණ්ඩලයේ කැප වීමෙන් රෝහල ඉදිරියට ගියා

     කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා අයි. ඩී. එච් රෝහලේ පහසුකම් වැඩි කළ ආකාරයත්, කොවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයත් සන්සන්දනය කළොත්?

    මෙවැනි වසංගතයකට මුහුණ දීමේ දී අනෙකුත් පහසුකම්වලට වඩා වැදගත්ම සාධකය වන්නේ රටක මානව සම්පතයි. අපට වඩා දියුණු, සෞඛ්‍ය පහසුකම් අතින් බොහෝ ඉදිරියෙන් සිටි රටවල් කොවිඩ් ඉදිරියේ බිඳවැටුණ ආකාරය සහ ඒ ඒ රටවල සෞඛ්‍ය අංශවලට ලැබුණු නායකත්වය කෙබඳුද යන්න අවබෝධ කරගත්තා. ලෝක බලවතුන්ට පවා විශාල අභියෝගයක් වූ කොවිඩ් -19 පළමු ව්‍යාප්තිය, තවමත් දියුණු වෙමින් පවතින රටක් වන අපට ඉතා හොඳින් කළමනාකරණය කරගත හැකි වුණා. එහිදී පළමු තැන ලැබිය යුත්තේ ඒ සඳහා කැප වූ මානව සම්පතටයි.

    කොවිඩ් මර්දනයේදී දෙවැනුව වැදගත් වුණේ සෞඛ්‍ය ප්‍රජාවට ලැබුණු නායකත්වයයි. ජාතික බෝවන රෝග විද්‍යායතනය පිළිබඳ කතා කරන විට, අප කොරෝනා සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටියත් 2019 ජුලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා රෝගය, ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු විය යුතු මානව සෞඛ්‍ය ආපදාවක් හැටියට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඒ රෝගය මෙරටට ඇතුළු වීමට ඉතා අඩු ඉඩක් පැවතියත්, අපි ඉබෝලා රෝගයට මුහුණදීම සඳහා කාර්ය මණ්ඩල සූදානම් කළා. ඒ, මෙරටින් හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු වීමට සය මසකටත් පෙරාතුවයි. වසංගත රෝග ඒකකයේ, වෛද්‍ය පර්යේෂණ ඒකකයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා හා පෙර සූදානම් ප්‍රතිචාර දැක්වීමේ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව අප ඒ ලබාගත් පෙර සූදානම තමයි කොවිඩ් -19 වසංගතයට මුහුණ දීමේදී වඩා වැදගත් සහ තීරණාත්මක සාධකයක් වුණේ.

    ඒ සඳහා සූදානම් වුණේ කොහොම ද?

    අප ඒ පුහුණු වැඩසටහන අදියර කිහිපයක් ඔස්සේ විධිමත්ව දියත් කළා. විවිධ රෝහල්වල සහ අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබුණු ආරක්ෂිත ඇඳුම් සහ උපාංග එකතු කරගෙන ඇඳුම් කට්ටල 250ක් පමණ සූදානම් කළා. ඒ, යම් හෙයකින් ඉබෝලා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුවුවහොත් භාවිත කිරීමටයි. එසේම එවැනි රෝගීන් මේ රෝහලට යොමු වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේදී කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අපට පූර්ණ සූදානමක් තිබුණා. එවැනි අවස්ථාවකයි කොවිඩ් ආසාදිත චීන ජාතික කත අපේ රෝහලට ඇතුළු වුණේ. රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ඇතැම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් වෘත්තියෙන් සමුගත්තා. සමහරුන්ට ආරක්ෂිත ඇඳුම් හා උපාංග නොමැතිව සේවය කරන්න සිදු වුණා. රෝගීන්ට නිරාවරණය වෙලා රෝගය වැළඳී මිය ගියා. එලෙස සිදු වන විට ඉතිරි කාර්ය මණ්ඩලය විශාල වශයෙන් අධෛර්යයට පත් වුණා. මේ කියන කිසිවක් අපේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිදු වුණේ නැහැ. ඒ සඳහා බලපෑවේ අපේ තිබුණු සූදානම.

    නේවාසික හා බාහිර රෝගීන්ට ප්‍රතිකාර සිදු කෙරුණේ කොහොම ද?

    කොවිඩ් ප්‍රතිකාර ලබාදීමේ ජාතික කේන්ද්‍රස්ථානය හැටියට IDH නම් කළාම අපට ලංකාවේ හැම පැත්තකින්ම වගේ රෝගීන් ලැබුණා. දෙස් විදෙස් සියලු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අප පරීක්ෂණ කටයුතු සිදු කරගත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින්. පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත 2020 මාර්තු මාසෙ 28 වැනිදා අප ගොඩනැඟූ අනුක ජීව විද්‍යාගාරයෙන් මේ වසංගත රෝගය කළමනාකරණය කරගැනීමට විශාල පිටුබලයක් ලැබුණා. එහිදී අපට ම සාම්පල් ලබාගෙන අපේ විද්‍යාගාරය හරහා පරීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකිවීම නිසා ඒ රෝගීන්ගේ ප්‍රතිකාරවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමටත් හැකියාව ලැබුණු බවත් කියන්න ඕනෑ. අපේ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් ද ඒ අවස්ථාවේ සිදු කළේ විශාල කැපවීමක්. මාස තුනක් වගේ කාලයකදී අපට පී. සී. ආර් පරීක්ෂණ 10,000ක් පමණ සිදු කරන්න හැකි වුණා. එය වාර්තාගත අගයක්. ඒ වගේ ම අපේ අනුක ජීව විද්‍යාගාරයට දිනකට පී.සී.ආර් පරීක්ෂණ 1000ක් පමණ සිදු කිරීමට හැකියාව තියෙනවා. එසේම පැය 08ක් ඇතුළත ප්‍රතිඵල ලබාදීමේ හැකියාව ද තිබෙනවා. ජනාධිපතිතුමන්ගෙන් අප කළ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාව දින 9ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත කාමර 16කින් යුක්ත නව ඒකකයක් හදලා දුන්නා. අපේ රෝහල් සේවයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා එය විශාල වශයෙන් වැදගත් වූ බව කියන්න ඕනෑ. අපේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තිබුණේ 04යි. එය ප්‍රමාණවත් වුණේ නෑ. කොවිඩ් තත්ත්වයට රට මුහුණ පාන්න පෙර සිටම ඉදිවෙමින් පැවති අධි සත්කාර ඒකකයේ කොටසක්, දැඩි සත්කාර ඒකකයක් බවට ඉතා කඩිනමින් පරිවර්තනය කරන්න අපි තීරණය කළේ එනිසයි. හමුදා නිලධාරීන්ගේ සහාය මත ඒ කොටස ඉතාමත් කෙටි කාලයක් තුළ දැඩි සත්කාර ඒකකයක් බවට පරිවර්තනය කළා. අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණා.

    කාර්ය මණ්ඩලයේ කැප වීම ගැනත් ඔබට යමක් කියන්න ඇති?

    විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සමඟ එහි සිටින කාර්ය මණ්ඩලයට වැඩි කාලයක් ගත කිරීමට සිදු වෙනවා. එහිදී ආරක්ෂිත ඇඳුම් 8ක් 9ක් ඇඳගෙන පැය ගණන් එක දිගට වැඩ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඔවුන්ට යම් සහනයක් ලබාදීම සඳහා අවශ්‍ය පරිදි වායු සමීකරණ යන්ත්‍ර වැනි දේ යොදා ගත්තා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වැඩි කිරීමට දැඩි සත්කාර ඒකක දෙකේම සංවාතන පද්ධතිය වැඩි දියුණු කිරීමක් සිදු කළා. දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ අනෙකුත් රෝගීන් වෙනුවෙන් පහසුකම් වැඩි කිරීමට කාර්ය මණ්ඩලය හැම විටම කැපවූ බව සඳහන් කළ යුතුමයි. ජීව සාම්පල් පරීක්ෂා කිරීමේ පරීක්ෂණාගාරයකුත් ඊට අවශ්‍ය උපකරණත් අමාත්‍යාශය හරහා ගැනීමෙන් විවිධ මට්ටමේ පරීක්ෂණ සිදු කරන්න අපට හැකි වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සහය ඇතිව පරිගණකගත පරිලෝකන විකිරණ ඒකකයක් ගොඩනැගුවා. ඒ නිසාත් අපේ ප්‍රතිකාර සේවාවල ගුණාත්මක භාවය ඉහළ ගිය බව කියන්න පුළුවන්. ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාදාමය සිදුවන අතරතුර කාර්ය මණ්ඩලයේ පුහුණුව වඩා වැදගත් සාධකයක් බවට පත්වුණා. අධීක්ෂණ නිලධාරින් මාර්ගයෙන් කාර්ය මණ්ඩලයේ ක්‍රියා පිළිවෙත නිරන්තර අධීක්ෂණයට ලක්වුණා. එසේ ම ඒ පුහුණුව යාවත්කාලීන කිරීම පිළිබඳවත් අප ලබාදුන්නේ විශේෂ අවධානයක්.

    මේ කාර්යයයේ දී එල්ල වූ අභියෝග හා දුෂ්කරතා පිළිබඳ ඔබේ අදහස මොකක් ද?

    රෝහල තුළ නේවාසික පහසුකම් ලබාදී තිබුණේ කාර්ය මණ්ඩලයෙන් සීමිත පිරිසකට පමණයි. සෙසු පිරිස රාජකාරියට වාර්තා කළේ නිවෙසේ හෝ නවාතැන්වල සිටයි. මේ වසංගත තත්ත්වය හේතුවෙන් නවාතැන්වල සිටි අයට ඒ නවාතැන් අහිමි වුණා පමණක් නොවෙයි අලුත් නවාතැනක් සොයාගැනීම ද දුෂ්කර වුණා. නවතින්න ඉඩ දෙන්න ජනතාව බිය වුණා. මේ තත්ත්වය වඩාත්ම බලපෑවේ අපේ හෙද නිලධාරින්ට. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ පරිත්‍යාගයන් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය මත හෙද නිළදාරින් සඳහා කාමර 16කින් යුත් නේවාසිකාගාරයක් ඉදිකෙරුණා. ඒ අනුව පැරණි සහ නව නේවාසිකාගාර තුළ එකවර හෙදියන් 60 දෙනකුට පමණ රෝහල තුළම නේවාසික පහසුකම් සැපයීමට ඉඩ ලැබීම විශාල පහසුවක්. එසේම හදිසියේ ජල සැපයුම අඩාළ වුවහොත් මුහුණ පෑමට සිදු වන තත්ත්වයන් පිළිබඳ සිතා බලා රෝහලේ ජල තිර කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළා. පුද්ගලික බැංකුව ආධාර ඇතිව හදිසි ගිනි නිවීමේ පද්ධතියක් ද ඇති කොට අපේ කාර්ය මණ්ඩලය සඳහා ඒ අවශ්‍ය කරන පුහුණුව ද ලබාදුන්නා. කොතරම් රෝගීන්ට ප්‍රතිකාර කළත් පළමු ව්‍යාප්තිය ඇතුළත අපේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට රෝගීන්ගෙන් රෝගය සම්ප්‍රේෂණය නොවන ආකාරයට ඒ රාජකාරිය ඉටු කරන්න අපේ රෝහල

    සමත්වුණා.

    කොවිඩ් මර්දනය සඳහා ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ කවර ආකාරයේ සහයෝගයක් ද?

    කොවිඩ් පළමු ව්‍යාප්තියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දර්ශක අතින් ඉහළ තැනකට පැමිණීම පිළිබඳ අප ඇත්ත වශයෙන් ම අභිමානයට පත්විය යුතුයි. පළමු ව්‍යාප්තියේදී මේ වසංගතය පාලනය කරගැනීම සඳහා මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුණා. එහෙත් කල්යත්ම ඒ පිළිබඳ ජනතාවට තිබුණ උනන්දුව අඩු වුණා. කොවිඩ් දෙවැනි ව්‍යාප්තිය අභියෝගාත්මක වීමට එයත් හේතුවක්. මේ වසංගතය රටින් දුරු වන තුරුම රට ලොක්ඩවුන් කර තැබීමේ හැකියාවක් නැති බව හොඳින් ම පැහැදිලියි. එසේ නම් අපට කළ හැකි එකම දේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපැඳීමයි.

    තවදුරටත් කොවිඩ් මර්දනය වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවය සූදානම් විය යුත්තේ කෙසේ ද?

    මේ වගේ අවස්ථාවකදී අපට හැකියාවක් තියෙන්න ඕනෙ කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් රෝහල තුළ රඳවා ගන්න. එවිට ඔවුන්ගෙන් වඩාත් හොඳ සේවයක් ලබාගන්න පුළුවන්. නේවාසික පහසුකම් රෝහල තුළ තව තවත් වැඩි කරන්නේ කොහොමද? කියන කාරණය සම්බන්ධයෙන් අප මේ වන විට අවධානය යොමු කරලා තියෙනවා. වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන විට විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් ද සිදු කළ යුතුයි. අමාත්‍යාංශය මඟින් අපට දෙවැනි පී.සී.ආර් යන්ත්‍රයක් ද ලබාදුන්නා. ඒ ඔස්සේ ද අපි අපේ සේවා ධාරිතාව වැඩි කරගනිමින් සිටිනවා. එසේ ම මේ වන විට මේ රෝගය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික පරීක්ෂණවලට එහා ගිය පරීක්ෂණ සිදු කරගැනීමේ අවශ්‍යතාවන් තියෙනවා.

    ඒ වෙනුවෙන් සපුරා ගත යුතු පහසුකම් කවරේ ද?

    පරීක්ෂණ ධාරිතාව වැඩි කරගැනීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ අපේ රසායනාගාරයට ලබාදෙන ලෙස අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත් කරලයි තියෙන්නෙ. මේ රෝගය සම්බන්ධයෙන් අප හැම විටම වෙනත් රටවලින් ලබාගත් දැනුම මත පමණක් කටයුතු කිරීම සුදුසු නැහැ. රට රටවලින් හඳුනාගන්නා මේ වයිරසයේ වෙනස් ප්‍රභේද තිබෙනවා සේ ම එම ප්‍රභේද ආසාදනය වූ විට මිනිස් සිරුර තුළ ඇති කරන වෙනස්කම් ද රට රටවලට වෙනස් විය හැකියි. එබැවින් දේශීයව අපි විශාල පර්යේෂණ සංඛ්‍යාවක් යුහුසුලුව කරගැනීම අවශ්‍යයි. පර්යේෂණ දිරි ගැන්වීමේ ප්‍රශස්ත වැඩපිළිවෙළක් ඇති වන්නේ නම් මේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පහසු වෙයි. ඒ වෙනුවෙන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම, ඒ පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සේම ප්‍රකාශිත දැනුම භාවිත වීමත් සිදු විය යුතුයි.

     

    කාංචනා සිරිවර්ධන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here