අවිචාර යුගයට තිත තැබූ රන්ජන්ගේ දඬුවම

    0
    5

    මෙරට යුක්තිය පසිඳලීමේ යන්ත්‍රණය වන  අධිකරණ ක්‍රියාවලියේ ගෞරවය ආරක්ෂා  කරගැනීම සඳහා මේ  නියමයන් ව්‍යවස්ථාව මඟින්ම පනවා තිබේ. සෑම පුරවැසියෙක්ම ඊට  අනුගත විය යුතුය. එසේ නොවුණහොත් අධිකරණය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය පළුදු වී  යනු ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිරගත වීම පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කතාබහට ලක් වූ කරුණ විය. එක් පැත්තකින් එම දඬුවම සාධාරණීකරණය කෙරෙන අතරේ අනෙක් පැත්තෙන් ඊට එරෙහි මත ද ජනමාධ්‍යවලටත් වඩා සමාජ මාධ්‍යවල සංසරණය වනු දක්නට ලැබුණි. රන්ජන් සිරගත වීම සහ පිල්ලෙයාන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විවිධ අර්ථ නිරූපණ පළ කෙරෙන ආකාරයක් දකින්නට ලැබුණු නමුත් මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් විවේචනය කිරීමේ හැකියාවක් ඇත්දැයි කවුරුත් විමසිලිමත්ව කල්පනා කළ යුතුය.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදය යටතේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු සටහන් කර තිබේ. එහි 14 (1) ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට හිමිකමක් ඇත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම 15 වැනි ව්‍යවස්ථාව මඟින් ඊට යම් යම් සීමා පනවා තිබේ. එසේ පනවා ඇත්තේ අප භුක්ති විඳින නිදහස අන් අයගේ නිදහසට බාධාවක් නොවිය යුතු බැවිනි. කතා කිරීමේ නිදහස ඇති නමුත් කටට එන ඕනෑ දෙයක් කීමේ අයිතියක් අපට හට නැත. විශේෂයෙන් ජාතිවාදය, ආගම්වාදය අවුළුවන, අධිකරණයට අපහාස වන ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති රටේ ක්‍රියාත්මක බව සිහිතබා ගත යුතුය.

    මූලික නීතිය

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවේ සටහන්ව ඇත්තේ “ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී හෝ අන් ස්ථානයකෙ ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලයද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය’’ යනුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට අමතරව ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය හා පාර්ලිමේන්තුව විසින් කලින් කලට නියම කොට පිහිටුවනු ලැබිය හැකි වෙනත් යම් මුල් අවස්ථා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතනද මේ යටතේ ආවරණය වන බවත් එහි සඳහන්ය.

    මෙරට යුක්තිය පසිඳලීමේ යන්ත්‍රණය වන අධිකරණ ක්‍රියාවලියේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා මේ නියමයන් ව්‍යවස්ථාව මඟින්ම පනවා තිබේ. සෑම පුරවැසියකුම ඊට අනුගත විය යුතුය. එසේ නොවුණහොත් අධිකරණය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය පළුදු වී යනු ඇත. ඕනෑම තරාතිරමක පුරවැසියකුට සිය දුක්ගැනවිල්ලට සාධාරණයක් ඉටු කරගැනීමට යෑමට ඇති එකම ස්ථානය අධිකරණය බව අමුතුවෙන් කිව යුතු නැත. නීතිය කාටත් සාධාරණ බවට විශ්වාසයක් නැති වුව හොත් කිසිවකුත් අධිකරණ හමුවට සාධාරණත්වය පතා නොයනු ඇත. එසේ වුව හොත් රට තුළ ඇති වන්නේ වියවුලකි. රටේ කුමන ආණ්ඩුවක් පැවතියද යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව නොරහසකි.

    රන්ජන් රාමනායක හට එල්ල වී තිබුණේ අධිකරණයේ ගෞරවය කෙලෙසීම සම්බන්ධ චෝදනාවකි. 2017 අගෝස්තු මස 21 වැනි දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිටදී රන්ජන් රාමනායක මෙම අපහාසය සිදු කළ බවට චෝදනා එල්ල වී තිබිණි. රාමනායකගේ ප්‍රකාශය හේතුවෙන් අධිකරණය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය පළුදු වන බවට මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළහ. එම පැමිණිල්ල අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගේ අවධානයට යොමු කරන ලදී. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරුන් සියලු දෙනා තීන්දු කොට තිබුණේ අදාළ ප්‍රකාශය මඟින් රන්ජන් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදු කොට ඇති බවය. ඒ අනුව අධිකරණය කළ නියෝගයක් අනුව නීතිපතිවරයා විත්තිකාර රන්ජන් රාමනායකට එරෙහිව නඩු පැවරීය.

    පසුගිය 12 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණේ වසර තුනකුත් මාස පහකට ආසන්න කාලයක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ලක් කෙරුණු එම නඩුවේ තීන්දුවය. අධිකරණයට අපහාස කිරීමේ චේතනාවකින් මෙම ප්‍රකාශ සිදුනොකළ බවට ඔප්පු කිරීමට රාමානයක මහතා නඩු විභාගයේදී උත්සහ කළද පසුව අධිකරණ පරිශ්‍රයේදී කරන ලද ප්‍රකාශ කිහිපයක් මඟින් ඔහුගේ චේතනාව සාක්ෂි සහිතව තහවුරු වී ඇතැයි සම්පූර්ණ නඩු තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසර ආබෘෘ ප්‍රකාශ කළේය.

    සිරගත වූවෝ

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල වූ හෝ දඬුවම් ලැබූ හෝ පළමු පුද්ගලයා රන්ජන් රාමනායක නොවේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාවන්ට දඬුවම් ලැබූවෝද වෙති. දේශපාලනඥයන් සම්බන්ධයෙන් සලකා බැලූ විටද රන්ජන් පළමුවැන්නා නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 2004 වසරේදී එස්. බී. දිසානායක හට වසර දෙකක සිරදඬුවමක් නියම විය. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙනි. වසර දෙකකට ආසන්න කාලයක් සිරගතව සිටි එස්. බී නිදහස් වූයේ ජනාධිපති සමාව යටතේය.

    මීට අමතරව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට දඬුවම් ලැබූහ. විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මීට සමාන චෝදනාවක වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූයේ රන්ජන් සිරගත වූදාට පසුවදාය. ඒ අනුව බලන විට අධිකරණයට අපහාස කිරීම නිසා දඬුවම් නියම වීම රන්ජන්ට පමණක් සීමා වූවක් නොවන බව පැහැදිලිය. දේශපාලන වශයෙන් අර්ථ දැක්වීමට උත්සහ ගන්නා නමුත් රන්ජන්ට එරෙහි නඩුව පවරා ඇත්තේ ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද දැරූ යහපාලන ආණ්ඩු සමයේම ය.

    රන්ජන් ප්‍රසිද්ධව සිටිනුයේ කටට එන ඕනෑ දෙයක් කියා දමන්නකු ලෙසය. විවිධ අවස්ථාවලදී පුද්ගලයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන්ට එල්ල වී ඇති චෝදනා නිමක් නැත. රන්ජන් සම්බන්ධයෙන් කතාබහ උච්ච ස්ථානයකට පත් වූයේ හඬපට සිද්ධිය නිසාවෙනි. 2020 ජනවාරි මාසයේදී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස වෙත ගිය කොළඹ දකුණ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන්ට මෙම හඬපට තොගය හමුව තිබුණි. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයකුව සිටිමින් විවිධ ක්ෂේත්‍රවල පිරිස් සමඟ කරන ලද දුරකතන සාකච්ඡාවල හඬපට ඒ අතර විය.

    මහත් ආන්දෝලනයකට ලක් වූ රන්ජන්ගේ හඬ පට අතර එවකට විපක්ෂයේ ප්‍රබලයන් සිරගත කිරීමට බලපෑම් එල්ල කළ ඒවාද විය. අවසානයේදී රන්ජන් රාමනායක එම හඬපටවලින් කොටසක් පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ කෙරුවාව ඉන් හෙළිදරව් කෙරුණේය. ඒ නිසාම රන්ජන්ට තමන් නියෝජනය කරන කඳවුරේම බොහෝ සතුරෝ බිහිවූහ. එදා රන්ජන් රාමනායක සමඟ මිත්‍රලීලාවෙන් සිටි බොහෝදෙනකු අද ඔහු වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් නොවන්නේද මේ හඬපට හුටපටය නිසා බව නොරහසකි.

    රන්ජන්ගේ සිරගත වීම දේශපාලන පළි ගැනීමක් යැයි ඇතැම්හු තර්ක කරති. දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් නව පරිච්ඡේදයක් ආරම්භ වූයේ යහපාලන ආණ්ඩුව 2015 වසරේදී බලයට පත්වීමත් සමඟය. මහින්ද රාජපක්ෂ මහතාගේ පටන් එම ආණ්ඩුවේ දේශපාලනඥයන් පමණක් නොව ඔවුන්ගේ ඥාතීන්, රණවිරුවන්, මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකට දේශපාලන පළි ගැනීම්වලට ලක්වන්නට සිදුවිය. ඇතැමුන් සිරගත වු අතර තවත් සමහරු දිනපතාම උසාවි ගානේ රස්තියාදු කරවන ලදහ. මහින්ද පාර්ශ්වය නියෝජනය කළ කිසිවකුට යහපාලන ආණ්ඩුවෙන් ගැලවීමක් ලැබුණේ නැත.

    පළිගැනීම්

    යහපාලනයේ දේශපාලන පළිගැනීම් වියරුවේ පැහැදිලි චිත්‍රයක් රන්ජන් රාමනායකගේ හඬපට මඟින් සකල ශ්‍රී ලංකාවාසීන්ටම දැනගන්න හැකියාව ලැබුණේය. තම විරුද්ධවාදීන් සිරගත කරවීමට නීතිය නැමූ හැටි ඒවායින් අපූරුවට හෙළිදරව් විය. 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය නොකරන්නට සිරගෙවල් පිරී ඉතිරී යනු ඇත්තේ යහපාලන පළි ගැනීමට ගොදුරු වූවන්ගෙන් බවට තර්කයක් නැත. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය විරුද්ධවාදීන්ට සලකනුයේ වෙනස් ක්‍රමවේදයකට බව පසුගිය සතියේ ඔහු කළ ප්‍රකාශයකින් මනාව පැහැදිලි විය. ජනාධිපතිවරයා කියා සිටියේ තමන් දේශපාලන පළි ගැනීම්වලට සූදානම් නැති බවය. නීතිය නවා විරුද්ධවාදීන් සිරගත කරන්නට සූදානම් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කිහිපවරක්ම කියා තිබේ.

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රන්ජන් රාමනායක වෙනුවෙන් කවි ගී ලියමින් සිටිනුයේ මෙවන් පසුබිමකය. මහා සංඝරත්නය, රණවිරුවන් සිරගෙට යැවුණු විට නොලියැවුණු කවි ගී දැන් රන්ජන් වෙනුවෙන් ලියැවෙමින් තිබේ. ඕනෑම කෙනකු වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුමය. එය රන්ජන්ට මෙන්ම අප කාටත් පොදු කරුණකි. මාළුවා නහින්නේ කට නිසා බව අපේ පැරැණියන් එදා කීවේ විහිළුවට නොවේ. කට පරිස්සම් කර ගැනීමේ පාඩම ඕනෑම අයකුට ජීවිතයේ කුඩා කල සිටම වැඩිහිටියන් උගන්වන පාඩමකි. බොහෝදෙනකු එම පාඩම උගන්නා නමුත් එය හරිහැටි තේරුම් නොගත්තෝද ඕනෑ තරම් වෙති. රන්ජන්ද

    එවැන්නෙකි. අද රන්ජන්ට විඳින්නට සිදුව ඇත්තේ කට පරිස්සම් කර නොගැනීමේ විපාකය මිස අනෙකක් නොවන බව නම් පැහැදිලිය.

     

    ධනුෂ්ක ගොඩකුඹුර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here