කඩුලු රැකගෙන පහර දෙන හැටි එංගලන්තය පළමු දිනයේ කියා දෙයි

0
14

 වසර 20කට පසු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක ආරම්භක ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කරමින් ඊයේ (14) සංචාරක එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා විය. ඊට පෙර වසර 2000දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී යෑමෙන් එම වාර්තාව ගොඩනැඟී තිබිණි.

ඊයේ පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස් කර තිබිණි. කඩුලු 8ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 8ක් පසුපසින් සිටී.

නායක ජෝ රූට් ලකුණු 66ක් සහ ජෝනි බෙයාර්ස්ටෝව් ලකුණු 47ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. දෙදෙනා අතර, තෙවැනි කඩුල්ලට ගොඩනැඟුණු නොබිඳුණු සබඳතාව ලකුණු 110කි.

පන්දු 115කදී හතරේ පහර 5ක් එල්ල කළ රූට් ඊයේ 50 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 91කට මුහුණ දුන් බෙයාර්ස්ටෝව් හතරේ පහර 2ක් එල්ල කර තිබිණි.

සැක් ක්‍රව්ලි සමඟින් ඩොම් සිබ්ලේ එංගලන්ත පිළිතුරු ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිසියහ. එහෙත් ලකුණු 17ක් තුළ ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණියට හැකි විය. ළහිරු තිරිමාන්න උඩ පන්දුවක් රැක ගැනීමෙන් සිබ්ලේ ලකුණු 4කටත්, වනිඳු හසරංගගේ උඩ පන්දු රැකීම හමුවේ ක්‍රව්ලි ලකුණු 9කටත් දැවී ගියහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ ඉනිම පළමු දිනයේ පස්වරු තේ පානයට පෙරම ලකුණු 135කට සීමා කිරීමට විශිෂ්ට දායකත්වයක් දුන් පිටදඟ පන්දු යවන ඩොම් බෙස් කඩුලු 5ක් උදුරා ගැනීමට සමත් වූයේ සිය ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි.

පෙරේදා පස්වරුවේ පුහුණුවීම් අතරතුර අනපේක්ෂිත අයුරින් අතෙහි මාපටැඟිල්ල බිඳී යෑම නිසා නායක දිමුත් කරුණාරත්නට පළමු ටෙස්ට් තරගය අහිමිව ගිය අතර, ඔහු වෙනුවට නායකත්වයේ වැඩ බැලීමට සිදු වූයේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ටය. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පළමුව පන්දුවට පහර දීමට චන්දිමාල් තීරණය කිරීමෙන් පසු කුසල් ජනිත් සහ ළහිරු තිරිමාන්න ඉනිම ආරම්භ කළත් මුළු ලකුණු සංඛ්‍යාව 16ක්ව තිබියදී ඉනිමේ 7 වැනි ඕවරය යැවීමට පැමිණි වේගපන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් එම ඕවරය තුළ දී කඩුලු දෙකක්ම බිඳ දැමීමත් සමඟ තරගයේ පාලනය එංගලන්ත පිල සතු විය. ජොනී බෙයාර්ස්ටෝව් අතට උඩපන්දුවක් දෙමින් තිරිමාන්න ලකුණු 4කට දැවී ගිය අතර, දැඩි ලකුණු අහේනියකට හසු වී සිටින අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදිත් ලකුණු නොලබා දැවී යෑම කනගාටුදායක සිදුවීමකි. ඔහු මීට පෙර දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ සිට මේ දක්වා පිට පිට ඉනිම් 4කදීම දැවී ගියේ ලකුණු නොලබාය. ලකුණු 20ක් ලබා සිටි කුසල් ජනිත් රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමෙන් ඩොම් බෙස්ගේ පළමු ගොදුර බවට පත් විය.

අනතුරුව ප්‍රවීණ පිතිකරු යුගලය ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දිවා ආහාරය වන තුරු කඩුලු රැක ගැනීමට සමත්වූවත් දිවා ආහාරයෙන් පසු යවනු ලැබූ පස්වැනි ඕවරයේදී ලකුණු 56ක සම්බන්ධතාව මැතිව්ස් බිඳ දමා ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව 81දී බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේ නායක ජෝ රූට් වෙත උඩපන්දුවක් දීමෙනි. ඒ වන විට ඔහු ලකුණු 27ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබීමේ උත්සාහයක නිරතව සිටියේය. සිය ඉනිම අතරතුර ටෙස්ට් තරග දිවියේ ලකුණු 6,000 සීමාව පසු කිරීමට මැතිව්ස් ඊයේ සමත් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 සම්පූර්ණ කළ පස්වැනි පිතිකරුවා බවට පත්වෙමිනි. කුමාර් සංගක්කාර තරග 134කදී ලකුණු 12,400ක් වාර්තා කළ අතර, මහේල ජයවර්ධන තරග 149කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 11814කි. එම ලැයිස්තුවේ තුන්වැනි තැන පසුවන සනත් ජයසූරිය තරග 110කදී ලකුණු 6973ක් රැස් කළ අතර, අරවින්ද ද සිල්වා තරග 93කදී ලකුණු 6361 රැස් කිරීමට සමත් විය. ජැක් ලීච්ගේ පන්දුවකට ටොම් කරන්ට උඩපන්දුවක් දෙමින් ඊළඟ ඕවරයේදී වැඩබලන නායක චන්දිමාල් ලකුණු 28කට දැවී ගියේ ද මුළු ලකුණු සංඛ්‍යාව 81ක්ව තිබියදීමය.

නිරෝෂන් දික්වැල්ලත්, දසුන් ශානකත් දෙදෙනාම දවාලනු ලැබුවේ ඩොම් බෙස් විසිනි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගය මුළුමනින්ම ඇල්මැරුණු ස්වරූපයක් ගත් අතර, ඉනිමේ අවසන් කඩුලු 5ම බිඳ වැටුණේ ලකුණු 30ක් ඇතුළතදීය. ලසිත් ඇඹුල්දෙණිය ඊයේ කලාතුරකින් දක්නට ලැබෙන දුර්ලභ දැවීයෑමකට හසුවීම කැපී පෙනිණි. පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඔහු මේ ඉරණමට ගොදුරු වූයේ ජැක් ලිච්ගේ පන්දුවකට වනිඳු හසරංග කෙළින්ම එල්ල කළ පහර ලිච්ගේ අතෙහි ඇඟිල්ලක යාන්තමින් වැදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ ගැටීමෙනි. ඒ වන විට ඇඹුල්දෙණිය සීමා ඉරෙන් අඩි කිහිපයක් ඉදිරියට පැන සිටියේය.

දසුන් ශානක සහ ඩිල්රුවන් පෙරේරා දෙදෙනාම එකම ඕවරයකදී දවාලූ ඩොම් බෙස් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස වනිඳු දවාලමින් සිය තරග 11ක ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ඩොම් බෙස්ට අගනා සහයක් දුන් වේගපන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3ක් දවාලූ අතර, ජැක් ලීච් එක් කඩුල්ලක් දවා ගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here