කොටස් වෙළෙඳපොළ සහ ආයෝජන උනන්දුව

    0
    6

    දොළොස්වැනිදා (අඟහරුවාදා) කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 8.5 ඉක්මවිය. එය එම වෙළෙඳපොළ ගනුදෙනු ඒ ආකාරයට අඛණ්ඩව ඉහළ ගිය හත්වෙනි දවස විය. කොටස් වෙළෙඳපොළේ මිල වෙනස්වීම් හඳුනා ගැනීම සඳහා භාවිත කරන මිල දර්ශකය හඳුන්වනේ “සියලු කොටස් මිල දර්ශකය” වශයෙනි. එය දොළොස් වැනිදා දර්ශක අංක 78කින් ඉහළ ගියේ ය. එය සියයට 1ක වැඩිවීමකි. දර්ශකයේ අගය 7282ක් වූ අතර මෙවැනි ඉහළ මට්ටමකට පත් වූයේ මාස 65කට පසුවය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම කොවිඩ් රෝගියා හඳුනාගත් දිනයේ සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පහළ යන්නට විය. එම වසරේ මාර්තු 31 දිනවන විට ගනුදෙනුවල වටිනාකම සියයට 20කින් පහළ වැටුණි. ඒ වසර පහකට පසු වාර්තා වූ පහළ ම මට්ටම සටහන් කරමිනි.

    කොවිඩ් ප්‍රථම රැල්ල පටන් ගැනීමෙන් පසු කොටස් වෙළෙඳපොළ පවත්වාගෙන යාම දුෂ්කර විය. එයට හේතු වූයේ ආයෝජකයන් විශාල ප්‍රමාණයක් තම ආයෝජන ඉවත් කර ගැනීම නිසා මිල ගණන් දිගින් දිගට ම පහළ වැටීමය. අවසානයේ දී රට ම ලොක්ඩවුන් කරන විට කොටස් වෙළෙඳපොළ ද වසා දමනු ලැබීය.

    ඉන්පසු එය එය නැවත විවෘත කරනු ලැබුවේ 2020 මැයි මස 11 දිනය. ඒ කොරෝනා ප්‍රථම රැල්ල තරමක් දුරට අවසන් වී රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන නැවත විවෘත කිරීමට පටන් ගැනීමෙන් පසුවය. පළමු රැල්ලේ පළමු රෝගියා හමු වූ අවස්ථාවේ සිට කොටස් වෙළෙඳපොළ ප්‍රතිචාර දැක්වූයේ එයට දැඩි සංවේදීභාවයක් දක්වමිනි. කොරෝනා උවදුර පැතිරයත් ම සමහර දිනවල වෙළෙඳ කටයුතු වරින් වර නතර කිරීමට සිදු විය. කොටස් වෙළෙඳපොළ නීතිය අනුව කිසියම් දිනක කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවල අගය විශාල ලෙස පහළ වැටෙන්නේ නම් එය පැය භාගයකට වසා දමා නැවත විවෘත කළ යුතුය. නැවත විවෘත කිරීමෙන් පසු තවදුරටත් පහළ වැටෙන්නේ නම් නැවත වරක් වසා දැමිය යුතුය. ඒ ආකාරයට කිහිප දවසක් ම සිදුවීමෙන් පසුව එය සම්පූර්ණයෙන් ම වසා දමනු ලැබීය.

    ප්‍රථම කොරෝනා රැල්ලෙන් පසු මැයි 11 දින කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කරන විට ශ්‍රී ලංකාව තරමක් දුරට එය මර්දනය කර තිබීම නිසා වෙළෙඳපොළ පවත්වාගෙන යාම එතරම් දුෂ්කර නොවීය. සාමාන්‍ය පරිදි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හැකි වූ අතර රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන විට වෙළෙඳපොළේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්විය. 2020 අගෝස්තු මස මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟිම නිසා ආයෝජකයන්ගේ බලාපොරොත්තු ඉහළ ගොස් වෙළෙඳපොළේ මිල ගණන් ද ඉහළ ගියේය.

    එහි කටයුතු ඉතා හොඳ තත්ත්වයකින් ක්‍රියාත්මක වෙමින් තිබිය දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මුල දී කොරෝනා දෙවන රැල්ල ආරම්භ විය. එය ආරම්භ වූ මුල් අවස්ථාවේ දී කොළඹ කොටස් වෙළඳපොළ මිල ගණන් නැවත පහත වැටුණ ද දින කිහිපයක් තුළ යථා තත්ත්වයට පත් වූ අතර දෙවන රැල්ල හේතුවෙන් බස්නාහිර පළාත ලොක් ඩවුන් කර තිබියදීත් කොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබීය. ක්‍රමයෙන් කොරෝනා සමඟ ජීවත්වීමට කොටස් වෙළෙඳපොළ ද හැඩ ගැසෙන්නට විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පොරොන්දු වූ පරිදි බදු අඩු කිරීමට කටයුතු කළේය. උපයන විට බදු, ඉතුරුම් බදු ආදිය අඩු කිරීම නිසා බදු ගෙවමින් සිටි පිරිස්වල වැය කළ හැකි ආදායම ඉහළ ගොස් තිබේ. ව්‍යාපාරික ආයතනවල බදු ප්‍රමාණය අඩුවීම නිසා ආයෝජනයට යෙදවිය හැකි මුදල් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

    කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඇතිව තිබෙන ආර්ථික පසුබැස්මට මුහුණදීම සඳහා රජය විසින් අනුගමනය කළ එක් ප්‍රතිපත්තියක් වූයේ රටේ පොලී අනුපාත විශාල ලෙස පහළ දැමීමය. බැංකු තැන්පතුවල මෙන් ම බැංකු ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රමාණය ද විශාල ලෙස පහළ දමා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය තුළ වැය කළ හැකි ආදායම ඉහළ ගොස් තිබේ. ආයෝජන අංශ වෙත යොමු කළ හැකි ප්‍රාග්ධන අතිරික්තයක් ආර්ථිකය තුළ ගොඩනැඟෙමින් පවතියි.

    අනෙක් අතට ආර්ථිකය තුළ පොලී අනුපාත අඩු වන විට මහජනතාව බැංකු තැන්පතුවලට වඩා වැඩි ආදායමක් ලැබෙන විකල්ප ආයෝජන මාර්ග පිළිබඳව අවධානය යොමු කරයි. ඉඩම් සහ රත්තරන් වැනි දේවල ආයෝජනය කිරීමට අඩු පොලී අනුපාතයක් පවත්නා විට මහජනතාව අවධානය යොමු කරයි.

    පොලී අනුපාත පහළ යන විට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු ඉහළ යන්නේ බැංකු ඉතුරුම්වලට වඩා වැඩි ආදායමක් කොටස්වල ආයෝජනය නිසා ලැබෙන බැවිනි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ අනෙක් බොහෝ රටවල කොටස් වෙළෙඳපොළ කටයුතු පසුබෑමකට ලක් ව තිබිය දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ දිගින් දිගට ම ඉහළ යාමට හේතු වී ඇත්තේ රජය විසින් බදු අඩු කිරීම නිසාත් පොලී අනුපාත අඩු කිරීම නිසාත් ආර්ථිකය තුළ ආයෝජන සඳහා යෙදවිය හැකි මුදල් ප්‍රමාණය ඉහළ යාමත්ය.

    ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පසුගිය කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ලබා දී තිබු ඉහළ අගයන් අඩු කළේය. එවැනි තත්ත්වයක දී සිදුවන්නේ දේශීය කොටස් වෙළෙඳපොළ කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇති වී මිල ගණන් පහළ වැටීමය.කොරෝනා දෙවන රැල්ල හමුවේ රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ හැකිතාක් දුරට ආර්ථික කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමය. ලොක්ඩවුන් කිරිම මෙම ව්‍යසනයට විසඳුම නොවන බවත් සාමාන්‍ය ජන ජීවිතය සහ ආර්ථිකයේ නිෂ්පාදනය කටයුතු හැකි උපරිම අයුරින් පවත්වා ගෙන යමින් කොරෝනා සමඟ ජීවත් වීමට පුරුදු විය යුතුය යන්න රජයේ අදහස වී ඇත. එම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේ තුන්වන කාර්තුවේ දී සෘණ වර්ධනයක් පෙන්නුම් කළ රටේ ආර්ථිකය අවසන් කාර්තුවේ දී ධන ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. ඒ තුළ රටේ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය වර්ධනය වී ඇති අතර ලෝක ශ්‍රේණිගත කිරීම් ආයතනවල නිගමන නොසලකා හැර කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට පෙලඹී ඇත.

    ආර්ථිකය තුළ ආයෝජන සඳහා යෙදවිය හැකි ප්‍රාග්ධන අතිරික්තයක් ඇති ව තිබේ. කොටස් වෙළඳපොළේ අඛණ්ඩ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ එයයි. එහෙත් කොටස් වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගිය පමණින් ආර්ථිකයේ ආයෝජන මට්ටම ඉහළ යන්නේ නැත. දැනටමත් නිකුත් කර ඇති කොටස් විකිණීම සහ මිල දී ගැනීම පමණක් එහි දී සිදු වේ. එසේ වුව ද රටේ අනාගත ආර්ථික කටයුතු පිළිබඳ ව්‍යාපාරිකයන්ගේ මෙන් ම මහජනතාවගේ ද විශ්වාසය තහවුරු වී ඇති බව ඉන් පැහැදිලි වේ.

    බදු අඩු කිරීම සහ පොලී අනුපාත අඩුකිරීම මගින් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය තුළ පවත්නා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමය. ආර්ථිකය තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමය. ආර්ථිකයේ ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වන විට භාණ්ඩ සහ සේවාවන් සඳහා පවතින ඉල්ලුම වැඩි වේ. ඉල්ලුම වැඩිවීම නිසා නිෂ්පාදනය වැඩි වේ. එහෙත් ආර්ථිකයට එකතු වන මුදල් ප්‍රමාණය පවතින කොටස් මිල දී ගැනීම සඳහා පමණක් යොදවන්නේ නම් එවිට මුදල් සැපයුම වැඩි කිරීම මගින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටුකර ගැනීමට බාධා පැමිණෙනු ඇත.

    එබැවින් ව්‍යාපාරික ආයතන විසින් අලුත් ආයෝජන අවස්ථා ඇති කිරීම, අලුත් කොටස් නිකුත් කිරීම, ව්‍යාපාරික ආයතනවල ප්‍රාග්ධන පදනම ඉහළ නැංවීම, ණය බැඳුම්කර ආදිය නිකුත් කිරීම මගින් ආයෝජන ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතු ව ඇත. ඇති ව තිබෙන ආයෝජන උනන්දුව රටේ සංවර්ධනය සඳහා අදාළ කර ගත හැක්කේ ඒ ආකාරයට අලුත් ආයෝජන අවස්ථා ඇති කිරීම මගින් පමණි.

    මහාචාර්ය

    සුනන්ද මද්දුමබණ්ඩාර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here