ගුවන් පාපැදි සවාරියේ වෙනසක් නෑ

0
15

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා ප්‍රකාශ කළේය. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව තරගකරුවන් ජෛව බුබුළු ආරක්ෂිත වළල්ලකට එක් රැස් කරමින් මෙවර තරගාවලිය පැවැත්වීමට අදහස් කරන බව ‘දිනමිණ’ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට පසුගියදා එක් වූ ගුවන් හමුදාපතිවරයා කියා සිටියේය.

ගුවන් හමුදා පාපැදි සවාරිය දශක දෙකකට වැඩි කාලයක් පුරා මෙරට පැවැත්වෙන ජාතික මට්ටමේ ප්‍රමුඛතම පාපැදි සවාරිය වන අතර, මෙවර ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව ලබන මාර්තු මාසයේ 2 වැනිදා සිට 4 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගුවන් හමුදාපතිවරයා පැවසීය.

“සැලසුම් කළ පරිදි කරනවා. නමුත් අපි මේ පාපැදි සවාරියේ අවසන් දිනයේදී සාමාන්‍යයෙන් සිදු කරන පරිදි මහජනතාව සහභාගි කර ගනිමින් පවත්වන සංගීත ප්‍රසංගය ඇතුළු අංග කිහිපයක් කොවිඩ් වසංගතයේ අවදානම නිසා මතු වී ඇති තත්ත්වය මත අවලංගු කරන්න තීරණය කළා. මොකද තරගාවලිය පැවැත්වෙන්නේ සෞඛ්‍ය අංශය දී ඇති මාර්ගෝපදේශවලට අනුවයි. ඒ නිසා තරගකරුවන් ජෛව බුබුළු ආරක්ෂිත වළල්ලකට එක්රැස් කරගෙනයි පවත්වන්න වෙන්නේ. ඒක අපිට පාලනය කරන්න පහසුයි. නමුත් අවසන් දිනයේදී මහජනතාව සම්බන්ධ කරගෙන සංගීත ප්‍රසංග වැනි ඉසවු පැවැත්වීමෙන් අපිට මේ තත්ත්වය පාලනය කරන්න අසීරු වෙනවා.” ගුවන් හමුදාපතිවරයා කීවේය.

කොවිඩ් අවදානම හමුවේ වූවත් ඉදිරිපත්වන තරගකරුවන්ගේ අඩුවක් සිදු නොවනු ඇතැයි ගුවන් හමුදාපතිවරයා විශ්වාසය පළ කළේය.

“තරගකරුවන් අඩු කිරීමක් වෙන්නේ නෑ කියලා හිතනවා. දැනටමත් මේ තරගාවලියට ඉදිරිපත් වෙන කණ්ඩායම්වල හා තරගකරුවන්ගේ ප්‍රතිචාර යහපත් මට්ටමකයි තිබෙන්නේ.” ඔහු සඳහන් කළේය.

රට පුරා ප්‍රධාන නගර රැසක් ආවරණය වන පරිදි පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය මෙරට ප්‍රබලතම තරගකරුවන් සියලු දෙනාම සහභාගි වන ඉහළ මට්ටමේ තරගාවලියක් වන අතර, පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන තරගාවලියකි.

පසුගිය වසරේ පැවැති 21 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ සමත් වූ අතර, යුද හමුදාවේහිම අවිෂ්ක දිල්නුවන් දෙවැනි ස්ථානය දිනා ගත්තේය. සුපර් වීලර්ස් ක්‍රීඩා සමාජයේ දර්ශන ප්‍රසාද් තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

එවර කණ්ඩායම් ශූරතාව දිනාගනු ලැබුවේ යුද හමුදාව විසිනි. එම කණ්ඩායමේ පැතුම් සම්පත් කඳු නැගීමේ ශූරයා ලෙසත්, අවිෂ්ක දිල්නුවන් ස්ප්‍රින්ට් ශූරයා ලෙසත් සම්මානයට පාත්‍ර වූහ. යුද හමුදාවේ උදේශනී කුමාරසිංහ සමස්ත තරගයේ කාන්තා ශූරිය බවට පත් වූ අතර, යුද හමුදාවේහිම මධුමාලී ප්‍රනාන්දු දෙවැනි ස්ථානයත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලූකා ශාමලී තුන්වැනි ස්ථානයත් දිනා ගත්හ. කාන්තා තරග අංශයේ කණ්ඩායම් ශූරතාව දිනා ගනු ලැබුවේ ද යුද හමුදාව විසිනි.

 ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here