මාස 10ක් පුරා මැවූ සිහිනය බොඳවූ ක්‍රිකට් ලෝලියා ගාලු කොටුවෙන් නික්ම යයි!

0
28

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල කොටු පවුරේ සිට නැරඹීමට සූදානමින් සිටි එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය අද (14) කටයුතු කර තිබිණි.

මෙලෙස ගාල්ල කොටු පවුරේ සිට තරගය නැරඹීමට සූදානමින් සිට ඇත්තේ මීට මාස 10කට පෙර දිවයිනට පැමිණි රොබ් ලුවිස් නමැති එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකි.

පසුගිය වසරේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය කල් දැමීම සිදුවූයේ එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණිමෙන් පසුවය.

මෙම එංගලන්ත ජාතිකයා ද එංගලන්ත කණ්ඩායම සමග පසුගිය වසරේ මාර්තු මාසයේ දිවයිට පැමිණ තිබුණේ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නැරඹීමේ අපේක්ෂාවෙනි.

තරගාවලිය කල් දැමීමත් සමග එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ආපසු සිය රටබලා පිටත්ව ගිය ද ගාල්ල ක්‍රීඩාංගනයේ තරගයක් නැරඹීමේ අපෙක්ෂාවෙන් පසුවූ එංගලන්ත ජාතික ක්‍රීඩා ලෝලියා මෙරට රැඳී සිට තිබේ.

කේසේ වෙතත්, මාස 10කට ආසාන්න කාලයක් මෙරට රැදී සිටිමින් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියක් නැරඹීමට අපේක්ෂාවෙන් සිටි ඔහුගේ සියලු බලාපොරොත්තු අද බිඳ වැටී ගියේ ය.

ජනතාව එක්රැස් වීම වැළැක්වීමේ අරමුණින් ගාලු කොටු පවුරේ සිට තරගය නැරඹීට කිසිවෙකුට අවස්ථාව ලබා නොදීමට ගාල්ල පොලිසිය පියවර ගැනීමත් සමග මෙම එංගලන්ත ජාතිකයාට ගාලු කොටු පවුරින් බැස යාමට සිදුවිය.

“මට ගොඩක් කලකිරුණා. මම මේ තරගය නැරඹීමට මාස 10ක් බලා සිටියා. පොලිසිය මාව පන්නා දැමුවා,” යැයි  තරගය නැරඹීට නොහැකි වූ එංගලන්ත ජාතිකයා විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

ඔහු විසින් ගාලු කොටු පවුරේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරු තුනක් ඉවත් කිරීමට ද ගාල්ල පොලිසිය කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here