පාරේ බැහැලා ගියත් රවීට ‘අයිකන්’ එකක් තියෙනවා. අවුරුදු 35ක් විතර මන්නෙත් එක්ක ඔට්ටු වෙලා ලෝකෙම දන්න මිනිහෙක් වෙච්ච එක ගැන සතුටුයි. මගේ ‘කට්’ බලලා, ඒ ගැන ඉගෙන ගත්තා කියලාත් සමහරු කියනවා. ඕනෑම දෙයක් හරියට ඉගෙන ගත්තොත් ඉහළටම යන්න පුළුවන්. ඒක තමයි තියරිය. හැබැයි, ප්‍රැක්ටිකල් ඇඟේ තියෙන්න ඕන. අඩවන් දෑස්. අවුල් වි ගිය කෙස් රොද. බරට බර මාළු වට්ටි.
කපුටු කන්කරච්චල්, කොකුන්ගේ කරපෙවිලි එකදිගට මාළු ලෑලි දිගේ ඇති රූ ලොකු පොඩි විවිධ වර්ගයේ මාළු කූරි, ටික ටික සැරවේගෙන එන කර සුළඟ ඒ සිහිලසේ වැල්ලේ ඔහේ දිගාවේගෙන ඈත මුහුද දිහා බලාගත් ධීවරයෝ, නිමා කළ දවසක මතක අතර කිමිදීගෙන, ඒ මූදුකරේ ජීවිතේ අමුත්ත, රටේ ලෝකේ අනිත් හැමෝම අලුත් දවසකට සැරසීගෙන, ඒ අතරේ පහුවදා රෑ මුහුදු රස්සාවට ගිහින් ගොඩට පැමිණි මේ ධිවරයන්ගේ කලදවස වෙනස්. ඒ අයට දැන් දවසේ හැන්දෑකරේ ආපිට රෑ කරුවලේ තමයි මේ ඇත්තෝ මුහුදු ගමන පටන් ගන්නේ.
ඔයින් මෙයින් අපි අඩි ගණින්නේ මුහුදෙන් වැල්ලට, වැල්ලෙන් මාළු වාඩි දිහාටයි අපේ ගමන යෙදෙන්නේ.
ලෙල්ලම
ඒ, සෙල්ලමක් නොවෙන මුහුදු ජීවිතේ ලොකුම නිවහන. රැයක් පුරා නෙළා ගෙනා මුහුදු සම්පත කේවල් වෙන්නේ ලෙල්ලමේදී.
ඉතින් කවුරුත් දහසකුත් බලාපොරොත්තු දල්වාගෙනයි ලෙල්ලමට එන්නේ. ඒ, කෙනෙක් ධීවරයෙක්. තවත් කෙනෙක් ගැනුම්කරුවෙක්. ටොන් ගණන් මාළු තොග වුණත් සුටුස් ගාලා විකිණී හමාර වෙන්න, ලෙල්ලමේ වැඩි වේලාවක් ගත වෙන්නේ නැහැ.
අලුයම ලොකු ලොකු ගනුදෙනුවලට වටින් පිටින් එළිය වැටීගෙන පැහැබරවීගෙන එද්දී පුංචි පන් මල්ලක් කිහිලි ගන්වාගත්ත වට්ටි අම්මලා ලෙල්ලමේ එක් රොක් වෙනවා. මාළු පෙට්ටි බැඳගත්තු මාළු බයිසිකල්කරුවන්ගෙන් ලෙල්ලම වැසී යනවා. ඒ තරමටම ජනසන්නිපාතයක් එතැනට එක් වෙනවා.
ඒ කාගේ කාගේත් අතරින් අප මේ රිංගා යන්නේ ඒ එක අමුත්තෙක් සොයාගෙන. ඒ එක මනුස්සයෙක්. පුංචි මිනිසෙක්. ශ්‍රී ලංකාවේ තරුණයෙක්.
ඒත් ඔහු කරන කියන වැඩ හරි ලොකුයි. අන්තර්ජාල වීඩියෝ නම් දැන් එමටයි. ඒත් ඒවායෙන් මිනිසුන්ගේ හිත් ඇද බැඳ ගන්නේ හරිම ටිකයි. වැඩිමනක් අසභ්‍ය එහෙමත් නැතිනම් හිත්වලට විෂ එකතුකරන ඒවා.
ඒත් අද අපේ කතානායකයාගේ කතාන්දරය ඊට වෙනස්. මේ වැල්ලේ ඉපදිලා වැල්ලේම හැදී වැඩුණු කෙනෙක්. වැල්ලේ රක්ෂාව කළ වැල්ලේ නෑයන් එක්කලා තමයි මෙයා කවදත් ඉන්නේ. වැල්ල වීදිය මීගමුව තමයි එයාගේ ලිපිනය.
ඉතින් අපේ අමුත්තාව හඳුන්වා දෙන්න හොඳම විදියක් තමයි අපේ බත් පත. ඒකට පෝෂණ ගුණය එක් කරන මාළු කෑල්ල ලස්සනට හැඩේට කපන එක වෙනම කලාවක්.
කටු – බටු කොරපොතු වරල් – කොරල් එහෙම අහක් කරලා ඒක ලෙසටම වුණොත් තමයි රසකරලා කාට කාටත් මාළු වෑංජනයක රස බලන්න ලැබෙන්නේ.
මාළු කපන රවී
එහෙමත් නැතිනම් Fish Cutting Ravi අපට හමු වන්නේ එතැනදීයි. තව ඕනෑතරම් ලෙල්ලම්වල මාළු කැපිල්ල ජොබ් එක කරගත්ත කොල්ලො දකින්න පුළුවන්. ඒත් රවී තමන්ගේම කියලා වෙනමම ස්ටයිල් එකක් ඇති කරගෙන තියෙනවා.
දවසක් දෙකක් නෙවෙයි, 28 අවුරුද්දක් තිස්සේ ඒක එහෙමයි. අපි මේ ටිකෙන් ටික දියඹට ඇදෙන්නේ ඒ කතාව දිගේ.
ඒ විතරක් නෙවෙයි. රවී දැන් ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකයේම ජනප්‍රිය කෙනෙක්. යූ-ටියුබ් හරහා මිලියන ගණනක් ප්‍රේක්ෂකයන්ව රවී ඇද බැඳගෙන ඉන්නේ එයාගෙම ආරකට.
පිටින් බැලුවත් ඒ ඒ වෙනස්කම් වෙනවා. අව් කණ්ණාඩිය, හාෆ් ක්‍රේල් කළ දිග කොණ්ඩය, උස කඩවසම් හැඩහුරුකම, නිතර සිහනවෙන් සැහැල්ලුවෙන් ගෙවෙන ජීවිතය මේ තමයි රවීගේ ජීවිතේ.
රවීන්ද්‍ර නලීන් කුමාර
කවුරුත් මීගමු වැල්ලේ රවී විදියට දැන හඳුනාගන්නා අපේ කාලයේ ලෙල්ලමේ කොල්ලාගේ නම එහෙමයි. ඉන් එහා වගතුග ටිකක් කියන්න වගේ දැන් රවී කල්පනාබරව ඉන්නේ. අපි දැන් හැරෙමු ඔහු දිහාට.
‘බාප්පා මාව වැල්ලට එක්කරන් එද්දි මං හරි පුංචියි. අපේ පරම්පරාවේ හුඟදෙනෙක් මාළු කැපිල්ල ජොබ් එක කරගත්ත කට්ටිය.
මං අවුරුදු 15ක් මේ වැඩේට බැස්සේ. ඒ කාලේ මං කෝඩුකාරයා. හරි පරෙස්සමට හොඳ හුස්මක් ඉහළට අරන් යහමින් නුවණින් හෙමින් හෙමින් තමයි මාළු මන්නෙන් වැඩ දැම්මේ.
දැන් මන්නේ මට ඕන අතකට ඔට්ටුයි. හැබැයි තවමත් හොඳ සිහි කල්පනාවෙන් හොඳ අවධානයෙන් වැඩේ කරන්නේ. මේ ජොබ් එක කරන කාට වුණත් එහෙම තමයි. පොඩ්ඩ ගැස්සුණොත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවානේ.
මටත් පොඩි පොඩි ‘මිස්ටේක්’ වෙලා නැතිව නෙවෙයි. ඒවා හොඳ පාඩම්. මං ඒවායෙන් ඉගෙන ගත්තා. තවමත් මං ඉගෙන ගන්නා ගමන් ඉන්නේ…
ඒ ඔහුගේ නිහතමානීත්වය වැල්ලේ කොල්ලෙක් මේ කේෂාවට හොඳ හැඟීමෙන් ඇවිදින් උගන්වන්න කිව්වොත් දෙවරක් නොසිතා දන්නා කියන ටික උගන්වනවා කියලායි රවී අපට කීවේ.
‘අපිට ඉතින් හැමදාමත් මේක කරන්න බැහැනේ. අපෙන් පස්සේ එන්න ඉන්න අයට මේක දීලා යන්න වෙන දවසක් එනවා. එදාට හොඳ හිතින් හොඳ නමක් තියාගෙන මෙතැනින් ගියොත් තමයි වටින්නේ…’ ඒ රවීගේ සිත.
කොහොමින් කොහොමින් හරි රවී දැන් මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් ඉන්නේ. ඒත් ලස්සනට, හොඳට, පිළිවෙළට වැඩේ කරන්නයි එයා මහන්සි ගන්නේ.
හුඟක් වෙලාවට හරි සොච්චමයි රවීලාට ලැබෙන්නේ. ඒ ටික ටික එකතු කරන් ගිහින් තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඒත් ලැබෙන දෙයින් සතුටුවෙලා කාලා බීලා ජොලි කරලා මුහුදේ පැනලා ගාලා කැරම් අතක් ගහලා ඉඳහිට බෝට්ටු සවාරියක් එහෙම ගිහින් ෆන් එකේ ඉන්න ඕනැයි කියලායි රවී කවදත් කියන්නේ.
අඩි තුන හතරේ මන්නා පිහිය රවීට නැතිවම බැහැනේ. මෙහෙම තැනකින් කියවලා හදවා ගන්නා රවීගේ මන්නා පිහිය කිලෝ එකක් විතර බර තියුණු ආයුදයක්. එහෙම බර නොවුණොත් මේ වැඩේට අමාරුයි කියලයි එයා කියන්නේ.
ඒත් අවුරුද්දෙන් අවුරුද්දට මන්නා පිහි මාරු කරන්න වෙන්නේ ඒක ගෙවිලා බර අඩුවෙන නිසයි. රුපියල් තුන්හාදක්වත් වෙන්නප්පුවෙන් අලුත් මන්නයක් හදාගන්න වැයකරන බවත් ඔහු කීවේ ආරෝවකින් නම් නොවෙයි.
තීරුවට, රවුමට, කොටුවට දුප්පතාගේ, පොහොසතාගේ බත් වේලට මාළු කෑල්ලක් ලස්සනට කපලා දෙන්නට රවීලා මහන්සි වෙන්නේ එහෙමයි.
‘මාළු කපනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. වැඩේ වන් ෂොට් කරන්න ඕනි. මිස් වුණොත් කූරියම ඉවරයි. කස්ටමර්ගෙන් කස්ටමර්ට ස්ටයිල් එක වෙනස්. එක්කෙනෙකුට පෙති. අනෙක් එක්කෙනාට කොටු. තව කෙනකුට ඇඹුල් තියල්. කලාතුරකින් බාබකියු.
මේ හැම දේටම ඔට්ටුවෙලා ඉන්න ඕනි. ‘ටෙක්නික්’ එක දන්නේ නැති නම් වැඩේ හරියන්නේ නෑ. මුහුදේ මාළු ජාති කොච්චර ඉන්නවාද? හැබැයි එකින් එකට කට් එක වෙනස්. පරවාට දාන කට් එක ගිරවාට දාන්ඩ බෑ. ගිරවාට දාන කට් එක කොස්සාට දාන්න බැහැ.
මුහුදු කුකුළා රබර් වගේ. දැල්ලාගේ දැලි ටික පොඩි වුණොත් ඉවරයි. මඩුවා වෙනම එකෙක්. මාළු ජාතිවලට දෙන කට් එක වගේම තමයි කස්ටමර්ගේ චොයිස් එක.
රවී කියන්නේ ජීවිකාවේ කතාවයි. ඔහු බොහොම සරල – සුන්දර මිනිහෙක්. විලාසිතා ලෝලියෙක්. ඒ නිසාම ලෙල්ලමේ හැමෝම රවීට ආදරෙයි.
කාක්කන්ගේ කෑගැහිල්ල, පූසන්ගේ දැඟලිල්ල. බල්ලන්ගේ නිමක් නැති පොරකෑම ඔස්සේ රවීගේ කතාව තවත් දුරට.
ලංකාවේ හුඟක් දෙනෙක් දැන් මාව දන්නවා. ලෝකෙ වටේ මිලියන ගණනක් යූ-ටියුබ් එකේ මගේ ‘කට්’ බලලා තියෙනවා. ඒ වගේම කොහේ පාරේ බැහැලා ගියත් රවීට ‘අයිකන්’ එකක් තියෙනවා.
අවුරුදු 35ක් විතර මන්නෙත් එක්ක ඔට්ටු වෙලා ලෝකෙම දන්න මිනිහෙක් වෙච්ච එක ගැන සතුටුයි. මගේ ‘කට්’ බලලා, ඒ ගැන ඉගෙන ගත්තා කියලාත් සමහරු කියනවා. ඕනෑම දෙයක් හරියට ඉගෙන ගත්තොත් ඉහළටම යන්න පුළුවන්. ඒක තමයි තියරිය. හැබැයි, ප්‍රැක්ටිකල් ඇඟේ තියෙන්න ඕන.
රවී තමන් ඉන්න තැන ගැන ආඩම්බරයෙනි. සේවාව, කැපවීම, ඉවසීම, මිත්‍රත්වය ඒ හැමදේම රවී ළඟය.
‘මිනිහෙක් මාළු කූරියෙක් ගන්නේ රහට කන්නයි. ඒක හරියටම කපලා කොටලා දෙන එක සේවයක්. සල්ලි හම්බවෙනවා තමයි, ඒ වුණාට ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි නේද?
රවී අපෙන් අහන්නේ එහෙමයි. ඇත්තටම රවී කියන්නේ ලෝකේ වටේ නොහිතපු විදිහට ජනප්‍රිය වෙච්ච මිනිහෙක්.
ඔන්න ඔහොමයි මාළු කැපිල්ල ජීවිකාව කර ගත්ත අයගේ කතා වස්තුව. රවී ඉන් කෙනෙක්. කොච්චරවත් මන්නා පිහිය මුවත් තියනා ගමන්මයි ඒ අය ඉන්නේ. පාරිභෝගිකයාට ඕනෑ විදියට කෑලි නැතිනම් පෙති ගහලා මාළු ටික හරිගස්වා දෙන්නේ ඉතින් රවීලා තමයි. ඉදින් කෙමෙන් ඉර මුහුදේ ගිලේ. වැල්ලටත් ඒ ඉහත්තාවේ ඇටවූ ලෙල්ලමටත් බිම් කරුවල වැටේ. ඒ ධීවරයන්ගේ දවසේ උදාව, දෙනෝදාහක් දවසේ ඉසිඹුලන විට ඔවුහු දැන් වෙරළට එක් රොක් වෙනවා. මුහුදු ගමනට දැන් බෝට්ටු සූදානම්.
ඒ අතරේ හැන්දෑකරේ වැඩ නිමාකරන් රවී දුව, පුතා සහ ප්‍රිය බිරිය වෙසෙනා නවාතැනට යන්නයි සූදානම.
ඉතින් අපි අදට නවතිමු. ඒ හෙට ඉර උදාවත් සමඟ ධීවරයන් බෝට්ටු පුරවා ගෙනෙනා අලුත් දවසේ මත්ස්‍ය අස්වැන්න දෝත දරන්නට මඟ බලාගෙනයි. ඒ සුබ දිනයේදී කාටත් උදවු වන්නට රවී තවමත් මන්නා පිහියක් මුවත් තියන් මුහුදුකරේ එහේ මෙහේ කරක් ගසමින් කෙළිදෙළෙන් කල් ගෙවමින් හිඳීවි.
හෙට ආයේ අලුත් දවසක්. බලාපොරොත්තු පොදි බැඳගත්ත මුහුදු සුළංවලින් හිත අලුත් වන දවසක්. හෙටත් රවී ලෙල්ලමේ මන්නයෙන් සෙල්ලං දමාවි. ඒ සෙල්ලම දෙනෝදාහකගේ බත් පත රස කරයි.
නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූප – ශාන් රූපස්සර