යොවුන් හදවත් මුසපත් කළ ගොළු හදවත

    0
    8

    දමයන්ති කැඩපත ඉදිරියේ ඉණට අත තබාගෙන තම සිරුරේ හැඩරුව දෙස හැරී බලයි. ඇය සෙමෙන් තම සිරුර ස්පර්ශ කරයි. මිහිරි සිනාවක් මුවඟට නැඟේ.

    ‘…ඔයා දකිනතුරු මම තරුණියක් ද? දැරියක් ද? කියලා හැඟීමක් තිබුණෙ නෑ. යොවුන් තරුණියකගෙ සිරුරේ එතෙක් ජීවත් වුණේ ළමයෙක්…’ ඇය සිතයි.

    සුගත් තනිව පංති කාමරයේ සිටී. දම්මි පැමිණ ඔහුට කතා කරයි. ඇගේ වත මල් විසිරෙන මඳහසකි.

    ‘මම ඒ විදිහට ‍යාළු වෙන්න ආවෙ ඇයි කියලා ඔයා පුදුම වෙන්නැති. එහෙම යාළු වුණාම මගේ හිතේ නොසන්සුන්කම අඩු වෙයි කියලා මම හිතුවා. ඔයාගෙ මූණ දැක්කම ඇතිවන චකිතය සාමාන්‍ය ආශ්‍රයට වැටුණාම අඩු වෙයි කියලා මම හිතුවා…’

    ඇය කියයි.

    මේ හැඟුම්බර දර්ශනය 1968 දී හොඳම චිත්‍රපටය ඇතුළු ජාතික හා විචාරක සම්මානයට පාත්‍ර වූ ‘ගොළු හදවත’ චිත්‍රපටයෙනි.

    ‘ගොළු හදවත’ නවකතාවේ අයිතිකාරයා කරුණාසේන ජයලත් සූරීන්ය. 1960 දශකයේදී අතිශය ජනප්‍රියත්වයට පත් ඒ නවකතාව ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් අතින් සිනමාවට නැඟිණි.

    ජයලත්ගේ නවකතා ඇසුරින් සිනමා නිර්මාණ රැසක් නිර්මාණය විය. ඒ අතරින් මුලින්ම සිනමාවට නැඟුණේ එදා යොවුන් සිත් වසඟ කළ, යොවුන් පරපුර ආදරයෙන් වැලඳගත් ‘ගොළු හදවත’ ය.

    ගොළු හදවත චිත්‍රපටය ඇරඹෙන්නේ දම්මි (අනුලා කරුණාතිලක), සුගත් (වික්‍රම බෝගොඩ) හමුවන්නට යාමෙනි. වසර ගණනාවකට පසු ඇය හමුවීමෙන් පෑරුණු සිතැති සුගත් තමන්ගේ ජීවිතය සමඟ ඇය සෙල්ම් කළේ ඇයිදැයි ඇයට චෝදනා කරයි. ඒ කතාවේ අතීතය ඊළඟට ප්‍රේක්ෂකයා හමුවට එයි.

    ‍ගම්බද පාසලකදී සුගත්-දම්මි දෙදෙනා හමු වෙති. සුගත් තැන්පත් සිසුවෙකි. දම්මි සුගත්ට පෙම් කරන්නීය. ටික කලකට පසු දිනක් ‘සති දෙකක කාලයක් කතා නොකර ඉඳිමු’ යැයි දම්මි සුගත්ට යෝජනා කරයි. එහි යම් රහසක් ගැබ්වී තිබේ.

    පාසල් වාරය නිම වීමට ආසන්න වෙද්දී ඇය සුගත්ට පවසන්නේ ‘ඔහු උඩරට මැණිකේ කෙනකු සොයා ගත යුතු’ බවයි. යළි පාසල ආරම්භ වූ පසු ඔවුන්ගේ ප්‍රේමය නැවතත් ඇරඹෙයි. එනමුත් විභාගය අවසන් වූ පසු සුගත්ට ඇය පවසන්නේ ඔහු කෙරෙහි ඇයට තිබුණේ සහෝදර ප්‍රේමයක් මිස අන් කිසිවක් නොවන බවයි.

    අවුල් වූ මනසින් සුගත් පාසල හැර සිය සහෝදරයා සමඟ කොළඹට යයි. ඔහුට යළි ඇය හමුවන්නේ පාසලේ පැවති සැණකෙළියකදීය. ඒ ඇගේ විවාහ ගිවිස ගත් තරුණයා ද (නලින් විජේසේකර) සමඟය. මේ හේතුවෙන් සුගත්ගේ දිවිය තවත් අවුලකට පත් වෙයි.

    සොම්නස හා දොම්නස මුසු වූ මේ ප්‍රේම විපුලම්භය අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රකාශ කරන්නේ දැඩි සංයමයකිනි. කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව ඒ වන විට එදා යොවුන් සිත් පැහැරගෙන අවසන්ය. එලෙසම චිත්‍රපටයේ දම්මි (දමයන්ති) ලෙස රඟපෑ අනුලා කරුණාතිලකගේ රඟපෑම විශිෂ්ට තත්ත්වයක පැවතිණි.

    චිත්‍රපටය තුළින් අධ්‍යක්ෂවරයාගේ අනුවේදනීය වූත්, මානව භක්තිය සහිත වූත් ස්වභාවය මැනවින් නිරූපණය වූ බව විචාරක අදහස විය. එතෙක් ප්‍රේක්ෂකයන් දැන හඳුනාගෙන සිටි විහිළුකාරයන්, සටන්කාරයන්, නැටුම් දර්ශන, ගීත, මවුවරුන්ගේ පියවරුන්ගේ අඬන දර්ශන වැනි ඒවා ගොළු හදවතේ දක්නට නොවීම සුවිශේෂත්වයකි. සුලබව එතෙක් චිත්‍රපටවලින් දැකිය හැකි වූ හැඟීම්බර සිදුවීම් ගොළු හදවතින් ප්‍රේක්ෂකයනට දක්නට නොලැබිණි.

    චිත්‍රපටයේ වඩාත් කැපී පෙනුණේ අනුලා කරුණාතිලකගේ රඟපෑම් බව කිවහොත් එය නිවැරැදිය. ඇය සුගත් සමඟ පවත්වන පෙම් සබඳතාවයේදී සිසු දැරියක ලෙසිනුත්, යෙහෙළියන් ඇසුරේදී දඟකාර දැරියක ලෙසිනුත් රඟපා ඇත්තේ ඒ ද්විත්ව චරිත සමබරව තබා ගනිමිනි. එහෙත් ඈ කිසිදු අවස්ථාවක සිය රඟපෑම අසාර්ථක කර ගත්තේ නැත.

    වික්‍රම බෝගොඩ සුගත්ගේ චරිතය රඟපෑවේ ආධ්‍යාත්මයට නැඹුරු වූ ගති පැවතුම් සහිත වීරයන්ගේ සම්ප්‍රදායටය.

    ගොළු හදවතේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන තවත් දර්ශනයක් එයි. ඒ වරක් දම්මි පංති කාමරය අසලට ගොස් සුගත්ට වෙරළු දෙන අවස්ථාවයි.

    දම්මිගේ පවුඩර් සුවඳ රැඳි වෙරළු මහත් සතුටකින් ගන්නා සුගත්, කාලයාගේ ඇවෑමෙන් එය හලාහල විසක් බවට පත්වන බව දැන සිටියේ නැත. මුහුදු වෙරළේදී තමා අමතක කරන්නැයි කියමින් සුගත් අතැර දැමූ දම්මි ඇගේ උරුමක්කාරයා සමඟ පසු කලෙකදී හමුවීම සුගත්ට ඉවසුම් නොදෙන්නක් විය. සිනමාකරු එය මනාව සංයමයෙන් ග්‍රහණය කරගෙන තිබිණි.

    කෙසේ වුව ද මේ ප්‍රේම කතාව යොවුන් වියට පිවිසෙන මායිමේ සිටින්නන්ගේ සිත් තුළ ඉමිහිරි මතකයක් ඉතිරි කිරීමට සමත් විය. එය වචනයට නැඟීම පවා දුෂ්කර චිත්ත ධාරාවකි. ඔවුන්ගේ ප්‍රේමය තුළ කිසිදු කායික ආස්වාදයක් පිළිබඳ හැඟීමක් නොතිබිණි. දම්මිව සිප වැලඳ ගැනීමටවත් සුගත්ට හැඟීමක් ඇතිවී යැයි චිත්‍රපටයෙන් පිළිබිඹු නොකිරීමට සිනමාකරු වගබලාගෙන තිබිණි. කාම තෘෂ්ණාවෙන් තොර සුගත්ට – ධම්මිගේ ආදරය සීමා වී තිබුණේ පියකරු මුහුණකට, සිනහවකට හා කතාවකට පමණි.

    සෘජුව පැවසුවේ නැති වුව ද ගොළු හදවත චිත්‍රපටය නිරීක්ෂණය කරන විට ප්‍රේක්ෂකයාට දැනෙන දම්මිගේ චරිතයේ කිසියම් පැල්ලමක් දක්නට ලැබේ. එහෙත් අධ්‍යක්ෂවරයා චිත්‍රපටය අවසානයේදී ඇගේ නිර්දෝශීභාවය පෙන්වන්නට ගනු ලබන කාව්‍යමය ස්වරූපය මඟින් එය මකාලන්නට සමත් විය. දමයන්තිගේ ආත්මගත ශෝකාලාපය සංවේදී ලෙස චිත්‍රපටයේ අවසානයට එක්කර ඇත්තේ ප්‍රේක්ෂක අනුකම්පාවට ආරාධනයක් ලෙසිනි.

    ‘ගොළු හදවත’ පැහැදිලිවත්, චිචිත්‍රවත් ලෙසත්, සොබාවත් ලෙසත් ඉදිරිපත් කිරීම‍ ප්‍රේක්ෂකයන් අතර රසාත්මක වින්දනයක් ඇතිකරලීමට සමත් විය. එනිසාම එදා ‘ගොළු හදවත’ නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළින් අදටත් දම්මි – සුගත්ගේ ආදරය අමතක වී ගොස් නැත.

     

    බන්ධුල ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here