– කන්දේ මීටර් 150ක් පළලට හා මීටර් 80ක් ගැඹුරට කැණීම් කරලා
– පුළුල් විමර්ශනයක් කිරීමට පරිසර ඇමැතිගෙන් උපදෙස්
පල්ලෙබැද්ද කොස්වැටිය කන්ද කැල්සයිට් නිධියේ නීති විරෝධීව කැණීම් කරමින් සිටි සියලුම පිරිස උපකරණ සමඟ අත්අඩංගුවට ගැනීමට පසුගියදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සමත් වී තිබේ.
මේ කැණීම් කටයුතු එම කන්දේ මීටර් 150ක් පමණ පළලට හා මීටර් 80ක් පමණ ගැඹුරට කන්ද අභ්‍යන්තරයට සිදු කර තිබු අතර ජෙනරේටරයක් මගින් බල උත්පාදනය කර තිබී ඇත.අධිබල පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් මේ ජෙනරේටරය අසල තිබු අතර කිසියම් ගිනි ගැනීමක් සිදු වුයේ නම් විශාල පුපුරායාමක් සමඟ මුළු කන්දම පහත් වීමට ඉඩ තිබුණි. එමෙන්ම එමගින් අවට පරිසරයට හා ජනතාවට විශාල බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් ඇතිවීමට හා සමනල වැවට ද බලපෑමක් එල්ල කළ හැකිව තිබු බව වැටලීම් කණ්ඩායම තහවුරු කර තිබේ.
පල්ලෙබැද්ද, කොස්වැටිය කන්ද කැල්සයිට් නිධියේ නීති විරෝධී අන්දමින් කැණීම් කටයුතු සිදු කරගෙන යන බවටත් තොරතුරු ලැබී තිබුනු අතර වැටලීම සිදුවන විටත් එම කැණීම් සිදු කරමින් තිබු දැවැන්ත කුහරයේ මිනිසුන් 20ක් පමණ හා ටිපර් රථ හා ට්‍රැක්ටර් රථ ද කැල්සයිට් පටවමින් තිබී ඇත.
පසුව කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මේ කැණීම් බලපත්‍ර ගෙන ඇති පුද්ගලයා අදාළ කැණීම් සිදු කර තිබෙන්නේ ඔහුට බලපත් ලබා දී තිබු ස්ථානයේ නොවන බවයි. ඒ නිසා ඔහුගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත්, බලංගොඩ හා ඒ අවට තවත් එවැනි ස්ථාන තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාට උපදෙස් දී ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති වරයා පෙරේදා (14) පස්වරුවේ මේ වැටලීම සම්බන්ධව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට කරුණු වාර්තා කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ කැණිම සිදු කර තිබු ආකාරය දෙස බලන විට වෙඩි බෙහෙත් පුපුරා යාමක් සිදු නොවුණත්, කන්ද අභ්‍යන්තරයේ කැණීම් ස්වභාවය අනුව කන්ද කඩා වැටීමේ අවදානමක් ද තිබු බවයි. එවැනි දැවැන්ත කන්දක් කඩා වැටීමේ දී ඇතිවන පීඩනය නිසා අනිවාර්යෙන්ම බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් පවා සිදුවිය හැකි යැයිද ඒ මහතා කීය.
මේ අන්දමින්ම ජර්මනියේ සිදු වු කැණීම් නිසා කන්දක් කඩා වැටීමෙන් පසු රිච්ටර් මාපක අංක 5.2 ඉක්මවු භුමිකම්පාවක් වාර්තා වී ඇති බව විශේෂඥ වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වුවද මේ කැණීම් බලපත්‍ර ලබා ගෙන ඇති පුද්ගලයා අදාළ කැණීම් කර තිබෙන්නේ ඔහුට බලපත් දී තිබු ස්ථානයේ නොවේ. මේ කැණීම්වලට සම්බන්ධ පුද්ගලයන් සියලු දෙනා හා ඒ අවස්ථාවේ එහි තිබු වාහන ඇතුළු සියලු උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු යොදා තිබෙන බවද සභාපතිවරයා ඇමැතිවරයාව දැනුම්වත් කළේය.
ශ්‍රී ලංකාවේ භු කම්පන සිදුවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ද බළන්ගොඩ ප්‍රදේශයේ පොළොව යට සිදු කෙරෙන ඇතැම් ගැඹුරු කැණීම් හා වෙඩි බෙහෙත් යොදා සිදු කරන පිපිරවීම් භූ කම්පනයකට හේතු විය හැකි බව පෙන්වා දී තිබිණි.