වසර 7කට පසු ළහිරු තිරිමාන්න රැස් කළ ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකයේ සතුට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී බොඳ කර දැමූ සංචාරක එංගලන්ත පිල දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ඊයේ නිමාවට පත් වන විට කඩුලු 3කට ලකුණු 38ක් රැස් කරමින් ජයග්‍රහණය ආසන්නයට පැමිණ සිටියේය. එංගලන්ත පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 36ක් අවශ්‍යවී ඇති අතර, කඩුලු 7ක් සහ එහෙම පිටින්ම තවත් දිනයක් ඉතිරිව ඇත. නොදැවී ක්‍රීඩා කරන ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 11ක් ද, ඩැන් ලෝරන්ස් ලකුණු 7ක් ද රැස් කරමින් කඩුල්ලේ රැඳී සිටිති.
එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 286ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා පිල ඊයේ සිය දෙවැනි ඉනිමේදී ලකුණු 359 කට දැවී ගිය බැවින් ජයග්‍රහණය සඳහා එංගලන්තයට අවශ්‍ය වූයේ ලකුණු 74ක් පමණි. එහෙත් ඊයේ දිනයේදී ඉතිරිව තිබූ ඕවර 20 ඇතුළත ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කිරීම නිසා එංගලන්ත පිලේ කඩුලු 3ක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටිණි.
එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 12ක් ඇතුළත පිටියෙන් ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඩොම් සිබ්ලි දැවී ගියේ ඔහු යැවූ ඉනිමේ පළමු ඕවරයේදීමය. එංගලන්ත පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් රැස් කළ නායක ජෝ රූට් 1ක් ලකුණක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකින් පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
තරගයේ තුන්වැනි දිනය පෙරේදා නිමාවට පත් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ තුන්වැනි කඩුල්ල ඊයේ දිනයේ එංගලන්ත පිලේ පිටදඟ පන්දු යවන ඩොම් බෙස් යැවූ දිනයේ පළමු ඕවරයේදිම බිඳ වැටුණේ ඇඹුල්දෙණිය ලකුණු නොලබා දැවී යෑමෙනි. අනතුරුව තිරිමාන්න සිය ශතකය වාර්තා කළේ ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 210 දක්වා ඉහළ දමමින් සිටියදීය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලේ ලකුණු 52ක සම්බන්ධතාව බිඳ වැටුණේ දිවා ආහාරයට පැය බාගයකට කළින් තිරිමාන්න ලකුණු 111කට දැවීයෑමත් සමගය. මිනිත්තු 361ක් කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න පන්දු 251කට මුහුණ දුන් අතර, හතරේ පහර 12ක් එල්ල කිරීමට සමත් විය.
ඊයේ දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලකුණු 242ක් ලබා සිටියේය. කලෙකට පසු ලකුණු අතරට පිවිසි හිටපු නායක මැතිව්ස් ඊයේ ලකුණු 71ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව පිළිසකර කිරීමට දැඩි උත්සාහයක් ගත්තේය. ඔහු මිනිත්තු 344ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 219කට මුහුණ දුන් අතර, හතරේ පහර 4ක් එල්ල කරමින් ඉවසීම් සහගත ඉනිමක් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. කෙසේ වෙතත් නායකත්වයේ වැඩ බලන දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාම දවාලමින් ඩොම් බෙස් තරගයේ පාලනය එංගලන්ත පිලට ලබාදීමට දායකත්වය ගත් අතර, ජැක් ලීච්ගේ පන්දු හමුවේ දසුන් ශානක හා වනිඳු හසරංග දැවී යද්දී ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටියේ ලකුණු 28කින් පමණි. අනතුරුව මැතිව්ස් සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 352 දක්වා ඉහළ දැමීමට ඩිලරුවන් පෙරේරා සමත් වූයේ ලකුණු 24ක් රැස් කරමිනි. මැතිව්ස් දැවී ගියේ ඉනිමේ අවසන් කඩුල්ල ලෙසිනි. අගනා පන්දු යැවීමක නිරත වූ ජැක් ලීච් කඩුලු 5ක් දවාලීය.
අද තරගයේ අවසන් දිනයයි.
කොරෝනා නැති මොයින් අලි පිටියට
කොරෝනා වයිසරයට ගොදුරු වීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය අහිමි වූ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි යළි කණ්ඩායම සමඟ එක්ව තිබේ.
කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමෙන් පසු දින 13ක කාලයක් නිරෝධායනට යොමු වූ ඔහු පසුව පැය 24ක් තුළ සිදු කළ පීසීආර් පරීක්ෂණ දෙකකින් වයිරසය නැති බවට තහවුරු වීම හේතුවෙන් සිය කණ්ඩායම සමඟ යළි ජෛව බුබුළට එක්වීමට අවස්ථාව ලැබී තිබේ. ඔහු පළමු ටෙස්ට් තරගය අතරතුර පෙරේදා සිය කණ්ඩායම සමඟ ක්‍රීඩා විවේකාගාරයේ සිටිනු දක්නට ලැබිණි. එංගලන්තයේ පැතිර යන නව කොරෝනා වයිරස් ප්‍රභේදය අලිට ආසාදනය වී තිබූ අතර, එය මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 135යි. (ඕවර 46.1)
(ඩොම් බෙස් 30/5, ස්ටුවර්ට් බ්‍රෝඩ් 20/3)
එංගලන්ත පළමු ඉනිම –
421යි. (ඕවර 117.1)
ජෝ රූට් 228, ඩෑන් ලෝරන්ස් 73 (ඩිල්රුවන් පෙරේරා 109/4, ලසිත් ඇඹුල්දෙණිය 176/3, අසිත ප්‍රනාන්දු 44/2)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
කේ. පෙරේරා ඇ.ලීච් ප.කරන් 62
එල්. තිරිමාන්න ඇ.බට්ලර් ප.කරන් 111
කේ. මෙන්ඩිස් ඇ.බට්ලර් ප.ලීච් 15
එල්. ඇඹුල්දෙණිය ඇ.සිබ්ලේ ප.බෙස් 0
ඒ. මැතිව්ස් ඇ.රූට් ප.ලීච් 71
ඩී. චන්දිමාල් ඇ.රූට් ප.බෙස් 20
එන්. දික්වැල්ල ඇ.බට්ලර් ප.බෙස් 29
ඩී. ශානක ප.ලීච් 4
ඩබ්. හසරංග ඇ.රූට් ප.ලීච් 12
ඩී. පෙරේරා ස්ට.බට්ලර් ප.ලීච් 24
ඒ. ප්‍රනාන්දු නොදැවී 0
අතිරේක 11
එකතුව සියල්ලන් දැවී (ඕවර 136.5) 359
කඩුලු බිඳ වැටීම: 1-101, 2-155, 3-158, 4-210, 5-243, 6-291, 7-296, 8-314, 9-352, 10-359
පන්දු යැවීම: බ්‍රෝඩ් 17-11-14-0, කරන් 11-1-37-2, බෙස් 33-4-100-3, වුඩ් 21-5-49-0, ලීච් 41.5-6-122-5, රූට් 11-1-19-0, ලෝරන්ස් 2-0-10-0
එංගලන්ත දෙවැනි ඉනිම
ඉසඩ්. ක්‍රව්ලි ඇ.මෙන්ඩිස් ප.ඇඹුල්දෙණිය 8
ඩී. සිබ්ලේ ප.ඇඹුල්දෙණිය 2
ජේ. බෙයාර්ස්ටෝ නොදැවී 11
ජේ. රූට් දුවද්දි දැවී ගියා 1
ඩී. ලෝරන්ස් නොදැවී 7
අතිරේක 9
එකතුව කඩුලු 3ක් දැවී (ඕවර 15) 38
කඩුලු බිඳ වැටීම: 1-3, 2-12, 3-14
පන්දු යැවීම: ඇඹුල්දෙණිය 8-3-13-2, ඩිල්රුවන් 7-1-16-0