සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ බංග්ලදේශ සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් කැඳවා තිබේ.
තරග තහනමක් හේතුවෙන් ජගත් පිටියෙන් ඈත්ව සිටි ෂකීබ් යළි පිටියට පිවිසෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුවය.
අයිසීසී දූෂණ මර්දන නීති කඩ කිරීම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට වසරක් අත්හිටුවූ වසර දෙකක තරග තහනමක් පැන විය.
2018 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැති තුන්කොන් තරගාවලියේදී සහ එම වසරේම අයිපීඑල් තරගාවලියේදී තරග පාවාදීමට තැරව්කරුවන් කළ බලපෑම් සම්බන්ධයෙන් අයිසීසීය දැනුවත් නොකිරීම පිළිබඳ ඔහුට චෝදනා එල්ල විය.
මේ තහනම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අවසන් වූවද කොරෝනා වසංගතය හේතුවෙන් නැවතුණු ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කරමින් බංග්ලාදේශ ජගත් තරග බිමට පිවිසෙන්නේ කොදෙව්වන් සමඟ තරගාවලියෙනි.
33 හැවිරිදි ෂකීබ් සමඟ 18 දෙනකුගෙන් යුත් සංචිතයට සෞම්‍ය සර්කාර්, ටස්කින් අහම්ඩ් සහ රුබෙල් හුසේන්, මෙහෙදි හසන්, හසන් මහමුද් සහ ෂෝරිෆුල් ඉස්ලාම් එක්කර ඇති අතර, මස්රෆි මොර්ටසා, අල් අමීන් හුසේන්, සෆියුල්ලා ඉස්ලාම් සහ මොහොමඩ් නයීම්ට ස්ථාන අහිමි වී තිබේ.
“ෂකීබ් අල් හසන් නැවත කණ්ඩායමට ඇතුළත් කර ගැනීම ගැන අප සතුටු වන අතර, ඔහු ක්‍රීඩාව වෙනස් කරන්නකු බව අප කවුරුත් දන්නවා. ඔහු ඉතා ඉක්මනින් ඔහුගේ හොඳම ක්‍රීඩාවට නැවත පැමිණෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා” යැයි තේරීම් කමිටුවේ මින්හාජුල් අබෙඩින් පවසා තිබේ.
නායකයා ලෙස කටයුතු කරන තමීම් ඉක්බාල් එක් තරගයකදී පමණක් කණ්ඩායම මෙහෙයවා ඇති අතර, අබේඩින් පවසන්නේ ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහු සතු අත්දැකීම් සලකා බැලීමේදී ඔහු හොඳ ප්‍රතිඵලයක් ගනු ඇතැයි විශ්වාස කරන බවයි.
තරග 3කින් සමන්විත කොදෙව් – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලි මේ 20 වැනිදා ඩකාහිදී ආරම්භ වීමට නියමිතය.
බංග්ලාදේශ සංචිතය – තමීම් ඉක්බාල් (නායක), ෂකිබ් අල් හසන්, නජ්මුල් හුසේන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, මහමුදුල්ලා, අෆිෆ් හුසේන්, සෞම්‍යා සර්කාර්, ටස්කින් අහමඩ්, රුබෙල් හුසේන්, තායිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, හසන් මහමුද්, ෂෝරිෆුල් ඉස්ලාම්.