24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    අම්මෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැප කිරීම තාත්තෙක්ට කරන්න හිතන්නවත් බැහැ

    - Advertisement -
    -ධනංජය සිරිවර්ධන
    ජනවාරි 21, 2021

    මගේ ජීවිතේ වෙනස් කළේ මගේ දුව

    දරුවා ගැන හැඟීම මම සින්දුවකට පෙරළුවා

    එයාගේ හැම මොහොතක්ම මට අලුත්

    මම වැඩවලට එළියට ගිය දවසට එයා ළඟ ඉන්නේ නැහැ

    හැමෝම කියන්නේ දුව මම වගේ කියලා

    දැන් මම ආසාවෙන් කට්ට කනවා

    එයාට මේ තරම් හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් කියලා මම හිතුවේ නැහැ

    මට ඕනේ හොඳ රසවින්දනයකින් යුතු ගැහැනියක් දරුවා තුළින් දකින්න

    කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට පැමිණ එය වර්ණවත් කළ අතිශය ජනප්‍රියට පත් තරුණ රංගන ශිල්පියෙක් වුණු ඔහු රංගනය පිළිබඳ ආධුනිකයන්ට ගුරුහරුකම් දෙන ගුරුවරයෙක්. තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යන දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ සියල්ලටමත් වඩා ඔහු ආදරණීය සැමියෙක්. ආදරණීය පියෙක්. ඒ කවරෙකුවත් නොව කවුරුත් දන්න හඳුනන ධනංජය සිරිවර්ධන. දැන් ඔහුගේ ලොවට අලුත් අමුත්තියක් පැමිණ සය මසක් ගත වී හමාරයි. පියෙක් ලෙස මොළකැටි දියණියත් සමඟ බිරිඳත් සමඟ ගත කරන නව ජීවිතයේ අත්දැකීම් බෙදාහදාගන්න අපි ඔහුට ආරාධනා කළා.

    - Advertisement -

     

    දැන් ධනංජයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නේද?

    ඔව් මට දැන් දුවෙක් ඉන්නවා. එයාගේ නම මෞර්යා ශයිනි සිරිවර්ධන. දුවට දැන් මාස හයක් සම්පූර්ණ වුණා. එයා ඉපදුණේ ගිය අවුරුද්දේ ජූලි පළවෙනිදා. අපේ ජීවිතයේ දැන් වෙනස් වෙලා මාස 6යි. මම, බිරිඳ (ශෂිනි සිරිවර්ධන), බිරිඳගේ අම්මලා අපි ඔක්කොම ජීවිතයේ විවිධ දේවල් එක්ක කාර්යබහුල වෙලා හිටියේ. දැන් ඒ ඔක්කොම පසෙකලා දුව මෞර්යා වෙනුවෙන් කාර්යබහුල වෙලා ඉන්නවා.

    - Advertisement -

     

    ධනංජය බලාපොරොත්තුවෙන් හිටියේ දුවෙක්ද?

    ඔව්. මම දුවෙක් බලාපොරොත්තු වෙලා හිටියා. තරුණ කාලේ නම් ළමයි අඬනකොට මට නළවන්න කරදරයි. ඒත් මම ළමයින්ට හරි ආදරෙයි. දැන් නම් එහෙම කිසිම කරදරයක් නැහැ. වෙන ළමයෙක් ඇඬුවත් මට මගේ ළමයා මතක් වෙනවා. දැන් මට හරිම වෙනස් අත්දැකීම් ගොඩක් එක්ක ජීවත් වෙන්නේ. මගේ ජීවිතේ වෙනස් කළේ මගේ දුව.

    - Advertisement -

     

    දුවෙක් කියන්නේ තාත්තෙක්ට ලෝකයක්. කොහොමද ඒ හැඟීම?

    ඒ හැඟීම මම ලිව්වා. මට සමහරවිට ඒක වයසත් එක්ක කාලයත් එක්ක අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ හැඟීම ලිව්වා. ඒක තමයි මම දුවට ලියපු සින්දුව. ඒකේ නම “හද්දා ශුද්ධ වූ ප්‍රේමය”. හද්දා කියන වචනේ හුඟක් සින්දුවල නැති වචනයක්. “හද්දා” කියන්නේ අතිශය කියන තේරුම. “ශුද්ධ” කියන්නේ නෑඹුල් කියන එක. ඒක ඇත්තටම අතිශය නෑඹුල් ප්‍රේමයක්. ඒ සින්දුවේ තියෙන්නේ එයා එන්න කලින් ඉදන්ම මම එයාව දන්නවා, එයා එන්න කලින් මා දිහා බලන් හිටපු මොහොතේ ඉඳලා මම එයාව දන්නවා කියා එක. එයා තමයි දැන් මේ ඇවිත් දඟල දඟල, අඬ අඬා, හිනා වෙවී ඉන්නේ.

     

    ඒ ගීතයත් එක්ක අමතක නොවන මතකයක් තියෙනවා නේද?

    ඒක රසවත් කතාවක්. එයා කුසට ආවාට පසුව එයාට සින්දුවක් ලියන්න ඕනේ කියලා මට අදහසක් ආවා. ස්කෑන් කරලා බලන්න කලින්ම මම කිව්වා ඔය එන්නේ දුවෙක් කියලා. ස්කෑන් කළාම අපි දුවෙක් කියලා දැනගත්තා. මම ලංකාවේ ජනප්‍රියම ගීත රචකයෙක්ට සින්දුව ලියන්න දුන්නා. එන්න එන්න දරුවා ඉපදෙන්න දවස් ළං වුණා. මම ගීතයට මියුසික් කරන්න දුන්නෙ මගේ මිත්‍රයෙක් වෙන දිනේෂ් සුබසිංහට. එයාත් මගේ යාළුවෙක් නිසා තව කල් තියෙනවනේ කියලා හිටියා. මේ අතරවාරයේ ච්චපඬපධධථ ස්ටිඩියෝ එකේ ධනුක කුමාරසිංහ ර්‍ථපඥඨදචදජර ර්‍ථඩධබධඵඩධධබ එකක් කරන්න අපිට යෝජනා කළා. මේ වගේ දෙයක් කලාතුරකින් වෙන නිසාත් අම්මා කෙනෙක්ට වටින නිසාත් මම ඒකට කැමති වුණා. මේ වෙලාවේ තමයි මට මතක් වුණේ වීඩියෝ එකට අර සින්දුවත් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ගීත රචකයා මට ලියලා දුන්නු සින්දුව ශාස්ත්‍රීය වැඩියි. මට ඕනේ වුණේ බොහොම සරල ගීතයක්. මම වාහනේ යන ගමන් ගීතයක් ලිව්වා දුවට. ඒ ගීතය තමයි මේ. බිරිඳත් කිව්වා තාත්තා විදිහට මේ ගීතයේ ලියලා තියෙන වචන සහ හැඟීම් ලස්සනයි කියලා. දිනේෂ් සුබසිංහට නැවතත් මේ ගැන කියලා බොහොම අමාරුවෙන් රෙකෝඩින්ග් දාගත්තා. ගීතය මමයි ශෂිනියි දෙන්නම කිව්වා. ගීතය හොඳටම ආවා. ගීතය කියලා ඉවර වෙලා අපි ඩොක්ටර් ළඟට ගියා චැනලින්ග්වලට. ඩොක්ටර් ළඟට ගියාම ඩොක්ටර් බලලා කිව්වා මේ බබා අද එනවා කියලා. අපි උදේ එළියට බැස්සේ බබාට සින්දුව කියන්න. අපි ගෙදර ආවේ බබාත් එක්ක. ඒක අපිට කවදාවත් අමතක නොවන මතකයක්.

     

    ඔබ කාර්යබහුල රංගන ශිල්පියෙක්. දුව එක්ක ඉන්න වෙලාව වෙන් කරගන්නේ කොහොමද?

    එයාත් එක්ක ඉන්න වෙලාවේ මම ජනප්‍රියද, මම ලංකාවේ කවුද කියන එක එයාට අදාළ නැහැ. එයත් එක්ක ඉන්නකොට එයා දේවල් විසි කරනවා, මං ඒවා අරන් එන්න ඕන. එයා අඬද්දි මම නළවන්න ඕනේ. එයාට මම තාත්තා විතරයි. ඒක හරිම අමුතු හැඟීමක්. ඒ හැඟීම මට කවදාවත් දැනිලා නැහැ. මේක කොහොමත් අපි හැමෝටම හරිම අවාසනාවන්ත කාලයක්. මම වැඩවලට ගිය දවසට එයා ළඟ ඉන්නේ නැහැ. මම එළියට ගිහින් ඇවිත් දවසකට පස්සේ එයා ළඟට යන්නෙ. මගේ කටහඬ ඇහුණු මොහොතේ ඉඳලා එයා මාව හොයනවා. කාර්යබහුල වුණු දවසට කොහොමහරි අල්ලන්නේ නැතුව ඈතින් ඉඳලා හරි මම එයා එක්ක කතා කරනවා. මම ආසයි ජීවිතේ එක එක කාලවලදී මට වෙන විපර්යාසවලට. මම ඒ හැම විපර්යාසයකටම බොහොම සතුටින් මූණ දීපු කෙනෙක්. මම ආදරේ කළා. මම විරහව අත්වින්ඳා. මම විවාහ වුණා. දැන් මම තාත්තා කෙනෙක්. මේ හැමදෙයම ජීවිතයේ කොටස්. හරිම සතුටින් මේ අත්දැකීම් එක්ක ජීවත් වෙනවා.

     

    මෞර්යා අම්මා වගේද තාත්තා වගේද?

    හැමෝම කියන්නේ දුව මම වගේ කියලා. ඇත්තටම එයා මම වගේ තමයි. මම තවම හොයනවා එයාගේ ශෂිනි වගේ මොනාද තියෙන්නේ කියලා. එයා ලොකු වෙනකොට අම්මා වගේ වෙනවා නම් මමත් කැමතියි. මොකද එයාගේ අම්මා තමයි මම දැකපු ලස්සනම ගෑනු ළමයා.

     

    දුව ලොකු වෙන දිහා බලාගෙන ඇගේ අනාගතය ගැන හීන දකිනවා ඇති නේද?

    එයාගේ හැම දෙයක්ම මට අලුත්. එයා මුල්ම වතාවට මගේ දිහා එක එල්ලේ බලාගෙන හිටපු මොහොත, මම එක්ක හිනා වුණු මොහොත මේ හැම දෙයක්ම මට අලුත්. මම කොච්චර රඟපෑවාත්, නාට්‍ය ලිව්වත් මේ එකක්වත් නෙමෙයි මගෙ නිර්මාණ කියන්නේ. මෞර්යා තමයි මම කරපු හොඳ නිර්මාණය, ක්‍රියේෂන් එක කියලා හිතෙනවා. තව ටික දවසකින් එයා අල්ලගෙන නැඟිටීවි, ඇවිදියි, කතා කරයි මේ හැමදෙයම දිහා මම බලාගෙන ඉන්නවා. ඒවා වීඩියෝ කරනවා. මේවා අනිත් මවුපියන් හැමෝම විඳීන දේවල්. ඒත් අපි මේවා ප්‍රසිද්ධියේ කියනකොට ඒවාට එන විවේචන දරාගන්න අමාරුයි.

     

    මොනවාද ඒ විවේචන?

    අපි දරුවා හුරතල් කරන ෆොටෝ එකක් දැම්මාම “අපිටත් බබ්බු හිටියා, අපි ඕවා කළේ නෑනෙ” කියලා කට්ටියක් කියනවා. මේවා දකින අහන ඉතාම සුළු පිරිසකට හරිම අමාරුයි. ඒත් බහුතරයක් දරුවාට අපිට සුබපතලා තිබුණා. තව දරුවෙක් දිහා බලලා කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් විය යුතුයි. මම රූපවාහිනී වැඩසටහනකට ගියා දරුවත් එක්ක. ඒකේ කමෙන්ට් 1200ක් විතර හොඳ ඒවා. කමෙන්ට් පහක් තිබුණා “අපිටත් බබ්බු හම්බුණා, අපි මේවා කළේ නැහැ, මේ තාත්තා විතරද දරුවෝ නළවන්නේ” වගේ අදහස්. මේවා දැක්කාම හිතෙනවා අපේ රට කොහෙටද මේ යන්නේ කියලා. මේවා අනිත් තාත්තලාත් කරන බව දන්නවා. ඒත් අපි මේ බෙදාගන්නේ අපේ හැඟීම්. ඒවයින් තමන්ගේ ජීවිතයටත් දේවල් මිනිස්සු ගන්නවා නම් අපි හරිම කැමතියි.

     

    පොඩි දරුවෙක් එක්ක ගෙවන ජීවතේ වෙහෙසකර ඇති?

    මේ ජීවිතේ ඇත්තටම හරිම අමාරුයි. අපිට නින්දක් නැහැ. ඇස් බැහැලා. ශෂිනි හොඳටම මහත් වෙලා. එයා මේ ළඟදිත් ඇඳුම් වගයක් අයින් කළා “මේවා මට අඳීන්න බැහැ” කියලා. අපේ ජීවිත හරිම වෙහෙසට පත් වෙලා. නමුත් දරුවගේ හිනාව දැක්කාම ඒ හැම වෙහෙසක්ම ඉවරයි. ඒ වෙහෙසෙන්නේ මෙයා වෙනුවෙන්නේ කියලා හිතෙනවා. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවෙක් වෙනුවෙන් මේ කැප කිරීම් කළ යුතුයි කියලා මම හිතනවා. මේ කට්ට හැමෝම කන්න ඕනේ. අපි හරිම ආසාවෙන් කන කට්ටක් මේක.

     

    මෞර්යාව හදන්නේ සාම්ප්‍රදායික උපදෙස් එක්කද නැති නම් නවීන තාක්ෂණික උපදෙස් එක්කද?

    ඒක හරිම මැද මාවතක තියෙන කාරණාවක්. ශෂිනිගෙ අම්මලා දරුවා ඉපදෙන්න කලින් ඉඳලාම අපිට හැමදෙයකටම උදවු කළා. අපි අන්තර්ජාලයේ උපදෙස් බලනවා. කියවනවා. වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්නවා අම්මගෙන් තාත්තගෙන් අහනවා. මේ ඔක්කොම අහලා කරන්න ගියාම හිතෙනවා ඒ සියල්ල දරුවාගෙන් දරුවාට වෙනස්. අපි මෞර්යාගෙන් අලුත් දේවල් ඉගෙන ගන්නවා. නාවන විදිහ, කනබොන විදිහ හැමදෙයම වෙනස්. හැම තාක්ෂණික උපදෙසක්ම න්‍යායාත්මකයි. ඒ දේවල් ප්‍රායෝගික නැහැ. ඒත් අපිට වෛද්‍යවරුන් කාර්යබහුල වුණාම තොරතුරු ගන්න අන්තර්ජාලය හොඳයි. නමුත් ප්‍රායෝගික වෙන්නේ දරුවා දිහා බලාගෙන දරුවා කරන දේවල් අනුව අපි වැඩ කරන එක. අම්මලා කියන දේවල් බොහෝදුරට ප්‍රායෝගිකයි.

     

    මෞර්යාගේ වැඩ කටයුතු අම්මයි තාත්තයි බෙදාගෙන කරන්නේ කොහොමද?

    බබාගෙ වැඩවලින් සියයට අනූනවයක්ම ශෂිනි කරනවා. මම සියයට එකක් කරනවා. එහෙම තමයි අපේ වැඩ බෙදිලා තියෙන්නේ. මට රැකියාවත් එක්ක කාර්යබහුල වෙන්න වෙන නිසා දරුවාගේ හැම වැඩක්ම කරන්නේ ශෂිනි. මම ඉස්සර හිතුවේ ලොකුම, අමාරුම වැඩේ කරන්නේ මම කියලා. ඒත් මම දැන් දන්නවා මම කරන්නේ සියයට එකයි කියලා. පිය සෙනෙහස ගැන අපි ගොඩක් වර්ණනා කරනවා. හරි ඒක ඇත්ත. ඒත් අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන දේවල් තාත්තා කෙනෙක්ට කරන්න හිතන්නවත් බැහැ. තාත්තාට එහෙම අම්මාට සමාන වෙන්නත් බැහැ. දරුවාව බඩේ තියන් හදලා, ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන, දරුවා වෙනුවෙන් මුළු කාලයම කැප කරලා කරන දේවල් තාත්ත කෙනෙක්ට කරන්න හිතන්නවත් බැහැ. අපි හරිම පොඩි දෙයක් කරන්නේ. ඒත් අම්මලා දරුවා වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරනවා. මගේ දරුවා ප්‍රේක්ෂකයෙක් වගෙ එයාගේ අම්මා දිහා බලාගෙන ඉන්නවා. ශෂිනිට හොඳට සින්දු කියන්න පුළුවන්. එයා යූටියුබ් නාළිකාවක් කළා “ර්‍ථඪදඬඅධධථ” කියලා. ලක්ෂයකට ආසන්න පිරිසක් ඒක බැලුවා. මේ හැමදෙයක්ම බොහොම සතුටින් දරුවා වෙනුවෙන් ශෂිනි කැප කළා. ඒ නිසාම තමයි මම එළියට බැහැලා ඔළුව නිදහසේ තියාගෙන මගේ කලා කටයුතු ටික කරගන්නේ.

     

    ඒවා දකිනකොට ධනංජයටත් ඔබේ අම්මාව මතක් වෙනවා ඇති?

    ඔව්. අම්මා තුන්දෙනෙක්ව හැදුවා. මට හිතාගන්නවත් බැහැ කොහොම අපි තුන්දෙනාව එයා හැදුවාද කියලා. මම පවුලේ තුන්වෙනියා නිසා මම ඉපදෙනකොට අම්මාට හොඳ පුහුණුවක් තියෙන්න ඇති අයියලා නිසා. ඇය ගුරුවරියක්. සාහිත්‍යවේදිනියක්. ගොඩක් ඉගෙනගත්ත කෙනෙක්. අපිවත් හදාගෙන මේ හැමදෙයක්ම කළේ කොහොමද කියන එක මට හිතාගන්න බැහැ. ඒ කාලේ ගැහැනියක් කරන වැඩවලින් කාර්යබහුලම වැඩ ටික මගේ අම්මා කරලා තියෙනවා. අද වගේ තාක්ෂණය නැහැ. වැඩ ලේසි කරගන්න දේවල් නැහැ. ඒ තරම් කාර්යබහුල ජීවිත ඇතුළේ අම්මා අපිව හැදුවා.

     

    ධනංජයගෙයි ශෂිනිගෙයි බැඳීමත් දැන් දරුවා නිසා වෙනස් වෙලා?

    ඇත්තටම දැන් එයාට මං ගැන හොයන්න වෙලාවක් නැති තරම්. එයා සියයට සියයක්ම බබා ගැන හිතන නිසා සහ අපි දෙන්නාට හොඳ අවබෝධයක් තියෙන නිසා අපිට ඒක ගැටලුවක් නැහැ. දරුවෙක් එක්ක වැඩ කරන්න මොනතරම් අමාරුද කියලා මම දන්නවා. දරුවෙක් නැතුව අපි ජීවත් වුණු කාලයක් තිබුණා. ඒ නිසා මට හොඳ අවබෝධයක් තියෙනවා. එයා හදන්නේ අපි දෙන්නගෙම දරුවා. ශෂිනි තමයි මම දැකපු හොඳම පෙම්වතිය. ඒ වගේ පෙම්වතියක් මම කොහෙදිවත් දැකලා නැහැ. ඒත් මම දැනගෙන හිටියේ නෑ එයාට මේ තරම් හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් කියලා. පෙම්වතියට එහා ගිය බරපතළ භූමිකාවක් කරන අම්මා කෙනෙක් එයා. කිසිම මොහොතක කිසිම මැසිවිල්ලක් නැතිව මුළු රෑම ඇහැරලා දරුවා නළව නළව ඉන්නවා. එයාගේ දරා ගැනීම ගැන මට හරි පුදුමයි.

     

    මෞර්යා කවදාහරි කලා ක්ෂේත්‍රයට එන්න ඕනේ කිව්වොත්?

    මම කලාකාරයෙක් කියලා කිව්වාට මම හිතනවා මගේ බිරිඳ මට වඩා හොඳ කලාකාරිනියක්. එයාට චිත්‍රපට කීපයකට ආරාධනා ආවා, එයාට හොඳට නටන්න, සින්දු කියන්න, රඟපාන්න පුළුවන්. ඒත් එයා ඒ දේවල් වෘත්තියක් කරගත්තෙ නැහැ. ඒත් මට එහෙම නොකර ඉන්න බැහැ. කලාව තමයි මගේ වෘත්තිය. සමහර අවස්ථාවල අකමැත්තෙන් චරිත රඟපාලා තියෙනවා. ඒ වෘත්තිය නිසා. මගේ බිරිඳ එයාගේ කලාව එයා ළඟ තියාගෙන තවමත් ඉන්නවා. මෞර්යාත් කවදාහරි නිළියක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක් වෙන්නම ඕනේ නැහැ. නමුත් එයාට රසවින්ඳනය කියන එක තියෙනවා නම් හොඳටම ඇති. කලා නිර්මාණයක් විඳලා “ඒක හරි ලස්සනයි නේද තාත්තේ” කියලා කිව්වාම ඇති. මට ඕනේ හොඳ රසවින්දනයකින් යුතු ගැහැනියක් දරුවා තුළින් දකින්න. කලාකාරිනියක් වෙනවාද නැද්ද කියන එක එයා තීරණය කරයි. කවදාහරි එයාට කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කිව්වොත් මම ඒකට ඉඩදෙයි. ඒත් එයා වෘත්තියක් හැටියට කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කිව්වොත් මම වාඩි වෙලා එයා එක්ක කතා කරයි ඒ ගැන. එච්චර දුර තාම මම හිතලා නැහැ. ඇත්තටම මම එයා ලොකු වෙනවාටත් හරි ලෝබයි.

     

    තාත්තෙක් විදිහට බැලුවොත් දරුවෙක්ට හැදෙන්න පුළුවන් සමාජ වටපිටාවක් ලංකාවේ දැන් තියෙනවාද?

    ඒක ගැන මම තාමත් හිතනවා. ඒකට හේතුවෙන මූලිකම කාරණය සමාජ මාධ්‍යය. සමාජ මාධ්‍යය කියන්නේ මම ඒ තරම් භාවිතා නොකරන දෙයක්. ඒත් වර්තමානයේ මම දැක්කා රංගනයට ආපු ආධුනිකයෙක්. එයාගේ බෙල්ල ඇදයි දැනටමත්. එයා රඟපාලා ඉවර වුණු හැටියේ බෙල්ල නමාගෙන ෆෝන් එක ඔබනවා. මේකට මිනිස්සුන්ගේ තියෙන ඇබ්බැහිය හිතාගන්න බැහැ. දැනටමත් පෞරුෂයෙන් හීන සමාජයක් හැදෙමින් පවතිනවා. දැන් ඉන්නේ කතා කරන්න බැරි චැට් කරන තරුණ පරම්පරාවක්. ඒ අයට කට ඇරලා කෙනෙක්ගේ මූණදිහා බලලා කතා කරන්න පුළුවන් පෞරුෂයක් නැහැ. ඒ අය යාළුවෝ කියන්නේ සමාජ මාධ්‍යයේ ඉන්න යාළුවන්ට. යාළුවෝ එක්ක ජීවිතයේ බෙදාගන්න පුළුවන් බව ඒ අය දන්නේ නැහැ. ෆේස්බුක් එකේ ඉන්න අය, ඒකේ තියෙන දේවල් තමයි දැන් තරුණයෝ පිළිගන්නේ. ඒ වගේ සමාජයකට තමයි මට මෞර්යාව යවන්න වෙලා තියෙන්නේ. ඒ සමාජයට මම දුවව යවනවා. හරි විදිහට. මේ සමාජ ජාලා කියන එකෙන් ළමයා බේරා ගන්න බැරි නම් අනාගතයේ අපේ රටට ඉතා විශාල හානියක් සිද්ධ වෙනවාමයි. සමාජජාලා බැලුවාම අපිට පේනවා මිනිස්සු කොච්චර පීඩනයෙන්ද ඉන්නේ කියලා. සමාජ මාධ්‍යවල මිනිස්සු කරන්නෙම අනිත් අයව විවේචනය කරන එක. බනින එක. සමාජ මාධ්‍යයට රාජ්‍ය මැදිහත් වෙලා නියාමනයක් අවශ්‍යයි. මගේ දරුවාව මම මේකෙන් කොහොමහරි බේරගන්නවා. මගේ පරම්පරාවේ තරුණ පිරිස දරුවාව කොහොමහරි බේරාගනීවි. ඒත් 2010 ඉපදුණු මේ වර්චුවල් ලෝකේ දැකපු දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතයි. මම හිතනවා මෞර්යා ලොකු වෙද්දි පවතින මේ වර්චුවල් ලෝකේ තියෙන අවුල් ටික ලෙහිලා ස්ථාවර වෙලා තියේවි.

     

    මේ දිනවල කෙරෙන කලා වැඩකටයුතු ගැන නොකිව්වොත් මේ සංවාදයට ඒක අඩුවක් වේවි.

    හාහාපුරා කියලා අලුත් වැඩක් කරමින් පවතිනවා. ඉදිරියේදී මම ඒ ගැන කියන්නම්. ජනවාරි 18 වැනිදා සිට ස්වාධීන රූපවාහිනියේ මම රංගනයෙන් දායක වුණු “තාදි” ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඒ නිර්මාණයේ මට කරන්න වුණේ මගේ සැබෑ වයසට වඩා අවුරුදු පහළොවක් වැඩිමල් තාත්තා කෙනෙක්ගේ චරිතයක්. නාට්‍යයේ කේන්ද්‍රීය චරිතය ඒක. මට අවුරුදු 21ක දරුවෙක් ඉන්නවා. ඒ චරිතය මට ලොකු අභියෝගයක්. මම බලාගෙන ඉන්නවා ඒ චරිතය මිනිස්සු කොහොම භාරගනීවිද කියලා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේම මේ දිනවල විකාශය වෙන “නාඩි” ටෙලිනාට්‍යය ඉදිරියේදී අවසන් වෙනවා. මේ වසංගත තත්ත්වය අවසන් වුණු වහාම සිනමාව නැවත හිස ඔසවයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම රංගනයෙන් දායක වුණු සිනමාපට කීපයක් ඉදිරියේදී තිරගත වෙයි. රූකඩ පැංචි, කිඩ්නැප්, ගේම් සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “කදිර දිව්‍යරාජ” යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ.

     

    කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සුන්ගේ රසවින්දනයත් දැන් හීන වෙලාද?

    ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර විතරක් නෙමෙයි. කලාව කියන දෙයත් අත්‍යවශ්‍යයි කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් නොගත්තොත් මිනිස්සු බඩ පුරවා ගනී ඒත් හිත පිරෙන එකක් නැහැ. අපි දෙයක් කළාම, දෙයක් සැමරුවාම “ඕක නොකර දුප්පත් පවුලකට කන්න දුන්නා නම් නරකද?” කියන තැනට මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ ඒ නිසයි. දැන් මිනිස්සුන්ට ආර්ට් කියන දේ නැති වෙලා. කෑම අංක එකවෙලා. කෑම අංක දෙක වෙලා කලාව සහ රසවින්දනය අංක එකට එන දවසක් වන තෙක් අපි බලාගෙන ඉන්නවා. කලාව කියන්නේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් නොවන තාක්කල් සංස්කෘතික මිනිසා අපට හමුවෙන එකක් නැහැ. කලාව නැත්තටම නැති වුණොත් ලෝකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම මනුෂ්‍යත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.