24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    සිංහල හා ඉංගී‍්‍රසි දෙබසින්ම සිනමා පත්‍ර දෙකක් කළ ප්‍රථම පත්‍රකලාවේදියා සෝමපාල රණවීර

    - Advertisement -
    ජනවාරි 21, 2021

    මා උපන් ග්‍රෑන්ඩ්පාස් හි කොස්ගස් හන්දියේ තාත්තාට අයිති “ ඇඩ්මන් සහ සමාගම” නම් අච්චු කන්තෝරුවේ මුද්‍රණය කළ කවි සඟරා දෙකක් ගැන මතකය. එදා හය හැවිරිදි වියේ සිටි මට සිහිනයක් සේ මට මැවී පෙනෙයි. ඒ කවි සඟරා දෙක නම් කොබ්බෑවල රණසිංහ විසින් සංස්කරණය කළ “නිළිය” ය. අනික නම් දළුපොත සෝමපාල රණවීර විසින් සංස්කරණය කළ “ පබළු” ය. ඔවුන්ගේ සඟරාවලින් ආ තීත්ත සුවඳ මම දැනුත් දැනේ. “සෝමපාල මාමා” නමින් හැඳින්වුණ සෝමපාල රණවීර එකල පදිංචිව සිටියේ අප නිවසට යාබද “ඈපා මුද්‍රණාලයේ උඩු මහලේ තවත් නේවාසිකයන් කිහිපදෙනෙකු සමඟය. ඔහු අපේ ගෙදර ආව ගියේ සුදු කෝට් කලිසම් හැඳ ටයි පටියක් පැලදය. ඔහු මුහුණේ ගිනිකූරු කට් එකක් විය.

    සෝමපාල මාමා දිනක් හිටි හැටියේම අපේ ගෙදර පැමිණියේ ( 1952) ඔහු විසින් සංස්කරණය කළ වර්ණ ඡායාරූපයක් සහිත “තරුව“ සඟරාවක් අතැතිවය. මේ කාලයේ ම මගේ මාමා වූ ගුණරත්න රත්නායක තම හිත මිතුරු ධර්ම ශී‍්‍ර කල්දේරා සමඟ “ චිත්‍රපටි” නම් සිනමා පත්‍රයේ මංගල පත්‍රය පළ කිරීමට සූදානම්ව සිටියහ. සෝමපාල මාමා “ ඈපා මුද්‍රණාලයේ” ලිපිකරුවෙකු ලෙස සේවය කළ අතර එම මුද්‍රණාලයේ “ තරුව“ සඟරාව මුද්‍රණය කර තිබුණි. මේ සඟරාව අද ජීවතුන් අතර නැති ගුණරත්න මාමාගේ පොත් එකතුවේ තිබී මට හමු විය.

    - Advertisement -

    “ ලංකාවේ පළමුවන ප්‍රථම සිනමා මාසිකය වූ “ තරුව“ සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂක වූයේ ජේ.කේ.චාල්ස් පෙරේරා ය. (ඔහු 1978 වසරේ “ විස්මය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත) “ තරුව“ සඟරාවේ සංස්කාරක වූයේ ජිනදාස නියතපාලය. මංගල කලාපය 1952 වසරේ නොවැම්බර් 01 වෙනිදා නිකුත් වී ඇත. නියතපාල පූර්ණ කාලීනව එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ “ සියරට” පත්‍රයට සම්බන්ධ වූ නිසා “ තරුව“ සිනමා සඟරාව සංස්කරණය 1954 ජනවාරි මාසයේ සිට සෝමපාල රණවීරට පවරා ඇත. “ නැවතත් තරුව“ නම් කර්තෘ වාක්‍යයේ මෙසේ සඳහන් වී තිබුණි.

    “ පෙර – අපර දෙදිග නළු නිළියන් සහ චිත්‍රපට පිළිබඳ නොඉඳුල් ආරංචි ඔබ අතට පත් කරමින් සඟරා කලාවේ අමුතුම නව මුහුණුවරකින් යුතුව 1952 වර්ෂයේ මේ “ තරුවට” මෙරට මහජන ප්‍රසාදය හිමි වූයේ අන් කිසිම සඟරාවකට නොලැබුණ අයුරිනි. එහෙත් අවාසනාවකට මෙන් නොසිතුව පරිදි “ තරුව“ නිවී ගියේය. අතීතය අමතක කොට දැන් අපි යළිත් ඉදිරියට පැමිණියෙමු.

    - Advertisement -

    අභිනව “ තරුව“ සඟරාවේ සහාය සංස්කාරක වැලිගම ආරියරත්න ය. එහෙත් සෝමපාලයන්ගේ “ තරුව“ ද ගන වලාකුළුවලට වැසී ගියේය.

    සෝමපාල මහතා නිහඬව සිට නැවත අප ගෙදරට පැමිණියේ ඈපා මුද්‍රණයේ සේවයෙන්, නේවාසිකාගාරයෙන් ද ඉවත් වූ පසුබිමකය. එදා ඔහු මාමා හමු වීමට පැමිණියේ තවත් වර්ණ පිටකවරයකින් යුතු විසිතුර සිනමා සඟරාවක් අතැතිවය. ඒ 1954 වසරේදීය.

    “ ගුණේ, මං අලුත් සඟරාවක් පටන් ගත්තා. මිස්ටර් නායගම් මට උදව් කළේ. කාර්යාලය තියෙන්නෙත් කඳානේ නායගම්ගේ සුන්දර චිත්‍රාගාරයේමයි.

    - Advertisement -

    මේ සිනමා අර්ධ මාසික සඟරාවේ නම “ චලන චිත්‍ර” ය. එහි මුල් කලාපය 1954 අගෝස්තු 01 වෙනිදා පිට වී ඇත. මෙහි ඉතිහාසය අතැඹුලක් සේ දැන සිටියේ අද ජීවතුන් අතර ජේ්‍යෂ්ඨතම සිනමා මාධ්‍යවේදියා අපගේ ද ගුරු ආතර් යූ. අමරසේනය. ඔහු විසින් ලියන ලද “ 60 වසරක සිංහල සිනමා ප්‍රකාශන” කෘතියේ “ චලන චිත්‍ර” සිනමා සඟරාව ගැන ලියවී ඇත.

    “ සරසවි සඳරැස, සිළුමිණ, ජනතා පුවත්පත්වල කවි කෙටිකතා හා විශේෂයෙන් සිනමා ගැනත් ලියූ සෝමපාල රණවීර කොළඹ යුගයේ දීප්තිමත් කවියකු ලෙස ද කැපී පෙනේ. (ඒ වනවිට ඔහු “ තරුව“ සංස්කරණය කර තිබුණි. එස්.එම්.නායගම්ට (ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව“ චිත්‍රපටයේ නිෂ්පාදක) සෝමපාලයන්ගේ හැකියාව ගැන කියා ඇත්තේ ඔහුගේ සමීප මිතුරෙකි.

    “ ඇරඹීමට යෝජිත සිනමා පුවත්පතේ සංස්කාරක ධුරය ඔහුට පැවරීමට නායගම් තීරණය කළේ එබැවිනි. නායගම්, රණවීරට ඔහුගේ අවශ්‍යතාවය සැලකර සිටියේය. මෙම පුවත්පත ආරම්භ කරන්නේ තමාගේම නිෂ්පාදන සඳහා වැඩි ප්‍රචාරණයක් ලබා ගැනීමේ අරමුණෙන් බව කී නායගම් තමාගේ කොන්දේසිවලට කැමති නම් මෙහි සංස්කාරක ධුරය භාරගෙන පුවත්පත පුළුවන් ඉක්මනින්ම වෙළඳපොළට නිකුත් කරන මෙන් රණවීරගෙන් ඉල්ලා සිටියේය. රණවීර කැමැති විය. මෙම පුවත්පතට “ මෝෂන් ෆිල්ම්ස්” (ර්ධබඪද ර්‍ථඪජබභපඥඵ) යන නම සුදුසු යැයි යෝජනා කළ නායගම් එම නමට සමාන්තරව යන සිංහල නමක් යොදා ගන්නා ලෙසද ඔහුගෙන් ඉල්ලා සිටියේය. “ චලන චිත්‍ර” එයට සුදුසුම නම යැයි රණවීර කියා සිටියේය. එම නමට නායගම් කැමති විය. මේ අනුව “ චලන චිත්‍ර” 1954 අගෝස්තු 01 වෙනිදා පාඨකයන් අතට පත් කළේය. ආතර් යූ. අමරසේන ලියා තිබුණි.

    “ චලන චිත්‍රයේ” මුල් කලාපය පිටපත් 500 කින් ඇරඹුණු අතර 1955 ජනවාරි මස ඉංගී‍්‍රසි පුවත්පතක් “ සිලෝන් සිනමා” ඛ්ඥරතධද ජඪදඥථච නමින් නායගම් විසින් ආරම්භ කළ අතර එහිද කර්තෘවරයා වූයේ සෝමපාල රණවීරය. ලංකාවේ සිංහල හා ඉංගී‍්‍රසි සිනමා සඟරාවක මුල්ම සංස්කාරකවරයා ඔහුය.

    මේ කාලයේ “ චලන චිත්‍ර” සිනමා සඟරාවේ මැද පිටුවේ ලංකාවේ ජනපි‍්‍රය නළු නිළියන් ගැන අංග සම්පුර්ණ විස්තරයක් මුල්වරට පළ කළේ සෝමපාලයන් විසිනි. මේ විශේෂාංගය නම් කර තිබුණේ “ නළු නිළියන්ගේ තොරතුරු” නමිනි.

    මේ කාලයේ පානදුරයේ ආතර් යූ. අමරසේන නම් පාසල් ශිෂ්‍යයාට සිනමා ලිපි කළ කර දිමෙන් සෝමපාලයන් ඔහුට අත දුන්නේය. සිරිල් ඒ. සීලවිමල සිනමාව ගැන කවියෙන්, කෙටිකතාවවලින් කලා ලොවට ආවේද “චලන චිත්‍ර” තුළිනි. නළු නිළියන් පාඨකයන්ගේ ජීවිත ගැටලුවලට උපදේශ දුන් විශේෂාංගය ජනපි‍්‍රය වී තිබේ. එය හඳුන්වා තිබුණේ “ ජීවිත ගැටලු” නමිනි.

    ජනපි‍්‍රයත්වයෙන් ඉහළ ගිය “චලන චිත්‍ර” මඟින් නායගම්ගේ චිත්‍රපටවලට පමණක් ප්‍රචාරය දීමටත්, සිංහල නිෂ්පාදකයින්ට කෙනෙහිලිකම් කිරීමටත් කළ බලපෑම සෝමපාලයන් දරා සිටියේ ඉවසීමෙනි. නායගම් තම චිත්‍රපටවලට පහර දුන් කරුණාසේන ජයලත් හා ජයවිලාල් විලේගොඩට විරුද්ධව ලිපි ලියන ලෙස කළ බලපෑම් නොරිස්සු සෝමපාලයන් තම අස්වීමේ ලිපිය භාර දුන්නේය. නායගම් එය භාර ගෙන නැත. නායගම්ට “ ආයුබෝවන්” කියා එළියට බැස ඔහු කෙළින්ම ගොස් ඇත්තේ මරදානේ ඩ්‍රිබර් ඇවනියු හි ගුණරත්න සහ සමාගම (මුද්‍රණකරුවෝ) හි කළමනාකාර අධ්‍යක්ෂ ගුණරත්න මහතා හමු වීමට ගොස් අලුත් සිනමා සඟරාවක් කිරීමට අතහිත දෙන ලෙස ඍජුවම කියා සිටියේය. සඟරාවේ බ්ලොක්ස් කප්පවා ගැනීමට මුද්‍රණාලය අසලට තිබූ “පේ‍්‍රමදාස සහ සමාගමේ පේ‍්‍රමද්‍රාස මහතා ද සහන මිලකට උදව් කරන බව කීම ඔහුට ධෛර්යක්, ශක්තියක් විය.

    මේ අනුව 1957 මැයි 15 වෙනිදා “ලංකා චලන චිත්‍ර” නම් සෝමපාල රණවීරගේ සංස්කරණයෙන් අලුත් සඟරාව නිකුත් විය. එහි තේමා පාඨය වුයේ “ සිහලයකුට අයිති එකම චිත්‍රපට පත්‍රය” යන්නය. මේ අභිනව සඟරාවේ සහාය සංස්කාරකවරුන් ලෙස ආතර් යු. අමරසේන හා සිරිල් ඒ. සීලවිමල සෝමපාලයන්ට සහාය වූහ. තිරගතවන චිත්‍රපටවල අතිරේකයක් මුල්වරට පළ වූයේ “ ලංකා චලන චිත්‍රයෙනි. එහි චිත්‍රපටයේ කථා සාරාංශය, ගීත, කාර්මික තොරතුරු පළ වී ඇත. උදාහරණයකට නවකයන්ට අත හිත දීමට සෑමවිටම උත්සාහ ගත් මේ සඟරාව කේ.වෙලිංටන් සිල්වා විසින් අධ්‍යක්ෂණය කළ “ ලේ කඳුළු” මිලි ලීටර් 16 ප්‍රමාණයේ චිත්‍රපටය සඳහා “ ලංකා චලන චිත්‍ර ලේ කඳුළු අතිරේකය” නම් පිටු හතරක විශේෂාංගයක් පළ වී ඇත. මේ අතිරේකයේ චිත්‍ර හා අකුරු රටා නිර්මාණය කොට සැලසුම් කර ඇත්තේ ආතර් යු. අමරසේන විසිනි. මේ අතිරේකය පළ වී ඇත්තේ 1957 සැප්තැම්බර් 01 වෙනිදාය.

    “ ලංකා චලන චිත්‍ර” පත්‍රයට ලියූවන් අතර ප්‍රවීණ ලේඛකයන් වූ ඩී.වී. සෙනෙවිරත්න, ධර්ම ශ්‍රී කල්දේරා ඇතුළු දිවයිනේ ප්‍රකට කෙටිකතාකරුවන් හා කවියන් ද වූහ. බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න, සිරිසේන විමලවීර, ශාන්ති කුමාර් මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් ද මේ සඟරාවට උදව් කළ දායකයෝ වූහ. “සෝපාරවි” අන්වර්ථ නාමයෙන් සෝමපාලයන් ලියූ චිත්‍රපට විචාරවලින් ද්‍රවිඩ ආභාසය ලැබූ චිත්‍රපට සඳහා දැඩි පහර එල්ල කර ඇත.

    සෝමපාල රණවීරයන් ගැන මුල්වරට පුවත්පතකින් හමු වන්නේ 1997 අපේ‍්‍රල් 24 වෙනිදා “ සරසවිය” පත්‍රයෙනි. අපේ ජ්‍යෙෂ්ඨ, සහෝදර සිනමා මාධ්‍යවේදියකු වූ ඩබ්ලිව්.කේ.ඒ.ඩබ්ලිව් ප්‍රනාන්දු විසින් “ සිනමා පත්තර කලාවේ දැවැන්තයා” නමින් ලිපියෙනි. වයස අවුරුදු හයේදී සෝමපාල රණවීර මා දැන හැඳින තිබුණත්, මගේ දෙමාපියන් හා මාමාගේ සමීප හිතවතෙකුව සිටි සෝමපාල මාමා ගැන බොහෝ කරුණු දැන ගත්තේ අප මිත්‍ර ඩබ්ලිව්. කේ. ඒ. ගෙනි. මෙතැන සිට පළවන්නේ ඔහුගෙන් ලබා ගත් තොරතුරුය.

    කලාකරුවන්ගේ උපන් දින, මියගිය තොරතුරු නිර්ලෝභීව දුරකතනයෙන් කතා කොට ඇසූ පමණින් අප ගැන ඉවසා ලබා දෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලයෝ, සෝමපාල රණවීර 1927 නොවැම්බර් 27 වෙනිදා බව අපට කීහ.

    ඩබ්ලිව්.කේ. ඒ. ගේ තොරතුරු අනුව සෝමපාලයන් ඉපදී ඇත්තේ මහර දළුපිටියේ ය. අධ්‍යාපනය ලබා ඇත්තේ කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යලයෙනි. ඒඩින් රණවීර ඔහුගේ පියාගේ නමය. සෝමපාල කලක් මරදානේ ස්කිනර් පාරේ එදා පිහිටි ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙන ගෙන ඇත. මේ විද්‍යාලයේ ඔහුගේ සමකාලීන සිසුන්ව ඇත්තේ මොරිස් ඩයස් (පසුව චිත්‍රසේන) පී.එල්.ඒ. සෝමපාල ( පසුව සංගීතඥ, ආර්.එස්.පෙරේරා (පසුව අමාත්‍ය) ආදීන්ය. හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා පදිංචිව සිටි සන්ත බස්නියමේ ( ඩයස් පෙදෙසේ) “ සැනසුම” නිවසේ පදිංචිව සිටි සෝමපාලයන් ශිෂ්‍ය අවධියේම පේ‍්‍රමදාස මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී සුචරිත වාගී වර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරයාව සිටි අතර කොළඹ ආනන්ද විද්‍යාලයට ද කඩවත ද්වි භාෂා පාසලට ද ඇතුළත්ව ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත්ව 1944 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳී ඇත. හේමපාල මුනිදාස, ඩී.ඩබ්ලිව්, වික්‍රමාරච්චි, ඩී.වී සෙනෙවිරත්න ආදීන් ඇසුරේ පුවත්පත් කලාව ගැන පරිචයක් ලැබූ සෝමපාල දළුපිටියේ සෝමපාල රණවීර ලෙස කොළඹ යුගයේ කවියකු ලෙසද ප්‍රකටව සිටියේය. ඔහුට ඡ්‍යෝතිෂය ගැන මනා දැනුමක් තිබු අතර මාළිගාකන්දේ විදුදය පිරිවනේ දී සිංහල, පාලි, සංස්කෘත භාෂා ගැන සාමාන්‍ය දැනුමක් ලබා ගෙන ඇත. නවකතා රචකයකු වූ ඔහු “ සරාගී සුන්දරී, හොඳ හිත, කෝඩුකාරයා ආදී නවකතා රචනා කර ඇත.

    සිනමා පත්‍ර කලාවෙන් සමුගත් සෝමපාලයන් කලක් තැපැල් ඇමති ෂෙල්ටන් ජයසිංහ මහතාගේද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රෙජිනෝල්ඩ් පෙරේරා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද, වත්තල නගර සභාවේ නගරාධිපතිගේ ද ලේකම් ලෙස කටයුතු කොට 2000 වසරේ ජීවිතයෙන් සමුගත්තේය.

    සෝමපාලයන් මුල්වරට සංස්කරණය කළ “ පබළු” කවි සඟරාවේ 1952 පෙබරවාරි 22 අවසන් ගමන් ගිය තම කලණ මිත්‍ර, කපිල ඊ සෙනෙවිරත්න කවියාගේ අකල් මරණය ගැන ඔහු ලියූ කවියක් ඔහුටම ආදේශ කොට මේ ලිපිය මම අවසන් කරමි.

    රසවත් කොට කවි ලෝකය 
    කවි සුවඳින් කළ කලා 
    කවියාණෙනි! කවියාණෙනි! 
    ඔබ මගෙ රට රස කළා 
    ඔබෙ මිය ගිය තොල් අතරෙන් 
    රස කවි පිට වෙනු බලා 
    මම වැලපෙමි! හිස අත් බැඳ 
    උණු කඳුළැලි හල හලා

    ඡායාරූප පිටපත් කිරීම – ලාල් සෙනරත්

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.