24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    අභියෝග හමුවේ හැඩගැස්වීම් හා වෙනස්වීම්

    - Advertisement -

    2019 වසරේ නොවැම්බර් මාසයේ දී පමණක් සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් මිලියන 334ක් විය. එහෙත් කොවිඩ් වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය මුළුමනින් ම අඩපණ වීම නිසා එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ. 2020 නොවැම්බර් මාසයේ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට එක ඩොලරයක් හෝ ලැබී නැති බව ශ්‍රී ලංකා මහ බැංකුව එම වසරේ සතරවන කාර්තුවට අදාළව නිකුත් කර ඇති වාර්තාවෙන් පැහැදිලි වේ.

    සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඒ ආකාරයට නැත්තට ම නැති වී ගොස් තිබිය දී කොවිඩ් වසංගතය හමුවේ වුව ද රටේ අපනයන ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් හොඳ තත්ත්වයක පවත්වාගෙන යෑමට හැකි වී තිබේ. 2019 වසරේ නොවැම්බර් මාසයේ රටේ මුළු අපනයනය ආදායම ඩොලර් මිලියන 979ක් විය. එය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 819ක් විය. සියයට 16කින් අඩු වී ඇති නමුදු සංචාරක ව්‍යාපාරය හා සසඳන විට අපනයන ආදායමේ ඇති වී තිබෙන වෙනස අඩුම මට්ටමක පවතින බව පැහැදිලිය. 2020 වසරේ ලෝක ආර්ථිකය සියයට 4.9කින් පහළ වැටෙනු ඇති බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත. ඊට හේතු වූයේ 2020 වසරේ දී කොවිඩ් ව්‍යාප්තිය බලාපොරොත්තු වූවාට වඩා ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් සෘණාත්මක බලපෑමක් ඇති කර තිබීමයි. ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම පසුබැසීම ශ්‍රී ලංකාව වැනි රටවලට වඩාත් නරක අන්දමින් බලපා ඇත.

    - Advertisement -

    සංචාරක ව්‍යාපාරයේ ඇති ව තිබෙන කඩාවැටීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ දිවි පැවැත්ම කෙරෙහි ඇති කර තිබෙන බලපෑම අතිමහත්ය. සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව දිවි පවත්වා ගෙන ගිය අති විශාල පිරිසක් ආදායම අහිමිව අසරණ තත්ත්වයකට පත්ව සිටිති. ඒ අතර එම අංශයේ සෘජු රැකියා කරන පිරිස ද, එම අංශයට විවිධ භාණ්ඩ හා සේවා සපයන අය ද එම කර්මාන්තය ආශ්‍රිතව ස්වයං රැකියා පවත්වාගෙන ගිය අය ද වෙති. මාලදිවයින වැනි සංචාරක ව්‍යාපාරය මත ම රඳා පැවති රටවල ආර්ථිකය බිහිසුණු කඩා වැටීමකට ලක් ව තිබේ. එමෙන්ම කෝවිඩ් වසංගතය පවතිද්දීම සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ එම රටවල් විවිධ අත්හදා බැලීම් කරමින් ක්‍රම ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටී.

    ශ්‍රී ලංකාව ද පසුගියදා ඒ ආකාරයට සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු කළේය. එය කොතරම් දුෂ්කර කාර්යයක් ද යන්න ආරම්භයේ සිටම මුහුණ දුන් අභියෝගවලින් පැහැදිලි විය. පළමු සංචාරක කණ්ඩායම පරීක්ෂාවට ලක් කරද්දී කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනකු හඳුනා ගැනීමට හැකි විය. ඒ අතර ම ක්‍රිකට් තරගාවලිය සඳහා පැමිණි බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා විය. එම කණ්ඩායම නවාතැන් ගත් හෝටලයෙන් හමු වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවට ද තොරතුරු ප්‍රකාශයට පත්විය.

    කොවිඩ් සමඟ ජීවත් වීම සඳහාත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමේදීත් රටට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ය ඒ. ලොක්ඩවුන් කර කොවිඩ් ප්‍රශ්නය විසඳුන හෝ එය සම්පූර්ණයෙන්ම තුරන් කර ගත් එකදු රටක් වත් නැත. මුල දී රටම ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලා සිටි අය දැන් නිහඬ වීමට හේතු වී ඇත්තේ ලොක්ඩවුන් කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදිය නොහැකි බව අවබෝධ කරගෙන සිටීම නිසා විය යුතුය. කො‍රෝනා පැතිර යාම සම්බන්ධයෙන් පවත්නා අවිනිශ්චිතතාව නිසා කිසිදු කරුණක් පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත. අද ඉතා හොඳින් රෝගය මර්දනය කර ඇතැයි ප්‍රකාශ වෙන රටක දින කිහිපයකින් බිහිසුණු අන්දමින් වසංගතය රෝගය ව්‍යාප්ත වන ආකාරය දැක ගැනීමට හැකි වේ. පැතිර යාම නවතින දිනයක් පිළිබඳ පවත්නා මෙම අවිනිශ්චිතතාව නිසා කොරෝනා සමඟ ජීවත් වීමටත් එයට අනුකූලව ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමත් තුළින් හැර මෙම ව්‍යසනයට මුහුණ දීම සඳහා වෙනත් විකල්පයක් නැත.

    - Advertisement -

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුනම අවහිර වී තිබේ. ඉහත සඳහන් කළ පරිදි අපනයන ආදායම විශාල ලෙස කඩා වැටී නැති නමුත් තරමක පසුබැස්මක් ඇති ව තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් ආදායමක් ලැබෙන්නේම නැත. සුපුරුදු පරිදි අපට යැපීමට සිදුව ඇත්තේ විදේශීය රැකියාවල නිරත වී සිටින පිරිස් විසින් එවනු ලබන ප්‍රේෂණ මඟිනි. 2019 වසරේ නොවැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 515ක් විය. 2020 නොවැම්බර් මාසයේ දී එය ඩොලර් මිලියන 612ක් දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රධාන විනිමය ඉපයීම් මාර්ග අවහිර වන විට ඒ සඳහා විසඳුම් ලැබෙන ආකාරයේ පියවර අනුගමනය කිරීමට රජයකට සිදු වේ.

    රජය අනුගමනය කරන ලද එක් ක්‍රියාමාර්ගයක් වන්නේ ආනයන ප්‍රමාණය සීමා කිරීමයි. තාවකාලික පියවරක් ලෙස රජය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට කටයුතු කර තිබේ. ඒ අතරම දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කර තිබේ. සංචාරක ව්‍යාපාරය නතර වීම තුළ අති විශාල පිරිසකට තම ජීවනෝපාය අහිමි වී ඇති ආකාරයට ම ආනයනය සීමා කිරීම ද සැලකිය යුතු පිරිසකගේ ජීවනෝපාය අහිමි වීමට හේතු වී ඇත. උදාහරණයක් ලෙස මෝටර් රථ ආනයනය සීමා කිරීම නිසා ඇතිව තිබෙන තත්ත්වය පෙන්වා දිය හැක.

    ආනයන තහනම යටතේ සියලුම ආකාරයේ මෝටර් රථ රටට ගෙන්වීම නතර කර තිබේ. මෝටර් රථ ආනයනකරුවන් ප්‍රකාශ කර සිටින්නේ මේ නිසා අති විශාල පිරිසක් රැකියා අහිමිව සිටින බවත් ඒ නිසා රජය විසින් ආනයන තහනම ඉවත් කළ යුතු බවත්ය.

    - Advertisement -

    කොරෝනා හමුවේ ලොකුම අභියෝගය වී ඇත්තේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳය. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කිරීමට මහජනතාව සූදානම්ය. පූර්ව කොරෝනා කාලපරිච්ඡේදය තුළ ප්‍රමුඛතාව ලබා දුන් බොහෝ දේවල් පිළිබඳ ව මහජනතාව දැන් සැලකිලිමත් වන්නේ නැත. ගමන් බිමන්, උත්සව, සමාජ සම්බන්ධතා, සිරිත් විරිත්, ආදී සියල්ලේම වෙනස්කම් ඇතිව තිබෙන අතර ඒ අනුව ජීවිතයට අදාළ වන භාණ්ඩ සහ අනෙකුත් දේවල් පිළිබඳ ද වෙනස්කම් ඇතිව තිබේ. විඳීමට සිදු ව ඇති දුෂ්කරතාවන් ජීවිතය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඉවසීමට මිනිසාට සිදුව ඇත. එවැනි තත්ත්වයක් තුළ බොහෝ දෙනෙකු ආහාර, ඇඳුම් පැළඳුම් වැනි ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල්වලින් පමණක් තෘප්තිමත් වීමට සූදානම්ය. මෝටර් රථ ආනයනය නැවැත් වීම ආදිය පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු වී නැත්තේ කොරෝනා විසින් මිනිස් ජීවිතය කෙරෙහි ඇති කර තිබෙන මේ වෙනස්කම්ය.

    කොවිඩ් හමුවේ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීම සෑම රටකට විශාල අභියෝගයක් වී ඇත. සියල්ල පහසුවෙන් විසඳාගත හැකි යැයි බලාපොරොත්තු නොවිය යුතුය. ලොව කිසිදු බලවත් රටකට හෝ තවමත් මෙම වසංගත ව්‍යාප්තිය වළක්වා ගත හැකි වී නැත. එහෙත් කොරෝනා වසංගතය සමඟ තවත් කලක් ජීවත්වීමට අවශ්‍ය හැඩගැස්වීම් සහ වෙනස්කම් ඇති කර ගනිමින් ආර්ථිකයේ සෑම අංශයක් ම ක්‍රමයෙන් ක්‍රියාකාරී තත්ත්වයකට පත් කරගනිමින් ආර්ථික අභියෝග ජය ගත යුතු ව ඇත. සංචාරක ව්‍යාපාරය පමණක් නොව අනෙකුත් සෑම ආර්ථික අංශයක් ම පණගන්වා පූර්ව කොරෝනා යුගයේ නිෂ්පාදන මට්ටමට නැවත ළඟා විය යුතුව ඇත. එවිට මෝටර් රථ ආනයන සීමාවන් වුවත් ඉවත් කිරීමට හැකි වනු ඇත.

     

     මහාචාර්ය
    සුනන්ද මද්දුමබණ්ඩාර

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.